යහපත් ජීවන රටාවක් මගින් සුවදායී දිවියක්…

යහපත් ජීවන රටාවක් මගින් සුවදායී දිවියක්

ශ්‍රී ලංකාව තුළ, වසරකට සිදුවන මරණ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක්ම බෝනොවන රෝග (Non-communicable diseases) නිසා සිදුවන බව ඔබ දන්නවාද? මේ බෝනොවන රෝග මොනවාද? බෝනොවන රෝග යනු ආසාදනය වීමක් නිසා ඇති නොවන, කෙනෙකුගෙන් තවත් කෙනෙකුට පැතිරීම සිදුනොවන රෝග තත්ත්වයන්ය. ඒවා දිගුකාලයක් තිස්සේ පවතින අතර, ඉතා සෙමෙන් වර්ධනය වේ. බෝනොවන රෝග බොහොමයක් ඇතිවන්නේ අපගේ ජීවිත වල ඇති අවදානම් චර්යාවන් නිසාය. එමෙන්ම, ඒවා දිගුකාලීන සංකූලතා ඇතිකිරීමටද සමත් වේ. යහපත් ජීවන රටාවක් මගින්, බෝනොවන රෝග වැළඳීමට ඇති අවදානම අඩුකරගෙන, සුවදායී දිවියක් කරා ගමන්කරන්නේ කෙසේදැයි පැහැදිලි කිරීම මෙම ලිපියෙහි අරමුණයි.

ප්‍රධාන බෝනොවන රෝග ලෙස හෘදයාබාධ, දියවැඩියාව, අංශභාගය හෙවත් ආඝාතය, පිළිකා, අධික රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල් මට්ටම, සහ ඇදුම වැනි දිගුකාලීන ශ්වසන රෝග හැඳින්විය හැක. එයින් හෘදයාබාධ යනු, 1995 වසරේ සිට මේ දක්වාම රෝහල්ගත වීමෙන් අනතුරුව සිදුවන මරණ වලින් වැඩිම ප්‍රමාණයකට දායකත්වය දක්වන රෝගයයි. රෝහල්ගත වීමෙන් පසුව සිදුවන මරණ වලින් 30%-35% ක් පමණ හෘදයාබාධ නිසා සිදුවේ.

 

බෝනොවන රෝග වැළඳීමට හේතුවන, පාලනය කලහැකි සාධක මොනවාද?

  • අහිතකර ආහාර රටාවන්
  • දුම්කොළ භාවිතය සහ දුම්පානය
  • මධ්‍යසාර පානය
  • ශාරීරික ක්‍රියාකාරකම් වල නොයෙදීම
  • මානසික ආතතිය

පිෂ්ටය, තෙල්, සීනි, සහ ලුණු අධිකව අඩංගු ආහාර වැඩිපුර ගැනීම අපගේ ඇති අහිතකර ආහාර පුරුද්දක් ලෙස හැඳින්විය හැක. එමෙන්ම, පළතුරු සහ එළවළු ප්‍රමාණවත් පරිදි අපගේ ආහාරය තුළ අඩංගු නොවීමද, බෝනෝවන රෝග ඇතිවීමට මූලික හේතුවක් වී ඇත.

 

හිතකර ආහාර පුරුදු මොනවාද?

  • සීනි සහ ලුණු භාවිතය අවම කිරීම.
  • එළවළු සහ පළා වර්ග වැඩිපුර ආහාරයට ගැනීම.
  • ආහාර වේල තුළ, තෙල් අඩංගු ආහාර එකකට පමණක් සීමා කිරීම.
  • නියමිත ප්‍රමාණයට පළතුරු ආහාරයට ගැනීම.
  • පිෂ්ටය හෙවත් කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර අවශ්‍ය ප්‍රමාණයට පමණක් ගැනීම.
  • සත්ත්ව මේදය අඩංගු ආහාර ගැනීම අවම කිරීම.

දුම්කොළ, දුම්වැටි, සහ මත්පැන් භාවිතය නිසා ඔබගේ මරණය ඉක්මන් කරවන බෝනෝවන රෝග වැළඳීමට ඇති අවදානම සැලකිය යුතු ලෙස ඉහළ යයි. එවැනි අවදානම් චර්යාවන් මගින් හෘදයාබාධ, හෘදය අකර්මණ්‍ය වීම, අංශභාගය හෙවත් ආඝාතය, පර්යන්ත වාහිනික රෝගය (Peripheral vascular disease or PVD), පිළිකා වැනි මාරාන්තික රෝග ගණනාවක් ඇතිවේ. එමනිසා, දුම්කොළ, දුම්වැටි, සහ මත්පැන් භාවිතයෙන් සම්පූර්ණයෙන් වළකින්න.

 

සුවැති දිවියකට දිනපතා කලහැකි ශාරීරික ක්‍රියාකාරකම් මොනවාද?

  • විදුලි සෝපානය වෙනුවට පඩිපෙල තෝරාගන්න.
  • කෙටි දුරක් ගමන්කිරීමට සැමවිටම පා ගමන තෝරාගන්න.
  • යන්ත්‍ර සූත්‍ර භාවිතය අවම කරන්න. උදාහරණ වශයෙන්, දෑතින් රෙදි සේදීම, පිටි කෙටීම, කුල්ලෙන් පෙලීම ආදිය දැක්විය හැක.
  • එළවළු වැවීම, තණකොල කැපීම, උදළු ගෑම වැනි ගෙවත්තේ වැඩකිරීම.
  • ඇවිදීම හෝ සෙමෙන් දිවීම.
  • ව්‍යායාමයක් ලෙස බයිසිකල් පැදීම.
  • ගේ දොර පිරිසිදු කිරීම.
  • පිහිනීම, බැඩ්මින්ටන්, වොලිබෝල්, පාපන්දු වැනි ක්‍රීඩා කිරීමට යොමුවීම.
  • විනෝදාංශයක් ලෙස නර්තනයට යොමුවීම.
  • කඳු නැගීම.

සාරාංශයක් ලෙස, පහත පරිදි ඔබේ ජීවන රටාව මදක් වෙනස්කර ගැනීමෙන්, ප්‍රීතිමත් සහ සුවැති දිවියක් ඔබට ලැබෙනු ඇත.

  • ක්‍රියාශීලී වීම.
  • දුම්පානය, දුම්කොළ භාවිතය, සහ මත්පැන් භාවිතයෙන් වැළකීම.
  • සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරුවීම.
  • මානසික ආතතිය පාලනය කිරීම.

 

(ඡායාරූප අනුග්‍රහය: Global Panorama)

 

සබැඳි ලිපි:

ඔබේ සෞඛ්‍යය වැඩිදියුණු කරගැනීමට ඉඟි 20 ක්
බොහෝ කල් ජීවත්වෙන්න ඉඟි කිහිපයක්…
බෝනොවන රෝග වලින් වැළකීමට ක්‍රියාශීලී වෙමු!
සුවැති දිවියකට අනුගමනය කලයුතු හොඳ පුරුදු 8 ක්
සුවැති දිවියක් සඳහා අනුගමනය කලයුතු කරුණු 4 ක්

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "යහපත් ජීවන රටාවක් මගින් සුවදායී දිවියක්…" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*