දරුවාගේ හිසට සිදුවන අනතුරු වලදී කුමක් කල යුතුද?

දරුවාගේ හිසට සිදුවන අනතුරු වලදී කුමක් කල යුතුද

කුඩා දරුවන් දඟකාරී බැවින්, හිස වද්දාගැනීම නිතර සිදුවන දෙයක් බව ඔබ අත්දැකීමෙන් දන්නවා ඇත. ඇතැම්විට, ඔවුන් අඬාගෙන විත්, තමාගේ හිස වැදුනු බවත්, ඉන් පසුව හිස රිදෙන බවත් පැමිණිලි කරනු දැකිය හැක. කුඩා අවධියේදී මෙසේ දරුවාගේ හිසට සිදුවන අනතුරු බොහොමයක් සුළු ඒවා වන අතර, ඒවායේ බලපෑම ඇතිවන්නේ හිසේ බාහිර ප්‍රදේශයට පමණි. නමුත්, ඉතා කලාතුරකින්, හිසට සිදුවන දැඩි අනතුරක් හේතුවෙන්, මොළයේ කුඩා රුධිර වහනයක් හෝ බරපතළ ලේ ගැලීමක් සිදුවිය හැක. හිසට සිදුවන එවැනි අනතුරක්, හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකුගේ අවධානයට ලක්වීම සහ ඒ සඳහා නිසි ප්‍රතිකර්ම කිරීම වැදගත් වේ. බොහෝ දෙමව්පියන් තම දරුවාගේ හිස යමක ගැටුණ විට, කලබලයට පත්වේ.

 

හිසට සිදුවන අනතුරකදී ඔබේ දරුවාගේ දැකිය හැකි රෝග ලක්ෂණ මොනවාද?

හිසට සිදුවන සුළු අනතුරකදී,

  • ගැටුණු ස්ථානයේ හිසේ සම මදක් ඉදිමීම.
  • හිසේ සමෙහි ඇතිවන සුළු තුවාලයක් තිබීම.
  • මද හිසරදයක් පැවතීම.
  • එක්වරක් හෝ දෙවරක් වමනය කිරීම.

හිසට සිදුවන දැඩි අනතුරකදී,

  • දරුවාට සිහිය නොමැතිවීම.
  • දරුවාගේ ප්‍රතිචාරයක් නොමැති වීම.
  • හිසේ විශාල තුවාළයක් පැවතීම.
  • දරුවාගේ මුඛයෙන්, නාසයෙන්, හෝ කනෙන් පැහැදිලි දියරයක් හෝ රුධිරය ගැලීම.
  • හෝන්දු මාන්දු වීම, නොසන්සුන් වීම, මනස ව්‍යාකූල වීම, හෝ අධික නිදිමත වැනි හැසිරීමේ වෙනසක් ඇතිවීම.
  • කරකැවිල්ලක් ඇතිවීම.
  • වලිප්පුව ඇතිවීම.
  • දෙවරකට වඩා වමනය යෑම හෝ හිසට සිදුවූ අනතුරට පැය කිහිපයකට පසුව වමනය යෑම.
  • දැඩි හිස කැක්කුමක් පැවතීම හෝ හිසේ කැක්කුම ක්‍රමයෙන් වැඩිවීම.

 

හිසට සිදුවන අනතුරකදී ඔබ කුමක් කල යුතුද?

  • හිසට සිදුවන දැඩි අනතුරකදී ඇතිවන රෝග ලක්ෂණ එකක් හෝ ඇත්නම්, දරුවා හැකි ඉක්මනින් රෝහලකට රැගෙන යාම හෝ වෛද්‍යවරයෙකුගේ අවධානයට ලක්කිරීම ඉතා වැදගත් වේ.
  • හිසට අනතුරක් සිදුවූ ළදරුවෙක් හෝ ගෙලෙහි වේදනාවක් ඇති ඕනෑම වයසක දරුවෙක්, නොනවත්වාම හඬයි නම්, වහාම වෛද්‍යවරයෙක් වෙත ගෙනයන්න.
  • දරුවා වෙහෙසට පත්වී ඇත්නම්, නිදාගැනීමට ඉඩ දෙන්න.

 

ඔබේ දරුවාගේ හිසට සිදුවන අනතුරු වළක්වා ගන්නේ කෙසේද?

  • නිවස තුළ, දරුවා ගැටීමෙන් පසුව අනතුරක් සිදුවීමට ඉඩ ඇති දේවල් හැකිතරම් අවම කරන්න.
  • ගෙබිම, වතුර, තෙල්, හෝ වෙනත් දියර නොරැඳෙන සේ හැකිතරම් වියලිව සහ පිරිසිදුව පවත්වා ගන්න.
  • සැමවිටම, ඔබේ දරුවා පිළිබඳව අවධානයෙන් පසුවන්න.
  • බිළිඳු ඇවිදීමේ ආධාරක (Infant walkers) භාවිතයෙන් වළකින්න.
  • ඔබේ දරුවා, අන් දරුවන් සමග ගැටෙන සුළු හෝ වැටීමට ඉඩ ඇති ක්‍රීඩාවක නියැලේ නම්, ආරක්ෂිත උපකරණ හෝ පළඳනා පැළඳීමට උනන්දු කරවන්න.

 

(ඡායාරූප අනුග්‍රහය: Runar Pedersen Holkestad)

 

සබැඳි ලිපි:

දරුවාගේ ඇසට අනතුරක් වූ විට කුමක් කල යුතුද?

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "දරුවාගේ හිසට සිදුවන අනතුරු වලදී කුමක් කල යුතුද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*