දරුවාගේ ඇස සහ පෙනීම සම්බන්ධ විශ්වාස කිහිපයක්

දරුවාගේ ඇස සහ පෙනීම සම්බන්ධ විශ්වාස කිහිපයක්OLYMPUS DIGITAL CAMERA

ඔබේ දරුවාගේ ඇස සහ පෙනීම සම්බන්ධව සමාජයේ පවත්නා විශ්වාස පිළිබඳව මදක් විමසා බලමු. ඇතැම් විශ්වාස, විද්‍යාත්මක පදනමක් නැති, සාවද්‍ය ඒවා වන අතර, ඇතැම් ඒවායේ යම් සත්‍යයක් ගැබ් වී තිබෙනු දැකිය හැකියි.

 

  • කැරට් ආහාරයට ගැනීමෙන් පෙනීම වැඩිවේ.

කැරට් වල විටමින් A බහුල වන අතර, විටමින් A පෙනීම සඳහා අත්‍යාවශ්‍ය සංඝටකයකි. විටමින් A, කැරට් වල පමණක් නොව, කොළ , තද කහ, සහ තැඹිලි පැහැති එළවළු සහ පළතුරු වලද බහුලව පවතී.

විටමින් A බහුල ආහාර වර්ග

කතුරුමුරුංගා, නිවිති, තම්පලා, බීට් කොල, රාබු කොල, මුරුංගා කොල, කරපිංචා, ගහල කොල, වෙනත් තද කොළ පැහැති පළා සහ එළවළු වර්ග, කහ බතල, වට්ටක්කා, තක්කාලි, ගස්ලබු, ලාවුලු, අඹ, දොඩම්, බිත්තර, සම්පූර්ණ යොදය සහිත කිරි, බටර්, චීස්, මස්, පීකුදු, මෝර ගුලි

කෙසේ වුවත්, සමබර ආහාර වේලකට, පෙනීම සඳහා අවශ්‍ය වන විටමින් A ප්‍රමාණය සැපයීමට හැකියාව ඇත.

 

  • රූපවාහිනියට සමීප වී නැරඹීම ඇස් වලට හානිකර වේ.

බොහෝ දෙමව්පියන්, තම දරුවන්ට රූපවාහිනිය සමීපයට ගොස් නැරඹීමට ඉඩ නොදුන්නත්, රූපවාහිනිය අසලටම වී නැරඹීමෙන් ඇස් වලට හානි වන බවට විද්‍යාත්මක සාධක නොමැත. වැඩිහිටියන්ට වඩා, කුඩා දරුවන්ට ඇස් වලට විඩාවක් ඇති නොවන පරිදි, ඉතා ආසන්න දෙයක් නාභිගත කිරීමේ හැකියාව පවතී. මේ හේතුව නිසා, කුඩා දරුවන් රූපවාහිනියට සමීපව නැරඹීමට සහ යමක් කියවන විට ඇස් සමීපයේ තබාගැනීමට පුරුදුව සිටිති. නමුත්, දරුවා රූපවාහිනියට සමීපව නැරඹීම, දුර නොපෙනීම වැනි ඇසේ දෝෂ නිසා සිදුවිය හැක.

 

  • දෙමව්පියන්ගේ ඇස් පෙනීම දුර්වල නම්, දරුවාගේද ඇස් පෙනීම දුර්වල විය හැක.

අවාසනාවකට මෙන්, ඇතැම් විට මෙය සත්‍යයක් වේ. ඔබට පෙනීම ලබාගැනීම සඳහා ඇස් කන්නාඩි පැළඳීමට අවශ්‍ය නම්, හෝ ඔබට ඇස් වල සුද මතුවීම ඇත්නම්, ඔබේ දරුවාගේ ඇස් වලත් එවැනි තත්ත්වයන් ඇතිවීමට ඉඩ ඇත.

 

  • දරුවා වරින් වර ඇස් වපර කර බලනවා නම්, ඇස් වපර වීම සිදුවිය හැක.

වරින් වර, ඇස් දෙකම වපර කර බැලීමෙන්, ඇස් වපර වීමක් ඇති නොවේ. නමුත්, දරුවාගේ එක් ඇසක් පමණක් නිතර වපර කරනවා නම්, අක්ෂි සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකුට දරුවා පෙන්වීම සුදුසුය.

 

  • පරිගණකය භාවිතා කිරීම, ඇස් වලට හානිකරයි.

පරිගණකය භාවිතා කිරීමෙන්, ඇස් වලට හානි සිදු නොවේ. නමුත්, දිගු වේලාවක් පරිගණකය නරඹන විට, ඇසිපිය සැලෙන වේගය අඩුවේ. මෙය, යමක් කියවන විට සහ ඇස් වලට සමීපයේ යමක් කරන විටද සිදුවේ. ඇසිපිය සලන වේගය අඩුවන විට, ඇස් වියලීම නිසා, ඇස් විඩාවට පත්වීම සිදුවිය හැක. එමනිසා, පරිගණකය භාවිතා කරන විට, යමක් කියවන විට, සහ යම් කාර්යයක් කරන විට, ප්‍රමාණවත් පරිදි විවේක ගන්නා මෙන් දරුවාට උපදෙස් දෙන්න.

 

  • වර්ණ අන්ධතාවය ඇතිවන්නේ පිරිමි ළමුන්ට පමණි.

පිරිමි ළමුන්, 8% ක් දක්වා ප්‍රමාණයකට සහ ගැහැණු ළමුන් 1% කට වඩා අඩු ප්‍රමාණයකට, යම් ප්‍රමාණයක් වර්ණ අන්ධතාවය පවතී.

 

  • දරුවා උපදින විට, ඇස සම්පූර්ණයෙන් වර්ධනය වී පවතී.

දරුවා උපදින විට, ඇසේ ප්‍රමාණය සම්පූර්ණයෙන් වර්ධනය වී නැත. දරුවා වර්ධනය වීමත් සමගම, ඇසේ ප්‍රමාණය සහ ඇසේ ආලෝක වර්තනය වීමේ යාන්ත්‍රණයද, ක්‍රමයෙන් වර්ධනය වේ.

 

  • නිතර ඇස් කන්නාඩි පැළඳීමෙන්, එය පුරුද්දකට යෑම සිදුවේ.

ඇසේ දුර නොපෙනීම, ලඟ නොපෙනීම, හෝ විෂම දෘෂ්ටිකතාවය වැනි දෝෂ, දරුවාගේ වර්ධනය වීමත් සමග ක්‍රමයෙන් වෙනස් වේ. ඒ සඳහා විවිධ සාධක මගින් බලපෑම් ඇති වුවද, ජානමය සාධක වැඩි බලපෑමක් ඇතිකරයි. එය, ඇස් කන්නාඩි පැළඳීම හෝ ඇස් කන්නාඩි පළඳින ලද කාල සීමාව සමග කිසිඳු සම්බන්ධතාවයක් නොදක්වයි. ඇස් කන්නාඩි පැළඳීමෙන්, ඇසේ පවතින දෝෂයක්, කිසිම ආකාරයකින් වර්ධනය නොවේ.

 

(ඡායාරූප අනුග්‍රහය: Karen Roe)

 

සබැඳි ලිපි:

දරුවාගේ ඇසට අනතුරක් වූ විට කුමක් කල යුතුද?
ඔබගේ පෙනීම ආරක්ෂා කරගන්නේ කෙසේද?

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "දරුවාගේ ඇස සහ පෙනීම සම්බන්ධ විශ්වාස කිහිපයක්" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*