හදිසි පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව දැනගනිමු.

හදිසි පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව දැනගනිමු

හදිසි අනාරක්ෂිත ලිංගික එක්වීමකට පසුව සිදුවිය හැකි අනපේක්ෂිත ගැබ් ගැනීමක් වළක්වා ගැනීමට හදිසි පවුල් සැලසුම් ක්‍රම (Emergency contraception) භාවිතා කල හැක. කෙසේ වුවද, මෙම ක්‍රම භාවිතා කිරීම හදිසි අවස්ථාවකට පමණක් සීමාකිරීම ඉතා වැදගත් වේ. මක්නිසාද, හදිසි පවුල් සැලසුම් ක්‍රම මගින්, හෝමෝන අධික ප්‍රමාණයක් එකවර ශරීරගත වන බැවින්, අතුරු ආබාධ ඇතිවීමට තිබෙන ඉඩකඩ වැඩි අතර, ඔබේ සෞඛ්‍යයට හානිකර විය හැක. එබැවින්, මෙම ක්‍රම භාවිතා කලයුත්තේ හදිසි අනාරක්ෂිත ලිංගික එක්වීමකට පසුව හෝ දැනට භාවිතා කරන පවුල් සැලසුම් ක්‍රමයක් අසාර්ථක වූ විට (ගිලින පවුල් සැලසුම් පෙති ගැනීමට අමතක වීම හෝ කොන්ඩමය පිපිරීම වැනි අවස්ථා) පමණි.

මූලික වශයෙන්, හෝමෝන පෙති භාවිතාකරන හදිසි පවුල් සැලසුම් ක්‍රම තුනක් පවතී. මේවා බොහෝ ඖෂධ වෙළඳ සැල් වලින් ලබාගැනීමට හැකියාව පවතී.

  • පොස්ටිනෝර් 2 (Postinor 2)

පොස්ටිනොර් 2

අනාරක්ෂිත ලිංගික එක්වීමකට පසුව, පැය 72 ක් ඇතුළත ලීවොනොජෙස්ට්‍රල් (Levonorgestrel) මිලිග්‍රෑම් 0.75 ක් අඩංගු පෙත්තක් භාවිතා කර, නැවත හරියටම පැය 12 කින් තවත් පෙත්තක් ගැනීම. නැතහොත්, පෙති දෙකම එකවර ගැනීමද සිදුකල හැක.

  • පොස්ටිනෝර් 1 (Postinor 1)

පොස්ටිනොර් 1

අනාරක්ෂිත ලිංගික එක්වීමකට පසු, පැය 72 ක් ඇතුළත ලීවොනොජෙස්ට්‍රල් මිලිග්‍රෑම් 1.5 ක් අඩංගු එක් පෙත්තක් භාවිතා කිරීම.

  • මිතුරි හෙවත් පවුල් සංවිධාන ගිලින පෙති

මිතුරි හෙවත් පවුල් සංවිධාන ගිලින පෙති

අනාරක්ෂිත ලිංගික එක්වීමකට පසු, පැය 72 ක් ඇතුළත පවුල් සංවිධාන ගිලින පෙති (මිතුරි) පැකට්ටුවකින් හෝමෝන පෙති 4 ක් භාවිතා කර නැවත හරියටම පැය 12 කින් හෝමෝන අඩංගු තවත් පෙති 4 ක් ගැනීම. මෙය යුස්ප් ක්‍රමය (Yuzpe method) ලෙසද හැඳින්වේ.

 

