සමේ පිළිකා ඕනෑම අයෙකුට වැළඳෙන්න පුලුවන්!

සමේ පිළිකා ඕනෑම අයෙකුට වැළඳෙන්න පුලුවන්

සමේ පිළිකා පිළිබඳව පලකරන මෙම ලිපිය ‘සුව සෙවන’ වෙබ් අඩවියේ පලවන 150 වෙනි ලිපියයි. සමේ වර්ණය ලා පැහැති අයට සමේ පිළිකා වැළඳීමට ඇති අවස්ථාව වැඩි වුවත්, ඕනෑම අයෙකුට සමේ පිළිකාවක් වැළඳීමට ඉඩක් පවතී. එමෙන්ම, සමේ පිළිකාව, ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව හටගනී. නවයොවුන් වියේ සිටින දරුවන්ටද, සමේ පිළිකා වැළඳෙන මුත්, කුඩා දරුවන්ට මෙම රෝගය හටගන්නේ ඉතාමත් කලාතුරකිනි.

හිරු එළියට නිරාවරණය වනවිට, සුදු පැහැති සම, තද පැහැති සමකට වඩා පිළිස්සීමට ලක්වුවත්, ඕනෑම සමේ වර්ණයක් ඇති අයෙකුට සමේ පිළිකාවක් වැළඳිය හැක. හිරු එළියට පිළිස්සීම සිදුනොවන තරම් තද පැහැති සමක් ඇති අයෙකුට වුවද, සමේ පිළිකා වැළඳීම සිදුවේ. මෙහිදී, ඔබේ සම සුදු පැහැතිද, අඳුරු පැහැතිද, නැතහොත් තළෙලුද යන්න වැදගත් නොවේ. ඕනෑම පැහැයක් ඇති සමකට හානි කිරීමට හිරු රෂ්මියට හැකියාව ඇත. මෙහිදී, හිරු එළියේ ඇති පාරජම්බූල කිරණ (Ultraviolet or UV rays) මගින්, ඔබේ සමට හානි සිදුවේ. හිරු එළියේ පාරජම්බූල A සහ පාරජම්බූල B ලෙස කිරණ වර්ග දෙකක් (UVA and UVB) පවතින අතර, මෙම වර්ග දෙකෙන්ම සමට හානිවීම සිදුවේ. කෙසේ වුවත්, සමේ පිළිකා ඇතිවීමට එකම හේතුව, හිරු එළිය පමණක් නොවේ. ඒ සඳහා වෙනත් හේතුද ඇත. සමේ කිසිදා හිරු එළියට නිරාවරණය නොවන ස්ථාන වලද, පිළිකා ඇතිවන්නේ එබැවිනි.

 

සමේ පිළිකාවක් මූලික අවස්ථාවේදීම හඳුනාගන්නේ කෙසේද?

  • මාසයක කාලයක් තුළ ඉවත් නොවන, ඔබේ සමේ ඇතිවන ඕනෑම වෙනසක් පිළිබඳව සමේ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් (Consultant Dermatologist) සමග සාකච්ඡා කරන්න.
  • මුඛය තුළ ඇතුලත්ව, ඔබේ සමේ සෑම මතුපිටක්ම හොඳින් පරීක්ෂා කරන්න.
  • ඔබේ සමේ ඇතිවන ඕනෑම අලුත් වර්ධනයක් හෝ ගැටිත්තක් පිළිබඳව අවධානයෙන් පසුවන්න.
  • සම මතුපිට හෝ සමේ කැළලක් මතුපිට පවතින පැරණි වර්ධනයක හෝ ගැටිත්තක, අලුත් වෙනස්වීමක් ඇතිවුවහොත්, ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න. මෙහිදී, හිරු එළියට පිළිස්සීම සිදුවූ ස්ථාන කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුවේ.
  • සමේ වෙනත් පැහැයක් ගන්නා ලප පවතී නම්, ඒවායේ පැහැය වෙනස්වීම හෝ ක්‍රමයෙන් තද පැහැයක් ගැනීම පිළිබඳව අවධානයෙන් පසුවන්න.
  • සමේ සුව නොවන තුවාළ පවතීදැයි විමසිලිමත් වන්න. ඇතැම්විට, එවැනි තුවාළ වලින් රුධිරය වහනය වීම හෝ තුවාළ මතුපිට කබොලක් සෑදී තිබීම සිදුවිය හැක.
  • ඔබගේ නියපොත්තක තද පැහැති පටියක (Dark band) ආකාරයේ පිහිටීමක් ඇතිදැයි පරීක්ෂාකාරී වන්න. එවැනි පිහිටීමක් ඇත්නම් හෝ එය ක්‍රමයෙන් පැතිරේ නම් ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

