සීනි, රසකැවිලි, සහ රසකල පානයන් අඩුවෙන් ගතයුත්තේ ඇයි?

සීනි, රසකැවිලි, සහ රසකල පානයන් අඩුවෙන් ගතයුත්තේ ඇයි?

ශ්‍රී ලාංකික අපගේ ආහාර වල අඩංගු ප්‍රධාන සංඝටකයක් ලෙස සීනි හැඳින්විය හැක. එහි අන්තර්ගත කැලරි ප්‍රමාණය හැර වෙනත් පෝෂණ ගුණයක් නැති තරම්ය. සීනි වල අඩංගු වන්නේ සරළ කාබෝහයිඩ්‍රේට් වන අතර, ආහාර ජීර්ණය වීමේදී, ආහාරවල අඩංගු තන්තු හැර සියළු කාබෝහයිඩ්‍රේට සීනි බවට බිඳ වැටේ. සරළ සීනි වල අණුක ව්‍යුහය වේගයෙන් බිඳවැටෙන හෙයින්, සරළ සීනි පහසුවෙන් ග්ලූකෝස් බවට පරිවර්තනය වේ. සීනි ප්‍රධාන වශයෙන් ශරීරයට ශක්තිය ලබාදෙන අතර, ඈත අතීතයේ පටන්ම ආහාරපාන රසගැන්වීමට භාවිතා කරයි.

හකුරු සහ පැණි සාදන්නේ, කිතුල්, තල්, පොල්, සහ උක් වලින් ලබාගන්නා ශුද්ධ නොකල සාරයන් මගිනි. ඒවා අප රටේ විවිධ ආහාර සෑදීමට භාවිතා කරන අතර, ඛණිජ ලවණ බහුලව අඩංගු වේ. සුදු සීනි වලට වඩා දුඹුරු සීනි සහ හකුරු වල ඇති වාසියක් වන්නේ, ඛණිජ ලවණ වැඩිපුර අඩංගු වීමය. විශේෂයෙන්, ඒවායේ යකඩ සහ කැල්සියම් අන්තර්ගත වේ.

 

සීනි අඩුවෙන් භාවිතා කරමු.

සීනි සහ සීනි එකතු කරන ලද බිස්කට් වර්ග, රසකැවිලි වර්ග, කේක්, සහ පානයන් වැඩිපුර භාවිතා කිරීම නොකල යුතුවේ. ඒවා වැඩිපුර ආහාරයට ගැනීමෙන්, ශරීරයට අධික කැලරි ප්‍රමාණයක් එකතුවන බැවින්, අධික බර හෝ තරබාරු වීම සිදුවිය හැක. එමගින්, හදවත් රෝග, අංශභාගය හෙවත් ආඝාතය, කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යෑම, දියවැඩියාව, සහ ඇතැම් පිළිකා වැනි රෝග ගණනාවක් වැළඳීමට ඇති අවදානම ඉහළ යයි. සීනි අඩංගු ආහාර ගැනීම නිසා රුධිරයේ සීනි මට්ටම එකවර ඉහළ නැගීම සිදුවේ. එවිට, ඉන්සියුලින් හෝමෝනය නිපදවනු ලබන අග්න්‍යාශයේ හෙවත් ඇලදිවේ සෛල වලට හානි සිදුවිය හැක. මෙසේ දිගින් දිගටම සීනි අධික ආහාර ගැනීමෙන්, අග්න්‍යාශය අධිකව උත්තේජනය වීම, දියවැඩියාව වැළඳීමට මාවත විවර කරයි. එමනිසා, සීනි හෝ සීනි එකතු කරන ලද ආහාර භාවිතය අවම කල යුතුවේ. එමගින්, ආහාරයේ ඇති ස්වභාවික රසය විදීමටද අවස්ථාව සැලසේ. වැඩිහිටියෙකුට දිනකට ගතහැකි උපරිම සීනි ප්‍රමාණය තේ හැඳි 6 ක් වන අතර, තේ හැන්දක සීනි ග්‍රෑම් 4 ක් අඩංගු වේ.

දත් දිරායාම, ශ්‍රී ලංකාවේ පවතින මූලික සෞඛ්‍ය ගැටළු වලින් එකක් වන අතර, සීනි භාවිතය සහ දත් දිරායාම අතර දැඩි සම්බන්ධතාවයක් පවතී.

විවිධ ආහාර වල අඩංගු සැඟවුනු සීනි ප්‍රමාණයන් පිළිබඳ යම් අදහසක් පැවතීමද, සෞඛ්‍ය සම්පන්නව ජීවත්වීමට වැදගත් වේ.

චොකලට් ග්‍රෑම් 100 ක:                                                     සීනි තේ හැඳි 14
ක්‍රීම් සහිත චොකලට් බිස්කට් ග්‍රෑම් 100 ක:                        සීනි තේ හැඳි 11
අයිසින් නොකල පළතුරු කේක් ග්‍රෑම් 50 ක කැබැල්ලක:  සීනි තේ හැඳි 5
කාබනීකෘත කෝලා බීම වීදුරු 1 (මිලිලීටර් 200) ක:         සීනි තේ හැඳි 5
වැනිලා අයිස්ක්‍රීම් ග්‍රෑම් 100 ක:                                          සීනි තේ හැඳි 4.5
ලෙමනේඩ් වීදුරු 1 (මිලිලීටර් 200) ක:                             සීනි තේ හැඳි 3
ජෑම් මේස හැඳි 1 (ග්‍රෑම් 20) ක:                                          සීනි තේ හැඳි 3
පිටිකල මෝල්ටඩ් පානයන් මේස හැඳි 1 (ග්‍රෑම් 15) ක:       සීනි තේ හැඳි 1-2
තක්කාලි සෝස් මේස හැඳි 1 (ග්‍රෑම් 15) ක:                         සීනි තේ හැඳි 1

 

මූලාශ්‍රය : පෝෂණ අංශය, සෞඛ්‍ය අමාත්‍යංශය

(ඡායාරූප අනුග්‍රහය: Gunilla G)

 

සබැඳි ලිපි:

ඔබේ දරුවා නිතර පැණිරස කනවාද?
වැඩිපුර ලුණු භාවිතය අගුණ ඇයි?

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "සීනි, රසකැවිලි, සහ රසකල පානයන් අඩුවෙන් ගතයුත්තේ ඇයි?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*