බර අඩුකරගැනීම පහසු කරවන ඉඟි 10 ක්

බර අඩුකරගැනීම පහසු කරවන ඉඟි 10 ක්

අධික බර හෝ ස්ථුලභාවය ඇති බොහොමයක්, බර අඩුකරගෙන හැඩැති සිරුරක් ලබාගැනීමට සිහින දැකීම අරුමයක් නොවේ. නමුත්, එය සිතන තරම් පහසු කාර්යයක්ද නොවේ. එම නිසාවෙන්ම, බොහෝ අය තම බර අඩුකරගැනීම සඳහා විවිධ දේවල් සහ ක්‍රම අත්හදා බලති. මෙහිදී ඇතැම් අය සාර්ථක වන අතර, ඇතැම් අයගේ උත්සාහය අසාර්ථක වේ. එමනිසා, වඩා පහසුවෙන් සහ ඉක්මනින් බර අඩුකරගැනීම සඳහා උපයෝගී කරගත හැකි ඉඟි 10 ක් පැහැදිලි කිරීම මෙම ලිපියෙහි අරමුණයි.

  • ප්‍රෝටීන් වැඩි උදෑසන ආහාර වේලක් ගන්න.

ප්‍රෝටීන් වැඩි උදෑසන ආහාර වේලක් ගැනීමට හුරුවීමෙන්, දවස පුරා ආහාර ගැනීමට ඇති කෑදරකම අඩුවන අතර, එමගින් ආහාර ඔස්සේ ලැබෙන කැලරි ප්‍රමාණය අඩුකරගත හැක. තවද, ප්‍රෝටීන් මගින්, ශරීරයේ පරිවෘත්තීය සීඝ්‍රතාවයද මදකින් ඉහළ යයි. එවිට, දහනය වන කැලරි ප්‍රමාණයද මදක් ඉහළ යෑම සිදුවේ.

  • සීනි අධික පානයන් සහ පළතුරු යුෂ භාවිතයෙන් වළකින්න.

සීනි අධික ආහාරපාන වල අන්තර්ගත වන කැලරි ප්‍රමාණය ඉහළ අගයක් ගනී. එමනිසා, ඒවා පරිභෝජනයෙන්, ශරීරයේ අමතර මේදය තැන්පත්වීමට වැඩි ඉඩක් ඇතිවීම සිදුවේ.

  • ආහාර ගැනීමට පැය භාගයකට පෙර ජලය පානය කරන්න.

ප්‍රධාන ආහාර වේලක් ගැනීමට පැය භාගයකට පෙර ජලය පානය කිරීමෙන්, මාස තුනක් තුළදී බර අඩුවන ප්‍රමාණය 44% කින් ඉහළ යන බව එක් පර්යේෂණයකින් තහවුරු වී ඇත.

  • බර අඩුකරගැනීමට හිතකර වන ආහාර ගන්න.

ඇතැම් ආහාර බර අඩුකරගැනීමට බෙහෙවින් ඉවහල් වේ. ඒවා අතර කොළ පැහැති එළවළු, බිත්තර, සැමන්, මාළු, සම ඉවත්කල කුකුලු මස් වැනි තෙල් රහිත මස් (Lean proteins), රනිල භෝග, අලිගැටපේර, කජු, රටකජු, කුරුට්ට සහිත ධාන්‍ය වර්ග, මිරිස්, පළතුරු ආදී ආහාර ඇත.

  • දියවන තන්තු (Soluble fiber) බහුල ආහාර වැඩිපුර ගන්න.

දියවන තන්තු වැඩිපුර ආහාරයට ගැනීමෙන්, මේදය සහ කොලෙස්ටරෝල් අවශෝෂණය වීම අඩුවන අතර, ඉක්මනින්ම කුස පිරෙන බැවින් ආහාර ඔස්සේ ලැබෙන කැලරි ප්‍රමාණයද සීමාවේ.

  • තේ හෝ කෝපි බොන්න.

තේ සහ කෝපි වල ඇති කැෆේන් නැමැති රසායනය, ඔබේ ශරීරයේ පරිවෘත්තීය සීඝ්‍රතාවය 3-11% කින් පමණ ඉහළ දමන බැවින්, අමතර කැලරි දහනය වන වේගය වැඩිවේ.

  • කුරුට්ට සහිත ධාන්‍ය වර්ග වැඩිපුර ගන්න.

ධාන්‍ය සහ ධාන්‍යමය ආහාර තෝරාගැනීමේදී, කුරුට්ට සහිත ධාන්‍ය තෝරාගන්න. මක්නිසාද, එහි දියවන තන්තු සහ විටමින් වර්ග බහුලව ඇත. දියවන තන්තු මගින්, ආහාර ඔස්සේ ලැබෙන කැලරි ප්‍රමාණය මෙන්ම, ශරීරයේ බර වැඩිවීමද පාලනය කරයි.

  • සෙමෙන් ආහාර ගන්න.

කලබලයක් නොමැතිව සෙමෙන් ආහාර ගන්න. වේගයෙන් ආහාර ගන්නා අයගේ ශරීරයේ බර වැඩිවීම පහසුවෙන් සිදුවේ. සෙමෙන් ආහාර ගැනීමෙන්, ඉක්මනින්ම කුස පිරෙන බැවින්, ආහාර මගින් ලැබෙන කැලරි ප්‍රමාණය අඩුවේ. එමෙන්ම, සෙමෙන් ආහාර ගැනීම, ශරීරයේ බර අඩුවීමට හේතුවන හෝමෝන ක්‍රියාකාරීත්වයන් වැඩිකරයි.

  • කුඩා පිඟානක් තෝරාගන්න.

මෙය මදක් සිනහ උපදවන්නක් වුවද, කුඩා පිඟානක් භාවිතා කිරීමට හුරුවූවන් අඩුවෙන් ආහාර ගන්නා බව, ඇතැම් පර්යේෂණ මගින්ද තහවුරු වී ඇත.

  • සැමදාම හොඳින් නිදාගන්න.

අඩුවෙන් නිදාගැනීමට හුරුවූ අයට, බර වැඩිවීමට ඇති අවදානම සැලකිය යුතු ලෙස වැඩිබව සොයාගෙන ඇත. එමනිසා, දිනපතා ප්‍රමාණවත් ලෙස නිදාගැනීමට පුරුදුවන්න.

 

(ඡායාරූප අනුග්‍රහය: Tony Alter)

 

සබැඳි ලිපි:

ශරීරයේ බර අඩු කරගැනීමට සරල සැලසුමක්
ශරීරයේ බර අඩු කරගැනීම සඳහා ඉඟි කිහිපයක්…
ව්‍යායාම සහ කෑම පාලනය කරන විටදීත් ඔබේ බර වැඩිවෙනවාද?
බර අඩුකරගැනීම පිළිබඳ වැරදි මත 10 ක්

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "බර අඩුකරගැනීම පහසු කරවන ඉඟි 10 ක්" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*