කිරි සහ කිරි ආහාර පරිභෝජනය කලයුත්තේ ඇයි?

කිරි සහ කිරි ආහාර පරිභෝජනය කලයුත්තේ ඇයි?

ඈත අතීතයේ පටන්, කිරි සහ කිරි ආහාර, අප ආහාරයේ ඇති වැදගත් අංගයක් බවට පත්වී ඇත. ඒ තරමටම, කිරි යනු අපගේ දිවිය හා තදින් බද්ධ වී පවතින දෙයකි. සැබැවින්ම, අප කිරි හෝ කිරි ආහාර පරිභෝජනය කලයුත්තේ ඇයි? කිරි වල ඇති පෝෂණ ගුණය මදක් විමසා බැලීම මෙම ලිපියෙහි අරමුණයි.

කිරි, මුදවපු කිරි, යෝගට්, සහ චීස් වැනි කිරි ආහාර වල පෝෂ්‍ය පදාර්ථ බහුලව ඇත. කිරි ආහාර වල කැල්සියම් සහ ෆොස්පරස් (Calcium and phosphorus)  වැනි ඛණිජ ලවණ බහුලව ඇති අතර, ඒවා අස්ථි සහ දත් වල වර්ධනයට අවශ්‍ය වේ. එයට අමතරව, කිරි ආහාර වල ලැක්ටෝස් (Lactose) නැමැති කාබෝහයිඩ්‍රේටය, ප්‍රෝටීන්, සහ ඇතැම් විටමින් වර්ග බහුලව ඇත. යොදය සහිත කිරි වල, විටමින් A වැඩිපුර ඇත. දිනපතා කිරි පානය කිරීම හෝ කිරි ආහාර පරිභෝජනය කිරීම සහ ශාරීරික ක්‍රියාකාරකම් සිදුකිරීම මගින්, අස්ථි වර්ධනය සහ අස්ථි ශක්තිමත් වීම සිදුවේ.

දිනකට කොපමණක් කිරි ආහාර ගත යුතුද?

දරුවන්, නව යොවුන් වියේ සිටින්නන්, සහ ගර්භණී මව්වරුන් ඇතුළුව සෑම අයෙක්ම, දිනකට කිරි වීදුරු 1-2 ක් ගැනීම සුදුසුය. අවුරුදු 2 ට වඩා අඩු දරුවන්ට, වඩාත් සුදුසු වන්නේ මව්කිරි වන අතර, ඔවුන්ට පිටි කිරි හෝ නැවුම් කිරි අවශ්‍ය නොවේ. මුදවපු කිරි හෝ යෝගට් වල පෝෂ්‍ය පදාර්ථ බහුලව අඩංගු වන අතර, ඒවා ප්‍රධාන ආහාර වේල් දෙකක් අතර කෙටි ආහාර වේලක් ලෙස හෝ අතුරුපසක් ලෙස ගැනීම කල හැක.

කිරි වල ඇති සංතෘප්ත මේදය

කිරි වල සංතෘප්ත මේදය (Saturated fat) අඩංගු වන අතර, එය වැඩිහිටියන්ට එතරම් සෞඛ්‍ය සම්පන්න දෙයක් නොවේ. එමනිසා, වැඩිහිටියන්ට වඩාත් සුදුසු වන්නේ මේදය රහිත (Fat-free) කිරි ය. විශේෂයෙන්, හදවත් රෝග, රුධිර නාල අවහිරතා, රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩිවීම ඇති අය, මේද රහිත කිරි භාවිතා කිරීම කල යුතුවේ.

නැවුම් කිරි

පිටි කිරි භාවිතා කරනවාට වඩා, නැවුම් කිරි පානය කිරීම වඩා සුදුසුය. මක්නිසාද, නැවුම් කිරි වල, ස්වභාවික පෝෂ්‍ය පදාර්ථ බහුල වන අතර, එහි කෘතිම රසායන ද්‍රව්‍ය අඩංගු නොවේ.

ඔස්ටියොපොරෝසිස් (Osteoporosis) හෙවත් අස්ථි තුනී වීම ඇතිවන්නේ, දිගුකාලීනව කැල්සියම් ඌණතාවයක් ඇතිවීමෙනි. කිරි සහ කිරි ආහාර ගැනීමෙන්, සැලකිය යුතු කැල්සියම් ප්‍රමාණයක් ශරීරයට ලැබෙන බැවින්, ඔස්ටියොපොරෝසිස් රෝගය වැළඳීම වළක්වා ගතහැක.

 

මූලාශ්‍රය : පෝෂණ අංශය, සෞඛ්‍ය අමාත්‍යංශය

(ඡායාරූප අනුග්‍රහය: Marco Di Ferrante)

 

සබැඳි ලිපි:

මව්කිරි දීමෙන් දරුවාට සහ මවට ලැබෙන වාසි ගැන දැනගනිමු.
සුවැති දිවියකට විවිධ වර්ගයේ ආහාර කෑමට ගන්න.
සෞඛ්‍ය සම්පන්න දිවියකට එළවළු සහ පළතුරු
හරිත තේ (Green Tea) ගුණයිද?

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "කිරි සහ කිරි ආහාර පරිභෝජනය කලයුත්තේ ඇයි?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*