නිතර ඉඳගෙන සිටීම හානිකර වන්නේ ඇයි?

නිතර ඉඳගෙන සිටීම හානිකර වන්නේ ඇයි?

සිටගෙන සිටීමෙන් විඩාවට පත්වූ අයෙකුට අසුනක් දකින්නට ලැබෙනවා යන්න මිහිරි අත්දැකීමකි. ඒ තරමටම, අපි ඉඳගෙන සිටීමට ඇල්මක් දක්වන්නෙමු. නමුත්, ඉඳගෙන සිටීම හානිකර යැයි පැවසුවහොත්, ඇතැමෙක් පුදුමයට පත්වේවි. අසුනක් යනු, එතරම් සෞඛ්‍ය සම්පන්න දෙයක් නොවන බව, මදක් විමසා බැලුවහොත් ඔබට වැටහේවි.

නිතර ඉඳගෙන සිටීම, දුම්පානය කිරීම තරමටම ඔබේ සෞඛ්‍යයට හානිකර වියහැකි බව විද්වතුන් විසින් සොයාගෙන ඇත. එමගින්, ස්ථුලභාවය, දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද රෝග, ආඝාතය හෙවත් අංශභාගය, කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම, ඇතැම් පිළිකා වැනි රෝග තත්ත්වයන් වැළඳීමට ඇති අවදානම ඉහළ යයි.

වසර 14 ක් තිස්සේ, පුද්ගලයන් 185,000 ක සහභාගීත්වයෙන් කල පර්යේෂණයක්, වසංගත අධ්‍යයනය පිළිබඳ ඇමරිකානු සඟරාවේ (American Journal of Epidemiology) පළවිය. එම පර්යේෂණයෙන් හෙළිවී ඇත්තේ, ඉඳගෙන සිටින කාලය, මරණ ඇතිවීමේ ප්‍රවණතාවය (Mortality) සමග සම්බන්ධ තනි අවදානම් සාධකයක් වන බවයි. මෙම පර්යේෂණයේ ප්‍රතිඵලය, එක් එක් පුද්ගලයාගේ ශාරීරික ක්‍රියාකාරම් වල මට්ටම අනුව වෙනස් නොවීම විශේෂිත දෙයකි. එනම්, යම් පුද්ගලයෙක් ශාරීරිකව ක්‍රියාකාරී වුවත්, ඉඳගෙන සිටින කාලය වැඩිනම්, මරණය ලඟාවීමේ ප්‍රවණතාවය වැඩිවේ. මේසයක් අභියස දිගු වේලාවක් ඉඳගෙන සිටීම හානිදායක වන බව සහ එය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට මගපාදන බව ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ සඟරාව (Medical Journal of Australia) මගින් ප්‍රකාශ කර ඇත. එහෙයින්, ආයතන වලට, ඉඳගෙන වැඩකිරීම වෙනුවට විකල්ප සෙවීමට සිදුවනු ඇතිබව ඔවුන් පවසයි.

විශේෂයෙන්ම, අසුනක ඉඳගෙන සිටින විට ශරීරය බොහෝ සෙයින් අක්‍රීයව පවතින බැවින්, සෞඛ්‍යයට සැලකිය යුතු බලපෑමක් ඇතිකරයි. ඉඳගෙන සිටින විට, ශරීරයේ මාංශ පේශි බොහොමයක් අක්‍රීයව පවතී. එමෙන්ම, උකුළ සහ පිටකොන්ද ප්‍රදේශයන්, තද ස්වභාවයකට පත්වේ. එවිට, ශරීරයේ රුධිර සංසරණයද, මදක් අකර්මණ්‍ය වන අතර, එමනිසා මොළයේ ක්‍රියාකාරීත්වය මන්දනය වීම සහ හෘදයේ සෞඛ්‍ය සම්පන්නභාවයට හානිවීම සිදුවේ. ශරීරයේ මාංශ පේශි ක්‍රියාකාරීත්වය අවම මට්ටමක පවතින බැවින්, රුධිර නාළ තුළ ලේ කැටි ඇතිවීමට (Thrombosis) ඇති අවදානමද වැඩිවේ. ඔබගේ ශරීරයේ ඇති මේදය දහනය කරන එන්සයිම වල ක්‍රියාකාරීත්වය සැලකිය යුතු ලෙස පහත දැමීමට, පුටුවකට හැකියාව ඇත. එමගින්, ශරීරයේ අමතර කැලරි දහනය අඩුවනු ඇත.