සමේ පිළිකාවක්, මූලික අවස්ථාවේදීම හඳුනාගතහොත්, ප්‍රතිකාර කිරීම වඩාත් පහසු වේ.

 

සමේ පිළිකාවක ස්වරූපය කුමක්ද?

සමේ පිළිකා වර්ග ගණනාවක් පවතින අතර, එක් එක් වර්ගයේ ස්වරූපය එකිනෙකට වෙනස් වේ. එකම වර්ගයේ පිළිකාවක් වුවද, එය වැළඳුනු රෝගියාගේ සමේ වර්ණය අනුව, එහි ස්වරූපය වෙනස්විය හැක. සමේ වෙනසක් ඇතිවීම, සමේ පිළිකාවක ප්‍රධානම ලක්ෂණයයි. එය, සමේ ඇතිවන අලුත් වර්ධනය වීමක්, සුව නොවන තුවාළයක්, හෝ පැරණි වර්ධනය වීමක අලුත් වෙනස්වීමක් විය හැකිය.

සමේ පිළිකාවක් පහත ලක්ෂණ වලින් සමන්විත වියහැක.

  • අක්‍රමවත් මතුපිටක් හෝ අක්‍රමවත් දාරයක් සහිත ඝන කැළලක්
  • තද පැහැති හෝ කලු පැහැති ගැටිත්තක්. මෙම ගැටිත්ත, දිළිසෙන සුළු මතුපිටකින් සමන්විත වියහැක.
  • සිනිදු, දිළිසෙන සුළු මතුපිටක් සහිත ගැටිත්තක් හෝ රතු පැහැති, තද ස්වභාවයක් ගන්නා ගෙඩියක්.
  • අත්ලෙහි හෝ පතුලෙහි ඇති අඳුරු පැහැ ලපයක්.
  • නියපොත්තට යටින් හටගන්නා අඳුරු පැහැති පටියක්.

ඔබේ සමේ වෙනසක් ඇතිවුවහොත්, සමේ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවන්න. තත්ත්වය තවදුරටත් වර්ධනය වනතෙක් කල් ගතකරන්න එපා.

 

සමේ පිළිකාවක් වැළඳීම වළක්වාගන්නේ කොහොමද?

