ඔබගේ මතකය ගැන මදක් දැනගනිමු.

ඔබගේ මතකය ගැන මදක් දැනගනිමු.

මතකය ක්‍රියාකාරී වෙන්නේ කොහොමද? අමතක වෙන්නේ ඇයි? මෙම ප්‍රශ්න දෙකට පිළිතුරු බොහෝ දෙනෙක් දන්නේ නැහැ. බොහෝ අයට අමතක වීම ගැටළුකාරී වුවත්, එය සාමාන්‍ය මෙන්ම අපේ ජීවිතයට අත්‍යාවශ්‍ය දෙයක්. එයට හේතුව, අපගේ මොළයට ඇත්තේ සීමිත ධාරිතාවයක් වීම සහ දිනපතා අපගේ මොළයට මිලියන ගණනක් තොරතුරු ඇතුළු වීමයි. මේ තරම් විශාල තොරතුරු සමුදායක් මතකයේ තබාගැනීමට අපේ මොළයට හැකියාවක් නොමැති අතර, එවන් වූ විශාල තොරතුරු ප්‍රමාණයක් හැසිරවීමටත් මොළයේ ධාරිතාවය ප්‍රමාණවත් නොවේ. එහෙයින්, අපගේ සිත මොළයට ලැබෙන සෑම තොරතුරක්ම, වැදගත් සහ නොවැදගත් ලෙස බෙදා වෙන්කරයි. මෙය සිදුවන්නේ, අපට නොදැනුවත්වමය. මෙසේ, නොවැදගත් යැයි වර්ගීකරණයට ලක්වූ සෑම තොරතුරක්ම, වැදගත් තොරතුරු වලට වඩා ඉක්මනින් අමතක වීම සාමාන්‍ය දෙයකි.

මතකය ගැන විමසා බැලීමට නම්, එහි කොටස් සම්බන්ධයෙන් යම් අවබෝධයක් තිබිය යුතුය. ඔබේ මතකය, ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වෙන්කල හැක.

  • සංවේදන මතකය (Sensory memory)
  • කෙටිකාලීන මතකය (Short-term memory)
  • දිගුකාලීන මතකය (Long-term memory)

 

සංවේදන මතකය (Sensory memory)

සංවේදන මතකය තුළ යම් තොරතුරක් පවතින්නේ තත්පර කිහිපයක් පමණි. අපගේ සංවේදන ඉන්ද්‍රියයන් (Sensory organs) ඔස්සේ ලැබෙන තොරතුරු, සංවේදන මතකයට මුළින්ම ඇතුළු වේ. එහිදී, වරණීය අවධානය (Selective attention) හෙවත් තෝරාගෙන අවධානය යොමුකිරීම මගින්, ඔබේ සිත වැදගත් තොරතුරු වෙන්කර ගන්නා අතර, නොවැදගත් යැයි සලකන තොරතුරු නොසලකා හරියි. මෙසේ, වැදගත් ලෙස වර්ග කරන ලද තොරතුරු, සංවේදන මතකයේ සිට කෙටිකාලීන මතකයට ඇතුළු වේ. වැදගත් තොරතුරු කෙරෙහි, වැඩි අවධානයක් යොමුකිරීමෙන්, ඒවා කෙටිකාලීන මතකයට ඇතුළු කල හැක.

 

කෙටිකාලීන මතකය (Short-term memory)

කෙටිකාලීන මතකයට ඇතුළු වූ තොරතුරක් එහි පවතින්නේ මිනිත්තුවක පමන කාලයකි. එමෙන්ම, කෙටිකාලීන මතකයට ඇත්තේ සීමිත ධාරිතාවයකි. සාමාන්‍යයෙන්, කෙටිකාලීන මතකය තුළ එකවරකට රඳවා ගතහැකි තොරතුරු සංඛ්‍යාව හතකි. පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙම අගය, පහේ සිට නවය දක්වා වෙනස් වේ. එමනිසා, විශාල තොරතුරු ප්‍රමාණයක් මතකයේ තබාගැනීමට නම්, උපක්‍රම කිහිපයක් භාවිතාකල හැක. ඒවා නම්,

  • තොරතුරු පොදු තේමාවන් යටතේ කාණ්ඩ කිරීම.
  • කාණ්ඩ කරන ලද තොරතුරු එකවරම මතක තබාගැනීම.
  • නැතහොත්, මතකය වැඩිදියුණු කරන වෙනත් උපක්‍රම භාවිතා කිරීම.

