ඔබ තුළ සිටිනා ඔබව හඳුනාගන්නේ කොහොමද?

ඔබ තුළ සිටිනා ඔබව හඳුනාගන්නේ කොහොමද

බොහෝ අයට තමන් කවුදැයි නියමාකාරයෙන් හඳුනාගැනීමට නොහැකිව සිටිති. එමගින්, ගැටළු මතුවන අවස්ථා එමටය. නමුත්, තමා තුළ සිටින තමන් හඳුනාගැනීම අභියෝගයකි. සැබැවින්ම ඔබ තුළ සිටිනා ඔබව හඳුනාගන්නේ කෙසේද? ඔබ තුළ සිටිනා ඔබව හඳුනාගතහොත්, ඔබට වෙනෙකෙකු නොවී, ඔබම විය හැක. එවිට, ඔබගේ ජීවිතය සාර්ථක කරගැනීම තවදුරටත් අපහසු කාර්යයක් නොවනු ඇත.

මදක් සිතා බැලුවහොත්, ඔබේ ජීවිතයේ සිදුවන සහ ඇතිවන බොහෝ දේවල්, රඳාපවතින්නේ ඔබ, ඔබේ අභ්‍යන්තරය සමග සම්බන්ධ වන්නේ කෙසේද යන්න මත බව ඔබට වැටහෙනු ඇත. එසේනම්, ඔබ තුළ සිටින ඔබව නිසි අයුරින් හඳුනා නොගතහොත්, ඔබේ ජීවිතයේ සිදුවන දේවල් නියමාකාරයෙන් වටහා ගන්නේ කෙසේද?

ක්‍රමයෙන් තරුණ වියට එළඹෙත්ම, අපි, අප තුළින්ම විවිධ අනන්‍යතාවයන් හඳුනාගැනීමට පෙළඹීම සාමාන්‍ය දෙයකි. ජීවිතයේ විවිධ කාල වලදී, අපගේ ජීවිතයේ හැඩය විවිධාකාරයෙන් වෙනස් වේ. අප, අප තුළින් විවිධ චරිත නිර්මාණය කිරීමට පෙළඹේ. ඇතැම් විට, වෙනත් චරිත අනුකරණය කිරීමට උත්සාහ ගැනීමද දැකිය හැක. අප ජීවිතයේ ඇති මෙම මූලික අවධි වලදී, සැබැවින්ම අප කවුදැයි හෝ අප කවුරුන් වේදැයි අපටම වැටහීමක් නැත. එබැවින්, අප වටා සිටින චරිත වලින් උකහාගත් අනන්‍යතාවයන් මගින්, අප තුළ අනන්‍යතාවයක් නිර්මාණය කරගැනීමට උත්සාහ ගැනීම සිදුවේ. මෙසේ සිදුවන්නේ, ජීවිතයේ ඇති අත්දැකීම් මදබව නිසාය. පසුව, වයස්ගත වත්ම, අපටම අනන්‍යතාවයක් ඇතිවේ යැයි, අප බළාපොරොත්තු ඇතිකර ගන්නෙමු.

ඔබ තුළ ඇති අනන්‍යතාවය ගොඩනැගීමට, ජීවිතයේ ඇති බළාපොරොත්තු විශාල මෙහෙයක් සිදුකරයි. ජීවිතයේ සිදුකරන තෝරාගැනීම් බොහොමයකට මගපෙන්වන්නේ මෙම බළාපොරොත්තු ය. එමෙන්ම, අප කැමති අන් චරිත වල ඇති බළාපොරොත්තු සහ ඉලක්ක ද, අප තුළ ඇතිකරගැනීමට උත්සාහ කරන්නෙමු.

කෙසේ වුවත්, අන් අය අනුකරණය කිරීම හෝ බළාපොරොත්තු මත ජීවත්වීම සර්වාකාරයෙන්ම නරක දෙයක් යැයි කිව නොහැක. නමුත්, එවැනි දේවල් නිසා, ඔබට ඔබව හඳුනාගැනීම සහ ඔබම වීම අපහසු විය හැක. බාහිර සාධක සහ බලපෑම් නිසා, ඔබගේ ජීවිතය සංකීර්ණ සහ කාර්යබහුල විය හැක. එවන් විටෙකදී, ඔබගේ ඇති අනන්‍යතාවය හඳුනාගැනීම තවදුරටත් අපහසු කාර්යයක් වේ.