  • පහත සඳහන් අවස්ථා වලදී, සමේ පිළිකාවක් වැළඳීමට අවදානමක් ඇතිදැයි ඔබේ වෛද්‍යවරයාගෙන් විමසන්න.
    • ඇතැම් සමේ රෝග හා තත්ත්වයන් සහ ඇතැම් ඖෂධ (ඇතැම් ප්‍රතිජීවක ඖෂධ සහ හෝමෝන), සමේ සංවේදීතාවය (Sensitivity) ඉහළ දමන බැවින්, හිරු එළියෙන් සමට වන හානිය මදක් වැඩිකල හැක.
    • ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරන ඇතැම් ඖෂධ සහ රෝග තත්ත්වයන් (උදාහරණ: ඒඩ්ස්), සමේ පිළිකා වැළඳීමට ඇති අවදානම ඉහළ දමයි.
    • සමේ කැළැල් සහ තුවාළ පැවතීම, සමේ පිළිකා වැළඳීමට ඇති අවදානම වැඩිකරයි.
    • ආසනික් වැඩි මාත්‍රාවකට නිරාවරණය වීම සමේ පිළිකාවක් වැළඳීමට ඇති අවදානම ඉහළ දමයි. ඇතැම්විට, ආසනික් ලිං ජලයේ සහ කෘමිනාශක වල අඩංගු වේ.
  • ඔබේ සමේ ඇතිවන වෙනසක් පිළිබඳව ඔබට සැකයක් ඇත්නම්, සමේ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවන්න. ඇතැම්විට, ඔබේ සමේ කුඩා කොටස් කිහිපයක් ගෙන, පිළිකා සෛල ඇතිදැයි පරීක්ෂා කර බලනු ඇත.
  • හැකි සෑමවිටම, හිරු එළියට නිරාවරණය වීම අවම කරගන්න. විශේෂයෙන්, උදෑසන 10.00 සිට සවස 4.00 දක්වා කාලය තුළ හිරු එළියට නිරාවරණය වීම අවම කරන්න.
  • ඔබට හිරු එළියට නිරාවරණය වීමට සිදුවේ නම්,
    • අත් දිගට ඇති ඇඳුම්, දිග කලිසම් හෝ ඇඳුම්, හිස් වැසුමක් ඇඳීමට සහ පැළඳීමට කටයුතු කරන්න. හැකි සෑමවිටකම, ගෙලද ආවරණය කරගන්න.
    • හිරු එළියෙන් සම ආරක්ෂා කරන ආලේපනයක් (Sunscreen) භාවිතා කරන්න. එය, පුළුල් පරාසයක පාරජම්බූල කිරණ වලින් ආරක්ෂා කරන (Broad spectrum) වර්ගයක් හෝ අවම වශයෙන් SPF (Sun protection factor) අගය 15 ක් වත් වන සහ පාරජම්බූල කිරණ A සහ B යන දෙකෙන්ම ආරක්ෂාව ලැබෙන වර්ගයක් වීම ඉතා වැදගත් වේ.
    • පාරජම්බූල කිරණ වලින් ඔබේ ඇස් සහ ඇස් අවට සම ආරක්ෂා කරගත හැකි, හොඳ වර්ගයේ අව් කන්නාඩි (Sunglasses) යුගලක් භාවිතා කරන්න.
  • ඔබට විටමින් D ඌණතාවයක් ඇත්නම්, හිරු එළියට නිරාවරණය නොවී, ඖෂධයක් ලෙස විටමින් D ලබාගැනීමට හැකියාව ඇතිදැයි ඔබේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කරන්න.
  • අව්ව තැපීමට භාවිතා කරන ඇඳන්, පුටු, (Tanning beds) හා කූඩු (Tanning booths), හෝ හිරු එළියට සමාන එළියක් විහිදුවන පහන් (Sunlamps) භාවිතා කිරීමෙන් වළකින්න.

 

(ඡායාරූප අනුග්‍රහය: Stephanie Young Merzel)

 

සබැඳි ලිපි:

පිළිකා ඇතිවීම වළක්වා ගනිමු!
බුළත්විට සැපීම ඔබට හානිකර වන්නේ කොහොමද?
ගැබ්ගෙල පිළිකාව වළක්වා ගන්නේ කෙසේද?
පියයුරු පිළිකාව කලින් හඳුනාගෙන ජීවිතය රැකගන්න.

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

2 Comments on "සමේ පිළිකා ඕනෑම අයෙකුට වැළඳෙන්න පුලුවන්!"

  1. සමේ පිළිකා වලට රුපළාවන්‍ය ද්‍රව්‍ය හේතු වේද?

    • වෛද්‍ය නාලක ප්‍රියන්ත | January 13, 2018 at 4:22 pm | Reply

      ඇතැම් රූපලාවන්‍ය ද්‍රව්‍ය වල අඩංගු සමහර සංඝටක වලට පිළිකා වැළඳීමට ඇති අවදානම වැඩි කිරීමට හැකියාව ඇත. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින රූපලාවන්‍ය ද්‍රව්‍ය පිළිබඳ වැඩිදුර පර්යේෂණ කිරීමට අවශ්‍යයි.

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*