මිනිස් ශරීරය හැඩගැසී ඇත්තේ, දවස පුරාම ඉඳගෙන සිටීමට නොවේ. මිනිස් පරිණාමයේදී, ශරීරය සිටගෙන ක්‍රියාකාරී වීමට නිර්මාණය වී ඇත. අප ඉඳගෙන සිටින අසුනෙන් නැගීසිටින විට, ශරීරයේ සෑම අවයව පද්ධතියකටම අවදිවන ලෙස පණිවුඩයක් ලැබේ. සිටගෙන සිටීමට සහ ශරීරය සමතුලිතව තබාගැනීමට, ශරීරයේ මාංශ පේශි රාශියක් ක්‍රියාකාරී වන අතර, එමගින් රුධිර සංසරණයද ක්‍රමවත් වේ. සිටගෙන සිටින විට, ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයද වැඩිදියුණු වන බැවින්, අවධානය ඉහළ යන අතර, ශරීරයට ශක්ති සම්පන්න හැඟීමක් ඇතිවේ. උකුළේ සහ පිටකොන්දේ ඇති තද ස්වභාවයද අඩුවී, ශරීරයේ නම්‍යශීලීතාවය (Flexibility) වැඩිදියුණු වේ.

 

අඩුවෙන් ඉඳගන්නේ කොහොමද?

දවස පුරාම ඉඳගෙන සිටීම සඳහා ඇති ප්‍රතිකර්මය, දවස පුරාම සිටගෙන සිටීම නොවේ. මිනිස් සිරුර හොඳින්ම ප්‍රතිචාර දක්වන්නේ, ශරීරයේ ඉරියව් සහ චලන වල විවිධත්වයක් ඇතිවිටය. උදාහරණයක් වශයෙන්, ඇවිදීම, සිටගැනීම, නැවීම, බිම ඇණතබාගෙන වාඩිවීම වැනි ඉරියව් දැක්විය හැක. නමුත්, පුටුව කේන්ද්‍ර කරගත් සංස්කෘතියකට හුරුවී ඇති අපට, ශරීරයේ ඉරියව් සහ චලන වල විවිධත්වයක් ඇති දිවියකට හුරුවීම යනු, සැබැවින්ම අභියෝගයකි. නමුත්, ඉඳගෙන සිටින කාලය අඩුකිරීම සඳහා සාර්ථක උපක්‍රම කිහිපයක් අනුගමනය කල හැක.

