මිශ්‍ර හෝමෝන අලවනය ගැන දැනගනිමු.

මිශ්‍ර හෝමෝන අලවනය ගැන දැනගනිමු

ඊස්ට්‍රජන් (Oestrogen) සහ ප්‍රොජෙස්ටොජන් (Progestogen) හෝමෝන අඩංගු මිශ්‍ර හෝමෝන අලවනය (Combined hormonal patch) යනු ඵලදායී පවුල් සැලසුම් ක්‍රමයකි. එසේ වුවත්, දැනට ශ්‍රී ලංකාව තුළ එය භාවිතා නොකරයි. මෙය සමේ අලවන, හෝමෝන අඩංගු වන ස්ටිකරයක් වැනි දෙයකි. ඔසප්වීම සිදුවූ පළමු දිනයේදී හෝ ඔසප්වීමෙන් පසුව එළඹෙන පළමු ඉරිදා දිනයේදී, මිශ්‍ර හෝමෝන අලවනයක්, තට්ටම, කලවා, බඩ, හෝ උඩු බාහුවේ පිටත ප්‍රදේශයේ ඇලවිය යුතුය. ඉන් අනතුරුව, සෑම සතියකටම වරක්, අලුත් අලවනයක් බැගින්, මිශ්‍ර හෝමෝන අලවන 3 ක් ඇලවිය යුතුය. එයට පසුව, අලවනයක් ඇලවීමෙන් තොරව දින 7 ක් සිටීමෙන් පසුව, නැවත අලුත් මිශ්‍ර හෝමෝන අලවනයකින් පෙර පරිදි යලි ආරම්භ කල යුතුවේ.

මිශ්‍ර හෝමෝන අලවනයක් භාවිතා කිරීමේදී, එය අලවන සමේ ප්‍රදේශය, පිරිසිදු මෙන්ම වියළි විය යුතුය. සම ඉදිමී, රතුපැහැ වී, තුවාළ වී, හෝ කසන්නේ නම්, එවැනි ප්‍රදේශයක හෝමෝන අලවනය භාවිතා නොකල යුතුවේ. හෝමෝන අලවනය, ඇලවීමට බලාපොරොත්තු වන හෝ දැනට අලවා ඇති ප්‍රදේශයේ පුයර, රූපලාවන්‍ය ආලේපන, හෝ ඖෂධීය ආලේපන ගැල්වීමෙන් වලකින්න.

මිශ්‍ර හෝමෝන අලවනයක් මගින්, දිනකට ප්‍රොජෙස්ටොජන් හෝමෝන වර්ගයක් වන නෝඑල්ජෙස්ට්‍රොමින් (Norelgestromin) මයික්‍රො ග්‍රෑම් 150 ක් සහ ඊස්ට්‍රජන් හෝමෝන වර්ගයක් වන එතිනයිල් ඊස්ට්‍රඩයෝල් (Ethinyl estradiol) මයික්‍රො ග්‍රෑම් 20 ක් බැගින්, සම හරහා රුධිරයට එක්වේ.

මිශ්‍ර හෝමෝන අලවනයේ ක්‍රියාකාරීත්වය, අතුරු ආබාධ, සෞඛ්‍යමය වාසි, වෙනත් ඖෂධ සමග අන්තර්ක්‍රියා කිරීම, සහ භාවිතා නොකල යුතු අවස්ථා ආදිය, මිශ්‍ර ගිලින පවුල් සැලසුම් පෙති (Combined oral contraceptive pills or COCP) වලට සමානය. කෙසේ වුවත්, එය මිශ්‍ර ගිලින පවුල් සැලසුම් පෙති වලට වඩා මිළ අධික වන අතර, දිනපතා භාවිතා කිරීමට අවශ්‍ය නොවන බැවින් භාවිතා කරන කාන්තාව එය කෙරෙහි වැඩි අනුකූලතාවයක් (Compliance) දැක්වීම දැකිය හැක.

ඔබ, ඔසප්වීම ආරම්භ වූ දිනයේම, මිශ්‍ර හෝමෝන අලවනයක් භාවිතා කලේ නම්, විකල්ප පවුල් සැලසුම් ක්‍රමයක් භාවිතා කිරීම අවශ්‍ය නොවේ. ගබ්සා වීමකට වහාම පසුව, හෝමෝන අලවනයක් භාවිතා කිරීමේදීද, විකල්ප පවුල් සැලසුම් ක්‍රමයක් අවශ්‍ය නොවේ. කෙසේ වුවත්, ඔබ හෝමෝන අලවනය භාවිතා කලේ, ඔසප්වීම ආරම්භ වී එළඹුනු පළමු ඉරිදා දිනයේදී නම්, ඔබේ ඔසප් චක්‍රයේ මුල් දින 7 තුළදී, කොන්ඩම් (Condom) වැනි විකල්ප පවුල් සැලසුම් ක්‍රමයක් භාවිතා කල යුතුය. ඔබේ ඔසප් චක්‍රයේ මුල් සතිය තුලදී, හෝමෝන අලවනය භාවිතා කිරීමට ප්‍රමාද වූයේ නම් හෝ ඔසප් චක්‍රයේ දෙවන සහ තෙවන සතිවල, හෝමෝන අලවනය භාවිතා කිරීමට දින දෙකකට වඩා ප්‍රමාද වූයේ නම්, හැකි ඉක්මනින් ඊළඟ හෝමෝන අලවනය භාවිතා කරන්න. එසේ වුවත්, දින 7 ක් ගතවන තුරු විකල්ප පවුල් සැලසුම් ක්‍රමයක් භාවිතා කිරීම අත්‍යාවශ්‍ය වේ.

මිශ්‍ර හෝමෝන අලවනයක් නිසි පරිදි භාවිතා කරන්නේ නම්, වසරක කාලයක් තුල ගැබ් ගැනීමට ඇති හැකියාව 0.3% ක් පමණ වේ.

 

(ඡායාරූප අනුග්‍රහය: Pedro Ribeiro Simões)

 

සබැඳි ලිපි:

පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව හොඳින් දැනුවත් වෙමු!
මිශ්‍ර ගිලින පවුල් සැලසුම් පෙති භාවිතා කරන්නේ කොහොමද?
ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති පවුල් සැලසුම් ක්‍රම
ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති ගිලින පවුල් සැලසුම් පෙති
පවුල් සැලසුම් සඳහා ප්‍රොජෙස්ටොජන් නික්ෂේපණ
හෝමෝන කරල් තැන්පතුව ගැන දැනගනිමු.
අන්තර් ගර්භාෂිත තැන්පතුව හෙවත් ලූපය ගැන දැනගනිමු.
පිරිමි කොන්ඩමය, පවුල් සැලසුම් කිරීම සඳහා භාවිතා කිරීම
හදිසි පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව දැනගනිමු.
ස්ත්‍රී වන්ධ්‍යාකරණය (එල්. ආර්. ටී. සැත්කම) ගැන දැනගනිමු.

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "මිශ්‍ර හෝමෝන අලවනය ගැන දැනගනිමු." පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*