වැදගත් තොරතුරු ඇසීමෙන් සහ කියවීමෙන්, ඔබට ඒවා මතකයේ රඳවාගැනීමට ඇති හැකියාව වැඩිකරගත හැක.

උදාහරණයක් වශයෙන්, ඔබ වෙළඳ සැලකින් බඩු මිළදී ගැනීමට යනවා යැයි සිතන්න. ඔබගේ, භාණ්ඩ ලැයිස්තුව පහතින් දැක්වේ. ඒවා කොලයක ලියාගැනීමෙන් තොරව, මතකයේ තබාගෙන පමණක්, භාණ්ඩ මිළදීගැනීමට ඔබට හැකිවේද?

කැරට්, සබන් කැට, ලුණු, අඩි කෝදුවක්, සබන් කුඩු, සීනි, ගෝවා, වට්ටක්කා, මිරිස් කුඩු, මකනයක්, තුනපහ කුඩු, දත් බුරුසුවක්, බෝංචි, පෑනක්, කොපි පොතක්, ෂැම්පු

මෙම ලැයිස්තුව මතකයේ තබාගෙන, ඔබ භාණ්ඩ මිළදී ගැනීමට ගියහොත්, ඇතැම් භාණ්ඩ මිළදී ගැනීමට ඔබට අමතක වනු ඇත. එසේ නම්, මෙම භාණ්ඩ ලැයිස්තුව, කොලයක ලියාගන්නේ නැතිව මතකයේ තබාගන්නේ කෙසේද? තොරතුරු පොදු තේමාවන් යටතේ කාණ්ඩ කිරීම සහ කාණ්ඩ කරන ලද තොරතුරු එකවරම මතක තබාගැනීමෙන්, මතක ශක්තිය වැඩිවන බව ඉහත සඳහන් කල බව ඔබට මතක ඇති. එසේ නම්, මෙම භාණ්ඩ ලැයිස්තුව, පොදු තේමාවන් යටතේ වර්ග කර, එකවර මතක තබාගැනීමට උත්සාහ කරමු.

  • එළවළු
    • කැරට්
    • ගෝවා
    • වට්ටක්කා
    • බෝංචි
  • වියළි ආහාර
    • ලුණු
    • සීනි
    • මිරිස් කුඩු
    • තුනපහ කුඩු
  • ළිපි ද්‍රව්‍ය
    • අඩි කෝදුවක්
    • මකනයක්
    • පෑනක්
    • කොපි පොතක්
  • නෑමට සහ සේදීමට අවශ්‍ය වන ද්‍රව්‍ය
    • සබන් කැට
    • සබන් කුඩු
    • දත් බුරුසුවක්
    • ෂැම්පු

මෙසේ පොදු තේමාවන් යටතේ වර්ග කිරීමෙන්, සහ එසේ වර්ග කරන ලද තොරතුරු එකවර මතක තබාගැනීමෙන්, මතකය වැඩිදියුණු වන්නේ කෙසේද? කෙටිකාලීන මතකයට රඳවාගත හැක්කේ, තොරතුරු හතක් බව ඔබට මතක ඇති. යම් තොරතුරක්, දිගුකාලීන මතකයට ඇතුළුවීමට නම්, කෙටිකාලීන මතකය තුළ හොඳින් රඳාපැවතීම අත්‍යාවශ්‍ය වේ. ඉහත භාණ්ඩ ලැයිස්තුවේ ඇත්තේ පොදු තේමාවන් හතරක් වන අතර, එක් එක් තේමාව යටතේ ඇත්තේද භාණ්ඩ හතර බැගින්ය. එවිට, තේමාවන් ගණන සහ එක් එක් තේමාව යටතේ ඇති භාණ්ඩ ගණන හතරක් වන බැවින්, කෙටිකාලීන මතකයේ තබාගතහැකි උපරිම තොරතුරු සංඛ්‍යාව වන 7 ඉක්මවා නොයයි. එමනිසා, එක් භාණ්ඩයක්වත් මිළදීගැනීමට අමතක වන්නේ නැත.