  • හැකි අවස්ථා වලදී, සිටගෙන කලහැකි කාර්යයන් තෝරාගන්න. එමෙන්ම, ඔබ කරන කාර්යයන්, සිටගෙන කලහැකි නම්, එසේ කරන්න. උදාහරණ වශයෙන්, දුරකථනයෙන් ඇමතීම, ලිපිගොණු පරීක්ෂා කිරීම, අන් අයගේ වැඩ අධීක්ෂණය කිරීම වැනි කාර්යයන් දැක්විය හැක. ඇතැම් කාර්යයන් කිරීමේදී සිටගැනීම මගින්, එක දිගටම ඉඳගෙන සිටීමෙන් වැළකිය හැක.
  • දිනකට එක් ආහාර වේලක්, සිටගෙන අනුභව කරන්න. ආහාර ගන්නා විට ඉඳගෙන සිටීම මගින්, ඔබ දවස පුරා ඉඳගෙන සිටින කාලයට අමතර පැය ගණනාවක් එක්වන බව සිතට ගන්න. උදෑසන ආහාරය, මුලුතැන්ගෙය තුළ ඇති මේසය අසල සිටගෙන අනුභව කිරීමට උත්සාහ කරන්න. එමෙන්ම, දිවා ආහාරය ගැනීමට, උස්වූ මේස ඇති ආපන ශාලාවක් තෝරාගත හැක. එවිට, මේසය අසල සිටගෙන ආහාර ගැනීමට පහසු වේ. සිටගෙන ආහාර ගැනීමෙන්, ඉක්මනින් ආහාර ගෙන අවසන් කලයුතු බව හෝ කෙටි ආහාර ගතයුතු බව අදහස් නොවේ. සාමාන්‍යයෙන්, ඔබ ආහාර ගැනීමට ගතකරන කාලය ඒ සඳහා වැයකරන අතර, සෞඛ්‍ය සම්පන්න, සමබර ආහාර වේලක් ගන්න.
  • දිනකට, විනාඩි 15 ක් පමණ බිම වාඩිවෙන්න. බිම වාඩිවී සිටින විට, ආසනයක වාඩිවී සිටිනවාට වඩා, මාංශ පේශි ක්‍රියාකාරී වේ. නමුත්, ආසනයක වාඩිවී සිටින සංස්කෘතියට හුරුවී ඇති අප, බිම වාඩිවී සිටීමෙන් වැළකී සිටින්නෙමු. ඔබට දරුවන් සිටීනම්, බිම වාඩිවී ඔවුන් සමග කථා පොතක් කියවන්න. නැතහොත්, ක්‍රීඩාවක නියැලෙන්න. රූපවාහිනිය නැරඹීම හෝ පොතක් කියවීම වැනි කාර්යයන් කිරීමේදී, බිම වාඩිවී එසේ කිරීම වඩා සුදුසු වේ.
  • සෑම දිනකම වැඩ අවසන් කිරීමේදී, පුටුව ඔබේ මේසයේ පසෙකින් තබන්න. එවිට, පසුදින උදෑසන පුටුවේ අසාමාන්‍ය පිහිටීම, ඔබට සිටගෙන වැඩකිරීමට මතක් කරනු ඇත. එයට අමතරව, උදෑසනට සිටගෙන හෝ ඇවිදිමින් කල හැකි කාර්යයන් තෝරාගන්න. උදෑසනම සිටගෙන වැඩ ආරම්භ කිරීමෙන්, ඔබේ ශරීරය අවදියෙන් තැබීමට හැකිවන බැවින්, දවස පුරාම සක්‍රීයව වැඩකිරීමට හැකියාව ලැබෙනු ඇත.

ඔබගේ ජංගම දුරකථනයේ යම් කාර්යයන් මතක් කරදීමට උපක්‍රමයක් (Reminder) පවතී නම්, එය භාවිතාකර දිවාකාලයේ වරින්වර සිටගනිමින් සහ ඇවිදිමින් වැඩකර, ඉඳගෙන සිටින කාලය අඩුකරගත හැක. දිනපතාම, ඔබේ පුටුවට විවේක දෙමින්, ඔබේ ශරීරය සෞඛ්‍ය සම්පන්න මාවතකට යොමුකරන්න.

 

(ඡායාරූප අනුග්‍රහය: reynermedia)

 

සබැඳි ලිපි:

යහපත් ජීවන රටාවක් මගින් සුවදායී දිවියක්…
සරල ලෙස ජීවත්වන්නේ කෙසේද?
ඔබේ සෞඛ්‍යය වැඩිදියුණු කරගැනීමට ඉඟි 20 ක්
බොහෝ කල් ජීවත්වෙන්න ඉඟි කිහිපයක්…

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "නිතර ඉඳගෙන සිටීම හානිකර වන්නේ ඇයි?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*