දරුවාගේ කැපුම් තුවාළයක් සිදුවුවහොත් කුමක් කලයුතුද?

දරුවාගේ කැපුම් තුවාළයක් සිදුවුවහොත් කුමක් කලයුතුද?

තම දරුවා කැපුම් තුවාළයක් සිදුකරගත් විට, බොහොමයක් දෙමව්පියන් කලබලයට පත්වීම සාමාන්‍යයෙන් දකින්නට ලැබෙන දෙයක්. නමුත්, බොහොමයක් කුඩා කැපුම් තුවාළ, දරුවාට හානියක් ඇති නොකරයි. කෙසේ වුවත්, විශාල කැපුමක් සිදුවුවහොත්, ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත් වේ. දරුවාගේ ශරීරයේ තුවාළය සිදුවූ ස්ථානය සහ එහි ස්වභාවය අනුව, ස්නායු, පේශි කණ්ඩරා, සහ රුධිර වාහිනී වලට හානි සිදුවීමට අවදානමක් පැවතිය හැක.

 

කැපුම් තුවාළයක් සිදුවූ විට, කුමක් කලයුතුද?

  • කුඩා කැපුමකින් හෝ සීරීමකින් සුළු රුධිර වහනයක් සිදුවන විට:
    • තුවාළය ගලායන ජලයෙන් හොඳින් සෝදා දූවිළි හෝ වෙනත් අපද්‍රව්‍ය ඇත්නම් ඉවත්කරන්න.
    • ඉන් පසුව, තුවාළය මෘදු සබන් වර්ගයක් යොදා, ජලයෙන් හොඳින් සෝදන්න. කුඩා තුවාළයකට, ආසාදන වැළැක්වීම සඳහා විෂබීජ නාශක දියර යෙදීමට අවශ්‍ය නොවේ. ඇතැම් විෂබීජ නාශක දියර වලට, ඔබේ දරුවා අසාත්මිකතාවයක් (Allergy) දැක්වීමට ඉඩ ඇත.
    • විෂබීජහරණය කල (Sterile) ගෝස් කැබැල්ලකින් තුවාළය වසා, ප්ලාස්ටරයකින් අලවන්න. නැතහොත්, බැන්ඩේජයකින් ඔතන්න.
    • තුවාළය දිනපතා පරීක්ෂා කරන්න. ගෝස් කැබැල්ල තෙත් වුවහොත්, එය ඉවත්කර නැවත අලුත් එකකින් තුවාළය වසන්න. තුවාළය මතුපිට කබොළක් සෑදුන පසු, තවදුරටත් ගෝස් කැබැල්ලකින් වැසීම අවශ්‍ය නොවේ.
    • තුවාළය රතුවීම, ඉදිමීම, වේදනාකාරී වීම, උණුසුම් වීම, හෝ සැරව ගැලීම ඇත්නම්, ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

 

  • විශාල කැපුමකින් රුධිරය වහනය වනවිට:
    • තුවාළය ජලයෙන් හොඳින් සෝදන්න. එවිට, තුවාළයේ ස්වභාවයද ඔබට පරීක්ෂා කල හැක.
    • විෂබීජහරණය කල ගෝස් කැබැල්ලකින් හෝ වියළි සහ පිරිසිදු රෙදි කැබැල්ලකින් තුවාළය සම්පූර්ණයෙන් වසන්න. හැකිනම්, තුවාළය පවතින ප්‍රදේශය, දරුවාගේ හදවත පවතින මට්ටමට වඩා ඉහළට ඔසවා තැබීමෙන්, රුධිර වහනය අවම කරගත හැක. කිසිවිටෙක, රුධිර වහනය නැවැත්වීමට, තුවාළයට ඉහළින් ගැටගැසීම හෙවත් තිරිංග යෙදීම කරන්න එපා.
    • ඔබේ අත්ල යොදාගෙන, ගෝස් හෝ රෙදි කැබැල්ලට මතුපිටින්, විනාඩි 5 ක් පමණ තදකරගෙන සිටීම, රුධිර වහනය නතර කිරීමට ප්‍රමාණවත් වේ. එම විනාඩි 5 ක කාලය තුළ, තුවාළයේ රුධිර වහනය නැවතී ඇතිදැයි පරීක්ෂා කිරීමට හෝ ගෝස් කැබැල්ලෙහි ඇති ලේ කැටි ඉවත්කිරීමට, තුවාළය මත යොදා ඇති පීඩනය ඉවත්කරන්න එපා.
    • තුවාළය මත යොදා ඇති ගෝස් කැබැල්ල රුධිරයෙන් තෙත් වුවහොත්, එය ඉවත් නොකර ඒ මත තවත් ගෝස් කැබැල්ලක් තබා, දිගටම තෙරපාගෙන සිටින්න.

විශාල කැපුමක් ඇති සෑමවිටම හෝ පහත සඳහන් අවස්ථා වලදී, ඉක්මනින් ඔබේ වෛද්‍යවරයා හමුවීම අවශ්‍ය වේ.

  • විනාඩි 5 ක කාලයක් තුවාළය මත පීඩනය යෙදීමෙන් පසුවත්, දිගටම රුධිර වහනය වීම හෝ තුවාළයෙන් නැවතත් රුධිරය වහනය වීම. මෙහිදී, වෛද්‍ය ප්‍රතිකාර වලට යොමුවන තෙක්, දිගටම තුවාළය තෙරපාගෙන සිටීම අවශ්‍ය වේ.
  • හොඳින් සේදූ පසුත්, තුවාළය තුළ අපද්‍රව්‍ය හෝ වෙනත් යමක් රැඳී ඇත්නම් සහ ඔබට පහසුවෙන් ඒවා ඉවත්කල නොහැකි නම්.
  • තුවාළය ඇත්තේ, ඔබේ දරුවාගේ මුහුණේ හෝ ගෙල ප්‍රදේශයේ නම්.
  • සතෙක් හෝ යම් පුද්ගලයෙක්ගේ සපාකෑමක්, පිළිස්සීමක්, විදුලිසැර වැදීමක්, හෝ සිදුරුවීමක් නිසා තුවාළය සිදුවී ඇත්නම්.
  • තුවාළය අඟල් භාගයකට වඩා දිගැති නම් හෝ තුවාළය ගැඹුරු නම්. තුවාළය විශාල හෝ ගැඹුරු වන ප්‍රමාණය අනුව, ස්නායු, පේශි කණ්ඩරා, හෝ රුධිර වාහිනී වලට හානිවීමට ඇති අවදානම වැඩිවේ.

දරුවාගේ තුවාළයට, මැහුම් යෙදීමට අවශ්‍ය වේ යැයි ඔබට සැකයක් ඇත්නම්, ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

 

(ඡායාරූප අනුග්‍රහය: ellyn.)

 

සබැඳි ලිපි:

දරුවාගේ ඇසට අනතුරක් වූ විට කුමක් කල යුතුද?
දරුවාගේ හිසට සිදුවන අනතුරු වලදී කුමක් කල යුතුද?

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "දරුවාගේ කැපුම් තුවාළයක් සිදුවුවහොත් කුමක් කලයුතුද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*