නිවැරදිව ලුණු ආහාරයට ගන්නේ කෙසේද?

නිවැරදිව ලුණු ආහාරයට ගන්නේ කෙසේද

වසර දහස් ගණනක් පැරණි මානව ශිෂ්ටාචාරය තුළ ආහාර රසගැන්වීම සඳහා ලුණු වලට හිමිවී තිබුණේ ප්‍රමුඛතම ස්ථානයකි. එමනිසා, ලුණු වලින් තොරව ආහාර ගැනීමක් සිතීමටත් අපහසු වී ඇත. එමෙන්ම, මිනිස් ශරීරයේ අභ්‍යන්තර පරිසරය සහ එහි ක්‍රියාකාරීත්වය සාමාන්‍ය පරිදි පවත්වා ගැනීමට අත්‍යාවශ්‍ය වන සෝඩියම් ලබාදෙන ප්‍රධානම ප්‍රභවය ලුණු ලෙස හැඳින්විය හැක. අප ගන්නා ආහාර වල ස්වභාවිකව පවතින සෝඩියම් ප්‍රමාණය, අපගේ දෛනික සෝඩියම් අවශ්‍යතාවය සැපිරීමට ප්‍රමාණවත් වේ. නමුත්, වැඩිපුර දහඩිය දමන අයට, තරමක වැඩි ලුණු ප්‍රමාණයක් අවශ්‍ය විය හැක. දවසකට ආහාරයට ගතහැකි, අමතරව එක්කරන උපරිම ලුණු ප්‍රමාණය ග්‍රෑම් 5 ක් හෙවත් තේ හැන්දක් ලෙස නිර්දේශ කර ඇත්තේ එබැවිනි. එමනිසා, නිවැරදිව ලුණු ආහාරයට ගන්නේ කෙසේදැයි මදක් විමසා බලමු.

 

අපට ලුණු ලැබෙන ආහාර ප්‍රභවයන් මොනවාද?

  • සෑම ආහාරයකම ලුණු කුඩා ප්‍රමාණ වලින් පවතී.
  • ආහාර පිළියෙල කිරීමේදී සහ පිසීමේදී ලුණු එකතුවීම.
  • ආහාර ගන්නා විට කෑම මේසයේදී ලුණු එකතු කිරීම.
  • ආහාර සකස්කිරීමේදී ලුණු එකතු කිරීම.
    • කරවල, හැම්, බේකන්, ලුණු දැමූ හරක් මස්, සොසේජස්
    • බටර් සහ මාගරින්
    • වෙජිමයිට් සහ මාමයිට් (යීස්ට් සාරයන්)
    • සෝයා සෝස් වැනි සෝස් වර්ග
    • ටින් කරන ලද එළවළු
    • ලුණු රසැති බිස්කට් වර්ග, බයිට් වර්ග, ක්‍රිස්පි වර්ග, අච්චාරු, චට්නි, බදින ලද අලපෙති, පාන්
    • උදය ආහාරය සඳහා සකස්කරන ලද ධාන්‍ය වර්ග

 

ලුණු ආහාරයට ගැනීම සීමාකල යුත්තේ ඇයි?

සමස්ථයක් වශයෙන් ගත්කල, ලුණු ප්‍රමාණය අඩු සහ පොටෑසියම් බහුල ආහාර, මිනිසාගේ රුධිර පීඩනය අඩුකරයි. වැඩිපුර එළවළු සහ පළතුරු ආහාරයට ගැනීමෙන්, වැඩිපුර පොටෑසියම් ශරීරයට ලැබේ. අධික රුධිර පීඩනය ඇති අය මෙන්ම, නිරෝගී සෑම අයෙක්ම ලුණු භාවිතය සීමාකල යුතුවේ. මක්නිසාද, ලුණු වැඩිපුර ආහාරයට ගැනීමෙන් රුධිර පීඩනය ඉහළ යෑම සිදුවේ. අධික රුධිර පීඩනය මගින් හෘදයාබාධ, ආඝාතය හෙවත් අංශභාගය, හෘදය අකර්මණ්‍ය වීම වැනි දරුණු රෝග ගණනාවක් වැළඳීමට ඇති අවදානම වැඩිකරයි. වයස්ගත වීමත් සමග ලුණු වලට මිනිස් ශරීරය දක්වන මෙම සංවේදීතාවය ක්‍රමයෙන් ඉහළ යෑමද දැකිය හැක. එමෙන්ම, ලුණු අධිකව ආහාරයට ගැනීමෙන්, මුත්‍රා ඔස්සේ ශරීරයෙන් ඉවත්වන කැල්සියම් ප්‍රමාණයද වැඩිවේ. එමනිසා, දෛනිකව කැල්සියම් අවශ්‍ය වන ප්‍රමාණය වැඩිවන අතර, දිගුකාලීනව කැල්සියම් ඌණතාවයක් ඇතිවීමටද ඉඩ ඇත.

 

අප අයඩින් ලුණු පමණක් භාවිතාකල යුත්තේ ඇයි?