හදිසි පවුල් සැලසුම් ක්‍රම වල ඇති විශේෂ ලක්ෂණ

  • හදිසි අනාරක්ෂිත ලිංගික එක්වීමකට පසු, හැකි ඉක්මනින් පෙති ගැනීමෙන් සාර්ථකත්වය වැඩිවේ.
  • හදිසි පවුල් සැලසුම් ක්‍රම 100% ක්ම සාර්ථක නොවන අතර, ඒවා භාවිතා කිරීමේදී ගැබ් ගැනීමට ඇති හැකියාව 2% ක් පමණ වේ.
  • හදිසි පවුල් සැලසුම් ක්‍රම වලින් මූලික වශයෙන් කෙරෙන්නේ, ඩිම්බ කෝෂ වලින් බිම්බ මෝචනය වීම වැළැක්වීම වේ. එයට අමතරව, ගැබ්ගෙලෙහි ශ්‍රාවයන් ඝනකම කිරීම නිසා, යෝනි මාර්ගයේ ඇති ශුක්‍රාණු ගර්භාෂය දෙසට චලනය වීමද, වැළකෙන අතර, ගර්භාෂය තුළ කලලයක් තැන්පත් වීමට නුසුදුසු පරිසරයක් ඇතිකිරීමද සිදුකරයි.
  • යම් හෙයකින්, දරුවෙක් පිළිසිඳ ගතහොත්, හදිසි පවුල් සැලසුම් ක්‍රම භාවිතයෙන් කලලයට හානියක් සිදුනොවේ.
  • කිරි දෙන මව්වරුන්ටද, භාවිතා කල හැක.
  • හිස්බඩ නොගෙන, ආහාර වේලකට, කිරි වීදුරුවකට, හෝ අවම වශයෙන් බිස්කට් එකක් වැනි ආහාරයක් ගැනීමෙන් පසුව, පෙති භාවිතා කිරීමෙන් ඔක්කාරය ඇතිවීම අවම කරගත හැක.
  • පෙති ගැනීමෙන් පැය 24 ක් තුළ ඔක්කාරය ඇතිවීමට ඉඩ ඇත. කලාතුරකින්, වමනය ඇතිවීමද සිදුවේ. පෙත්ත ගෙන පැය 2 ක් තුළ වමනය ඇතිවුවහොත්, වහාම තවත් පෙත්තක් ගත යුතුවේ. පෙත්ත ගැනීමෙන් පැය 2 කට පසුව වමනය වුවහොත්, නැවත පෙත්තක් ගැනීම අවශ්‍ය නොවේ.
  • ඔසප්වීම අක්‍රමවත් වීමද, හදිසි පවුල් සැලසුම් ක්‍රම භාවිතයේදී ඇතිවන තවත් සංකූලතාවයක් වේ.
  • පොස්ටිනෝර් පෙති ගැනීමෙන්, කිසිඳු ලෙසකින් ගබ්සා වීමක් සිදුනොවේ. එමනිසා, ඔසප්වීම ප්‍රමාද වූ අවස්ථාවක පොස්ටිනෝර් පෙති ගැනීමෙන් පලක් නොමැත.
  • හදිසි පවුල් සැලසුම් පෙති යනු සාමාන්‍ය පවුල් සැලසුම් ක්‍රමයක් නොවන අතර, එය හදිසි අවස්ථාවක පමණක් භාවිතා කලයුතු, ගැබ් ගැනීම වළකන නවීන ක්‍රමයකි.
  • කෙසේ වුවත්, ඔසප්වීමට නියමිත දිනට වඩා දින 7 කට වඩා ඔසප්වීම ප්‍රමාද වුවහොත්, මුත්‍රා පරීක්ෂණයක් සිදුකර ගැබ් ගෙන ඇතිදැයි පරීක්ෂා කල යුතුවේ.

 

අන්තර් ගර්භාෂිත තැන්පතුව හෙවත් ලූපය (Intrauterine device or IUD) ද, හදිසි පවුල් සැලසුම් ක්‍රමයක් ලෙස භාවිතා කල හැක. හදිසි අනාරක්ෂිත ලිංගික එක්වීමකින් පසුව, දින පහක් තුළ ලූපයක් තැන්පත් කිරීම මගින් ගැබ් ගැනීම වළකා ගත හැකිවේ. එමගින්, ගැබ් ගැනීමට ඇති අවදානම 1% ක් දක්වා අඩුවන බැවින්, හෝමෝන පෙති භාවිතා කරන හදිසි පවුල් සැලසුම් ක්‍රම වලට වඩා සාර්ථක වේ. අවශ්‍ය නම්, ගර්භාෂයේ තැන්පත් කරන ලද ලූපය ඉදිරි වසර 10 ක කාලයක් දක්වා පවුල් සැලසුම් ක්‍රමයක් ලෙසද භාවිතා කල හැක.

 

සබැඳි ලිපි:

පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව හොඳින් දැනුවත් වෙමු!
මිශ්‍ර ගිලින පවුල් සැලසුම් පෙති භාවිතා කරන්නේ කොහොමද?
මිශ්‍ර හෝමෝන අලවනය ගැන දැනගනිමු.
ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති පවුල් සැලසුම් ක්‍රම
ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති ගිලින පවුල් සැලසුම් පෙති
පවුල් සැලසුම් සඳහා ප්‍රොජෙස්ටොජන් නික්ෂේපණ
හෝමෝන කරල් තැන්පතුව ගැන දැනගනිමු.
පිරිමි කොන්ඩමය, පවුල් සැලසුම් කිරීම සඳහා භාවිතා කිරීම
අන්තර් ගර්භාෂිත තැන්පතුව හෙවත් ලූපය ගැන දැනගනිමු.
ස්ත්‍රී වන්ධ්‍යාකරණය (එල්. ආර්. ටී. සැත්කම) ගැන දැනගනිමු.

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "හදිසි පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව දැනගනිමු." පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*