මෙම සිද්ධාන්තයම, වෙනත් අවස්ථා වලදීද භාවිතාකල හැක. එය, කාණ්ඩ කිරීම හෙවත් කොටස් කිරීම ලෙස දැක්විය හැක. උදාහරණයක් වශයෙන්, 0193254786 නැමැති දුරකථන අංකය මතක තබාගැනීමට පහසු කුමන ආකාරයටද? එය, බිංදුව, එක, නවය, තුන, දෙක, පහ, හතර, හත, අට, හය ලෙස කිසිසේත්ම මතකයේ තබාගත නොහැක. එය, බිංදුවයි එකසිය අනූතුනයි, දෙසිය පනස් හතරයි, හත්සිය අසූහය හෙවත් 0193-254-786 ලෙස කාණ්ඩ කර මතක තබාගැනීම වඩා පහසුබව ඔබට වැටහෙනු ඇත. එහිදීද, එය කාණ්ඩ තුනකට වෙන්වන අතර, එක් එක් කාණ්ඩයේ ඇති අංක සංඛ්‍යාව, හතර නොඉක්මවයි.

වැදගත් තොරතුරු නිතර, නිතර ඇසීමෙන් සහ කියවීමෙන්, ඒවා කෙටිකාලීන මතකයේ සිට දිගුකාලීන මතකයට ඇතුළුවීම පහසුවෙන් සිදුවේ. යම් තොරතුරක් වැදගත් වුවද, එය කියවූයේ එක්වරක් පමණක් නම්, කාලය සමග මතකයේ රැඳීම ක්‍රමයෙන් අඩුවී, මතකයෙන් සම්පූර්ණයෙන්ම වාගේ ඉවත්වී යයි. එම තොරතුරම, කිහිප වාරයක් ඇසුවේ හෝ කියවූයේ නම්, කාලයත් සමග මතකය අඩුවීමේ සීඝ්‍රතාවය පහළ යන අතර, එය කිසිවිටෙක සම්පූර්ණයෙන්ම මතකයෙන් ඉවත්වන්නේ නැත.

ඔබගේ මතකය ගැන මදක් දැනගනිමු1

ඔබගේ මතකය ගැන මදක් දැනගනිමු2

 

දිගුකාලීන මතකය (Long-term memory)

කෙටිකාලීන මතකයේ හොඳින් රැඳුනු වැදගත් තොරතුරු, දිගුකාලීන මතකයට ඇතුළු වේ. අපගේ දිගුකාලීන මතකය, ලිපිගොනු අඩංගු කැබිනට් රාශියකින් සමන්විත අතිවිශාල ගබඩාවක් වැනිය. දිගුකාලීන මතකයට ඇතුළු වන තොරතුරු, දැනට මතකයේ පවතින ඒවාට සමාන ආකාරයේ තොරතුරු සමග එකතු වේ. මෙම එකතුවීම, සාර්ථකව සිදුනොවුනහොත්, එම තොරතුරු මැකීයාම හෝ නැවත සිහිපත් කිරීම අපහසුවීම සිදුවේ. එයට හේතුව, අලුතෙන් දැනගන්නා තොරතුරු ඇතුළු වන්නේ, ඒවාට සමාන ආකාරයේ තොරතුරු අඩංගු ලිපිගොනු තුළට වීමයි. එමනිසා, යම් තොරතුරක් වැදගත් වුවද, එයට සමාන ආකාරයේ තොරතුරු අඩංගු ලිපිගොනුවක් දැනට නැත්නම්, එය සඳහා අලුත් ලිපිගොනුවක් නිර්මාණය නොවී මතකයේ තැන්පත් වේ. එවැනි තොරතුරු නැවත සිහිපත් කිරීම අපහසු වේ. සමාන ආකාරයේ තොරතුරු දෙකක් හෝ එයට වැඩි සංඛ්‍යාවක්, දිගුකාලීන මතකයට ඇතුළු වූවිට, ඒවා සඳහා අලුත් ලිපිගොනුවක් නිර්මාණය වන බැවින්, හොඳින් මතකයේ රැඳෙන අතර, නැවත සිහිපත් කිරීමද පහසු වේ. එමනිසා, යමක් අධ්‍යයනය කිරීමේදී, එයට සමාන ආකාරයේ විවිධ තොරතුරුද අධ්‍යයනය කිරීමෙන්, මතක ශක්තිය වැඩිකරගත හැක.

 

(ඡායාරූප අනුග්‍රහය: UBC Learning Commons)

 

සබැඳි ලිපි:

ඔබේ මතකය වැඩිදියුණු කරගන්නේ කෙසේද?
අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට ඉඟි 32 ක්

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ඔබගේ මතකය ගැන මදක් දැනගනිමු." පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*