සෑම නිවසකම පාහේ ලුණු භාවිතා කරන බැවින්, ශ්‍රී ලාංකික ජනතාවගේ අයඩින් අවශ්‍යතාවය සැපිරීම සඳහා, ලුණු වලට අයඩින් එකතුකිරීම නිර්දේශ කර ඇත. එමනිසා, ලුණු භාවිතය, අයඩින් ලුණු වලට සීමාකිරීම අත්‍යාවශ්‍ය දෙයකි.

මිනිසාගේ කායික සහ මානසික ක්‍රියාකාරීත්වය මනාව පවත්වා ගැනීමට අත්‍යාවශ්‍ය වන තයිරොයිඩ් හෝමෝන නිෂ්පාදනයට, අයඩින් අත්‍යාවශ්‍ය සංඝටකයකි. එමනිසා, අයඩින් ඌණතාවය, මන්ද බුද්ධිකතාවය ඇතිවීමට මෙන්ම, ශාරීරික සහ මානසික වර්ධනය සහ විකසනය අකර්මණ්‍ය වීමටද හේතුවේ.

 

ආහාර සකස්කිරීමේදී ලුණු වල ඇති අයඩින් ආරක්ෂා කරගන්නේ කෙසේද?

  • ලුණු ආලෝකයට නිරාවරණය නොවන සේ, අඳුරු පැහැ බෝතලයක ගබඩා කරන්න.
  • ලිප, ගෑස් උඳුන, හෝ වෙනත් ඕනෑම තාපය නිකුත්කරන උපකරණයක් අසල ලුණු ගබඩා කිරීමෙන් වළකින්න.
  • ආහාරයට එක්කිරීමට පෙර ලුණු සේදීමෙන් වළකින්න.
  • ආහාර පිසීමෙන් අනතුරුව ලුණු එක්කරන්න.

 

ලුණු භාවිතය අඩුකරන්නේ කොහොමද?

  • ආහාර පිසීමේදී සහ සකස්කිරීමේදී ලුණු කුඩා ප්‍රමාණ වලින් එක්කරන්න. ආහාර රසවත් කිරීම සඳහා, ලුණු වෙනුවට වෙනත් කුළුබඩු වර්ග සහ ස්වභාවික රසකාරක යොදාගැනීමට ඉගෙන ගන්න සහ අත්හදා බලන්න.
  • කෘතිම හෝ සකස් කරන ලද ආහාර (Processed foods) වෙනුවට, ලුණු අඩු නැවුම් ආහාර තෝරාගන්න.
  • ලුණු යෙදූ, ටින්කල, හෝ සකස්කරන ලද ආහාර වලට වඩා අලුත් මාළු සහ අලුත් මස් වල ඇති සෝඩියම් ප්‍රමාණය අඩුය.
  • ටින්කල ආහාර තෝරාගැනීමේදී, ලුණු අඩු හෝ ලුණු රහිත (Low-salt or salt-free) ඒවා තොරාගන්න.
  • සෝස්, අච්චාරු, ලුණුදෙහි, බයිට් වර්ග, චට්නි, සලාද මිශ්‍රණ (සැලඩ් ක්‍රීම්), සහ අබ ක්‍රීම් වැනි ලුණු අධික ආහාර භාවිතය සීමාකරන්න.
  • ලුණු අධික කෙටි ආහාර වෙනුවට, ලුණු අඩු නැවුම් පළතුරු සහ එළවළු තෝරාගන්න.
  • කලින් සකස්කරන ලද සහ පැකට් කරන ලද ආහාර සකස්කිරීමේදී, ලුණු අධික ප්‍රමාණයක් එක්කරන බැවින්, ඒවා භාවිතය සීමාකරන්න.
  • ළදරුවන්ට සහ ළමුන්ට ලුණු හඳුන්වාදීම ප්‍රමාද කරන්න. එවිට, ලුණු වලට හුරුවීම ප්‍රමාද වන බැවින්, ඉදිරි ජීවිතයේදී ඔවුන් අඩු ලුණු ප්‍රමාණයකින් සෑහීමට පුරුදු වේ.
  • අප ලුණු රසට පුරුදුවී ඇත්තේ දිගුකාලයක් තිස්සේ වැඩිපුර ලුණු ආහාරයට ගැනීම නිසාය. එමනිසා, අඩු ලුණු ප්‍රමාණයකට දිව හුරුකර ගැනීමෙන්, ආහාරයේ ලුණු අඩු ස්වභාවික රසය බුක්ති විඳීමට පුරුදු වන්න.

 

මූලාශ්‍රය : පෝෂණ අංශය, සෞඛ්‍ය අමාත්‍යංශය

 

(ඡායාරූප අනුග්‍රහය: Leonid Mamchenkov)

 

සබැඳි ලිපි:

වැඩිපුර ලුණු භාවිතය අගුණ ඇයි?
විටමින් E වැඩිපුර ගැනීම අවදානම්!
සුවැති දිවියකට විවිධ වර්ගයේ ආහාර කෑමට ගන්න.
සෞඛ්‍ය සම්පන්න දිවියකට එළවළු සහ පළතුරු

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "නිවැරදිව ලුණු ආහාරයට ගන්නේ කෙසේද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*