බර පාලනය කිරීමට අප උනන්දු නොවන්නේ ඇයි?

බර පාලනය කිරීමට අප උනන්දු නොවන්නේ ඇයි?

ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතරින් 24.6% ක් අධික බර සහ 6.9% ක් තරබාරු වී ඇති බව සොයාගෙන ඇත. කාන්තාවන් අතරින් 14.9% ක් කෘෂ බවට පත්ව ඇත. එනම්, කාන්තාවන්ගෙන් 46.4% කට සෞඛ්‍ය සම්පන්න බරක් නොමැති බව පෙනේ. පුරුෂයන් සැලකූ විට, 22% ක් අධික බර සහ 4.2% ක් තරබාරුභාවයට පත්ව ඇත. පුරුෂයන් අතරෙන් 16.2% ක් කෘෂ බවට පත්වී ඇත. එනම්, පුරුෂයන්ගෙන් 42.4% කට සෞඛ්‍ය සම්පන්න බරක් නොමැත. මෙයින් ගම්‍ය වන්නේ, ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් සැලකිය යුතු පිරිසක් සෞඛ්‍ය සම්පන්න නොවන බවය. එසේ තිබියදීත්, ශරීරයේ බර පාලනය කිරීමට අප උනන්දු නොවන්නේ ඇයි?

ශරීරයේ බර පාලනය කිරීම යන කාරණය සැලකූ විට, වත්මන් සමාජයේ එයට ඇති උනන්දුව ඉතා අඩුබව පෙනෙන්නට තිබේ. ඒ සඳහා එක් හේතුවක් වන්නේ, බොහෝ අය කාර්යබහුල බැවින්, තම සෞඛ්‍යය සම්බන්ධයෙන් වැඩි අවධානයක් නොදැක්වීමයි. සමහරුන්ට, සෞඛ්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් සැලකිය යුතු දැනුමක් නොමැතිවීම තවත් හේතුවකි. ඇතැම් අය, සෞඛ්‍ය අධ්‍යාපනය යන මාතෘකාව සම්පූර්ණයෙන්ම නොසලකා හැර ඇතිබවද පෙනේ.

මෙසේ, තම ශරීරයේ බර පාලනය කිරීම නොසලකා හැරීමට බොහෝ අය පෙළඹෙන්නේ, දැනට ඉහෙන් බහින රෝගයක් හෝ අපහසුවක් නොමැති බැවින්, තමන් සෞඛ්‍ය සම්පන්න බව සිතාගෙන සිටින නිසාවෙනි. යමෙක් අධික බර හෝ තරබාරු බවෙන් දිගුකාලයක් පෙලෙන විට, ශරීරයේ අභ්‍යන්තර පරිසරය තමන්ටත් නොදැනීම ක්‍රමයෙන් වෙනස් වේ. එහිදී, ශරීරයේ හෝමෝන ක්‍රියාකාරීත්වය, රුධිරයේ සීනි මට්ටම, රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම, රුධිර පීඩනය වැනි දේවල් දිගුකාලයක් තිස්සේ ක්‍රමයෙන් වෙනස් වීම සිදුවේ. බොහෝ විට, මෙය සිදුවන්නේ කිසිඳු රෝග ලක්ෂණයක් හෝ අපහසුතාවයක් නොමැතිවය. මේ නිසා, තමන්ට ඉහෙන් බහින රෝගයක් නොමැති බව සිතාගෙන සිටින කාලයේදී, අධික බර සහ තරබාරු බවෙන් පෙලෙන අයගේ ශරීර තුළ, අධික රුධිර පීඩනය, දියවැඩියාව, හෘදයාබාධ, අංශභාගය හෙවත් ආඝාතය, අධික කොලෙස්ටරෝල් මට්ටම, ඇතැම් පිළිකා වැනි දරුණු බෝනොවන රෝග (Non-communicable diseases or NCDs) වැළඳීමට අවශ්‍ය පසුබිම ක්‍රමයෙන් ගොඩනැගෙමින් පවතී. මෙම ක්‍රියාවලිය වසර ගණනාවක් තිස්සේ සිදුවන්නකි. සරළව පවසනවා නම්, එය කාල බෝම්බයක් වැනි දෙයකි. කාල බෝම්බයක්, නිසි කාලය එළඹුනු විගස පුපුරා යන්නාක් මෙන්, ඉහත කී බෝනොවන රෝගද, නිසි කල එළඹුනු විගස වැළඳීම සිදුවේ. එවිට, අප ප්‍රමාද වූවා වැඩිය. අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීමට නොගොස්, අශ්වයා පිටවීමට පෙර ඉස්තාලය වැසීමට අප කටයුතු කල යුත්තේ එබැවිණි. එමනිසා, සදාකාලිකව රෝගියෙක් වීමට පෙර, ඉහෙන් බහින රෝගයක් නැතැයි සිතාගෙන සිටින අවධියේදී, ශරීරයේ බර පාලනය කරගනිමින්, බෝනෝවන රෝග වැළඳීමට ඇති අවදානම අවම කරගත යුතුය.

බෝනොවන රෝග වැළඳීම වළක්වා ගැනීමට, අප කල යුත්තේ, දිනපතා ශාරීරික ක්‍රියාකාරකම් වල නියැලීම, සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරුවීම, සහ ජීවන රටාව මදක් වෙනස්කර ගැනීම ය. එයට අමතරව, දුම්පානය, මත්පැන් පානය, බුලත්විට සැපීම, සෞඛ්‍ය සම්පන්න නොවන ආහාරපාන ගැනීම වැනි අයහපත් පුරුදු වලින් වැළකී සිටීමද කල යුතුවේ. මේවා කිසිඳු අමතර වියදමක් නොකර, අපගේ ජීවිත වලට එකතු කරගත හැකි සරළ දේවල් ය. නමුත්, එයින් ලැබෙන ප්‍රතිඵලය, මිළකල නොහැකි සෞඛ්‍ය සම්පන්න ජීවිතයයි.

 

(ඡායාරූප අනුග්‍රහය: CGP Grey)

 

සබැඳි ලිපි:

බෝනොවන රෝග වලින් වැළකීමට ක්‍රියාශීලී වෙමු!
සුවදිවි මධ්‍යස්ථාන වෙත ඔබ පියනැගිය යුත්තේ ඇයි?
බොහෝ කල් ජීවත්වෙන්න ඉඟි කිහිපයක්…
සුවැති දිවියකට අනුගමනය කලයුතු හොඳ පුරුදු 8 ක්

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "බර පාලනය කිරීමට අප උනන්දු නොවන්නේ ඇයි?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*