එබැවින්, අපගේ සැබෑ අනන්‍යතාවය හඳුනාගැනීම සහ එය හා අපේ ජීවිතය සම්බන්ධ කරගැනීම අභියෝගාත්මක වේ. එසේ වුවද, අපගේ අනන්‍යතාවය නිසි අයුරින් හඳුනාගැනීම සාර්ථක දිවියකට මග පෙන්වන බව කිව හැක. එමනිසා, බාහිර බලපෑම් වලින් මිදී, අපගේ අනන්‍යතාවය හඳුනාගැනීම වැදගත් වේ. එසේ, අප කවුදැයි හඳුනාගෙන, අපගේ අනන්‍යතාවය සමග දිගටම සම්බන්ධතාවය පවත්වා ගැනීමට, පහත සඳහන් උපක්‍රම භාවිතා කල හැක.

  • තමාටම අවංක වන්න.

අපගේ අනන්‍යතාවය සමග ගැටුම් ඇති කරගන්නේ නැතිව, සාමදානයෙන් ජීවත්වීමට ඇති හොඳම ක්‍රමය තමාටම අවංක වීමයි. අපගේ ජීවිතය සහ හෘද සාක්ෂිය එක්ව ගමන් නොකලහොත්, ජීවිතය තුළ ගැටළු ඇතිවීම වැළැක්විය නොහැක. අපගේ සැබෑ ප්‍රතිපත්ති සමග අපගේ ජීවිතය නොගැලපුණහොත්, වංක වූවා යැයි සිතුවිල්ලක් නිතැතින්ම සිතට නැගෙනු ඇත. හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීම, එනම් තමාටම අවංක වීම, යනු සැහැල්ලු සිතකින් යුතුව ජීවත්වීමට ඇති හොඳම මාවතයි. තම හෘද සාක්ෂියට එකඟව, තම ප්‍රතිපත්ති වල පිහිටා කටයුතු කිරීමෙන්, අපගේ අනන්‍යතාවය හඳුනාගැනීම පහසු වේ.

  • ඔබගේ හැකියාවන් සහ වටිනාකම හඳුනාගන්න.

ඔබගේ හැකියාව, ධාරිතාවය, සහ වටිනාකම නිසි අයුරින් හඳුනාගැනීම, ඔබගේ සැබෑ අනන්‍යතාවය හඳුනාගැනීමට පිටුවහලක් වේ. ඔබේ සැබෑ වටිනාකම සහ හැකියාවන් හඳුනා නොගතහොත්, ඔබට, ඔබ වීම කිසිවිටෙකවත් කල නොහැක. එසේ වූ විට, සිදුවන්නේ ඔබගේ අනන්‍යතාවය සමග, ඔබගේ ජීවිතයේ ඇති සම්බන්ධතාවය බිඳ වැටීමය. සැමවිටම, ඔබේ හැකියාවන් සහ වටිනාකම හඳුනාගෙන, ඒවා සමග ජීවත්වීමට උත්සාහ දැරීමෙන්, ඔබගේ අනන්‍යතාවය ඇතිකරගැනීම පහසු වේ.

  • සතුට සහ දුක හඳුනාගන්න.

සතුට රැඳුනු දේ කරා යෑමටත්, දුක ගෙනෙන දේවල් වලින් ඉවත්වීමටත් කටයුතු කිරීම, සාමාන්‍ය මිනිස් ස්වභාවයයි. එමනිසා, අපගේ කාර්යයන් සහ ඉලක්ක සැලසුම් කරන්නේද, සතුට කරා යෑමටයි. අපගේ සැබෑ හැකියාවන්, ප්‍රතිපත්ති, සහ වටිනාකම සමග අනුගත නොවන දේවලින් ඉවත්විය යුත්තේද, දුක ඇතිවීමට ඉඩ ඇති බැවිනි. එමනිසා, ජීවිතයේ දුක හා සතුට නිසි අයුරින් හඳුනාගෙන ජීවත්වීමෙන්, ඔබගේ අනන්‍යතාවය හඳුනාගැනීම හඳුනාගැනීම පහසු වේ.

  • ඔබගේ තෝරාගැනීම් සහ ආශාවන් පිළිබඳව ප්‍රවේශම් වන්න.

ඔබගේ තොරාගැනීම් සහ ආශාවන් සම්බන්ධයෙන් හොඳ පාලනයක් ඔබට ඇතැයි සිතුවද, සැබෑ ජීවිතයේදී එසේ නොවේ. ඔබගේ තෝරාගැනීම සහ ආශාවන්, ඔබගේ ප්‍රතිපත්ති, හැකියාවන්, සහ වටිනාකම සමග අනුගත වේ නම්, ඒවා ඔබේ අනන්‍යතාවය සමග සාමදානයෙන් කටයුතු කරනු ඇත. සෑම ආශාවක්ම සහ තෝරාගැනීමක්ම ඇතිවන්නේ, අපගේ පංචේන්ද්‍රියන් මගින් ලබාගන්නා සංවේදන සහ ඒ පිළිබඳව අප සිතන ආකාරය අනුවය. සැබැවින්ම, මේ සියල්ල, ඔබගේ පාලනයට යටත් බව සිතට ගැනීම වැදගත් වේ.

  • ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳ ප්‍රවේශම් වන්න.

අපගේ ජීවිතය තුළ ඇතිවන අවස්ථා, සිදුවීම්, සහ අත්දැකීම් වලට අප දක්වන ප්‍රතිචාරය අනුව, අප වටා සිටින්නන් අප කෙරෙහි දක්වන ආකල්ප සහ ප්‍රතිචාරයන් රඳා පවතී. බොහෝවිට සිදුවන්නේ, වැඩිදුර නොසිතා බාහිර උත්තේජයට ප්‍රතිචාර දැක්වීමය. එහිදී, එම ප්‍රතිචාරය කොතරම් දුරට නිවැරදිද, එය අපගේ ප්‍රතිපත්ති සහ වටිනාකම් වලට කොතරම් ගැලපේදැයි අප සිතන්නේ නැත. යමෙක් හෝ යම් බාහිර උත්තේජයක්, ඔබගේ ශරීරයේ ඇති බොත්තමක් එබූ විට ප්‍රතිචාරයක් දක්වන්නා සේ ඔබ ක්‍රියාකරන්නේ නම්, ඔබගේ ජීවිතය පාලනය කරන්නේ ඔබේ අනන්‍යතාවය නොව බාහිර පුද්ගලයා හෝ උත්තේජය බව සිතට ගත යුතුය. එමනිසා, ඔබට, ඔබේ සැබෑ අනන්‍යතාවය වීමට අවශ්‍ය නම්, ඔබගේ ප්‍රතිචාර මනා සිහියකින් යුතුව තෝරාගැනීම අත්‍යාවශ්‍ය වේ.

  • ඔබ පිළිබඳව ධනාත්මක සිතුවිලි ඇතිකරගන්න.

ඔබ නොවටිනා පුද්ගලයෙක් යැයි සිතුවහොත් හෝ ඔබේ කාර්යයන් සහ හැකියාවන් අඩු තක්සේරු කලහොත්, ඔබගේ අනන්‍යතාවය ගොඩනගා ගැනීම අපහසු කාර්යයක් වේ. කිසිවෙක් නොවටිනා පුද්ගලයෙක් වන්නේ නැත. එමනිසා, ඔබ පිළිබඳව ධනාත්මකව සිතන්න. ධනාත්මක සිතුවිලි වර්ධනය කරගැනීම පුරුද්දක් කරගන්න. ඔබ කරන කාර්යයන් මගින්, ඔබ වටා ඇති සමාජයට, රටට, සහ ලෝකයට සිදුවන යහපත පිළිබඳව, අන් අයට නොව, තමාටම වර්ණනා කරගැනීම හොඳ උපක්‍රමයකි. ඔබගේ කාර්යයන් සහ ඉලක්ක වලට හොඳින් සිතාබලා ඔබම අනුමැතිය ලබාදුන්විට, බාහිර සාධක මත ඔබගේ අනන්‍යතාවය වෙනස් නොවන බැවින්, ඔබට ඔබ වීම අපහසු නොවේ.

අප සැමටම අනන්‍යතාවයක් ඇති අතර, ඕනැම පුද්ගලයෙක්ට සමාජයට වටිනා යමක් දීමේ හැකියාවද ඇත. එය වටහාගත් විට, පහසුවෙන්ම ඔබේ අනන්‍යතාවය හඳුනාගත හැකි අතර, ඔබේ ජීවිතය, ඔබේ අනන්‍යතාවය සමග සම්බන්ධ කිරීමද පහසු වේ. සැමවිටම, බාහිර බලපෑම්, ඔබේ අනන්‍යතාවය සහ ඔබ අතර ඇති සබැඳියාව බොඳකරන අතර, ඔබට ඔබ වීම අපහසු කරවයි. නමුත්, ඉහත කරුණු හය අනුගමනය කලහොත්, ඔබ, ඔබම වෙනු නොඅනුමානය.

 

(ඡායාරූප අනුග්‍රහය: Jacob Bøtter)

 

සබැඳි ලිපි:

ඔබේ ආත්ම විශ්වාසය වර්ධනය කරගැනීමට ක්‍රම 10 ක්
බොහෝ කල් ජීවත්වෙන්න ඉඟි කිහිපයක්…
මානසික ආතතිය පාලනය කරගන්නේ කොහොමද?
සරල ලෙස ජීවත්වන්නේ කෙසේද?

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ඔබ තුළ සිටිනා ඔබව හඳුනාගන්නේ කොහොමද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*