ඔබේ දරුවාට අත් සේදීමට පුරුදු කලයුත්තේ ඇයි?

ඔබේ දරුවාට අත් සේදීමට පුරුදු කලයුත්තේ ඇයි?

කුඩා දරුවන් අවට පරිසරයේ ඇති බොහෝ දේ ඇල්ලීමට පෙළඹෙන අතර, එමගින් විෂබීජ මිලියන ගණනක් ඔවුන්ගේ අත්වල තැවරීම සිදුවේ. එයට අමතරව, පරිසරයේ ඇති පණු බිත්තර ආදියද අත්වල තැවරීම සිදුවේ. එමනිසා, කුඩා දරුවන්ට වැළඳෙන රෝග ගණනාවකටම මෙලෙස දෑත්වල තැවරෙන විෂබීජ සහ පණු බිත්තර හේතුවේ. කෙසේ වුවත්, ආහාර ගැනීමට පෙර, වැසිකිලි හෝ කැසිකිලි භාවිතයෙන් පසු, සහ සෙල්ලම් කිරීමෙන් පසු අත් සේදීමට හුරු කිරීමෙන්, රෝග ගණනාවක්ම වැළඳීම වළක්වාගත හැක. කුඩා දරුවන් බොහෝවිට දෑත් සේදීමට මැළිකමක් දැක්වීම ස්වභාවික දෙයකි. නමුත්, දෑත් සේදීම නිතරම මතක් කරමින් ඒ සඳහා පෙළඹවීම වුවද ඉතා වටිනා දෙයකි. මක්නිසාද, එයින් ලැබෙන සෞඛ්‍ය වාසි බොහොමයක් ඇත.

දෑත් සේදීම යනු, වැදගත්ම සෞඛ්‍ය පුරුද්දක් වන්නේ, එය ඔබේ දරුවාට විෂබීජ ඇතුළුවීම මෙන්ම, අන් අයට විෂබීජ පැතිරීමද වළක්වා ගතහැකි ක්‍රමයක් බැවිනි.

විෂබීජ දරුවාට ඇතුළු වියහැකි ක්‍රම කිහිපයකි.

  • අපවිත්‍ර වූ අත් ඇල්ලීම.
  • අපිරිසිදු ඩයපර් මාරු කිරීමේදී.
  • අපිරිසිදු ජලය සහ ආහාර ඔස්සේ.
  • කිවිසීමේදී සහ කහින විට වාතයට නිදහස් වන බිඳිති මගින්.
  • අපවිත්‍ර වූ මතුපිටවල් (භාණ්ඩ, උපකරණ, බිත්ති ආදිය) මගින්.
  • අසනීප වූ අයෙකුගේ ශරීරයෙන් පිටවන දියර වර්ග මගින්.

කුඩා දරුවෙක්ගේ දෑත් විෂබීජ වලින් අපවිත්‍ර වූ විට, ඇස්, නාසය, මුඛය ආදිය ස්පර්ශ කිරීම නිසා, නොදැනුවත්වම ආසාදනය වීම සිදුවිය හැක. එමෙන්ම, කුඩා දරුවෙකුට ආසාදනයක් ඇතිවූ විට, මුළු පවුලටම එය පැතිරීමේ අවදානමද වැඩිය.

නිවැරදිව අත් සේදීම, රෝග ගණනාවක්ම පැතිරීම වැළැක්විය හැකි මූලික ආරක්ෂක උපක්‍රමයක් ලෙස හැඳින්වීම නිවැරදිය. එමගින්, සෙම්ප්‍රතිශ්‍යාවේ සිට සෙංගමාලය (Hepatitis A), ආවෘතිදාහය හෙවත් මෙනින්ජයිටිස් (Meningitis), අනුශ්වාසනාලදාහය හෙවත් බ්‍රොන්කියෝලයිටිස් (Bronchiolitis), වයිරස් උණ, සහ අතීසාරය (Diarrhoea) වැනි දරුණු ආසාදන දක්වා රෝග විශාල සංඛ්‍යාවක් පැතිරීම සහ වැළඳීම වළක්වා ගතහැක.

 

නිවැරදිව අත් සෝදන්නේ කෙසේද?

ආසාදන පැතිරීම සහ වැළඳීම වැළැක්වීම සඳහා නිවැරදිව අත් සේදීමට ඔබේ දරුවා හුරු කරන්න. වඩා උචිත ක්‍රමය වන්නේ, ඔබත් දරුවා සමග දෑත් සේදීම සිදුකිරීමයි.

  • අත් සේදීම සඳහා හැකි සෑමවිටම මද උණුසුම් ජලය යොදාගන්න. ඔබේ දරුවාගේ අත්වලට අපහසුවක් ඇති නොවන තරම්, ජලය උණුසුම් වීම ප්‍රමාණවත් වේ.
  • සබන් යොදා හොඳින් පෙණ නගින සේ තත්පර 20 ක් පමණ දෑත් අතුල්ලන්න. මේ සඳහා විශේෂිත සබන් වර්ග අවශ්‍ය නොවේ. ඕනෑම සබන් වර්ගයකට, විෂබීජ හොඳින් ඉවත්කිරීමේ හැකියාව ඇත. සබන් ගෑමේදී, විශේෂයෙන් ඇඟිලි කරු සහ නියපොතු යට හොඳින් සබන් ගෑවෙන සේ අතුල්ලන්න. මක්නිසාද, එවැනි ප්‍රදේශ වල විෂබීජ ඉතිරිවීමට වැඩි ඉඩක් පවතී. අත් සේදීමේදී, මැණික් කටුව ප්‍රදේශයද සේදීමට අමතක නොකරන්න.
  • අත්වල ඇති සබන් හොඳින් සෝදාහරින්න. ඉන් අනතුරුව, පිරිසිදු සහ වියළි තුවායකින් දෑත් පිසදමන්න.

ඔබේ පවුල තුළ විෂබීජ පැතිරීම වැළැක්වීමට, අත් සේදීම නිතිපතා කරන දෛනික පුරුද්දක් කරගන්න. විශේෂයෙන් පහත අවස්ථා වලදී, දෑත් සේදීම කරන්න.

  • ආහාර ගැනීමට සහ පිළියෙල කිරීමට පෙර.
  • වැසිකිලි හෝ කැසිකිලි යාමෙන් පසු.
  • ගෙවත්ත සුද්ද පවිත්‍ර කිරීමෙන් පසු.
  • සුරතල් සතුන් ඇල්ලීමෙන් පසු.
  • රෝගී ඥාතියෙක් හෝ යහළුවෙක් මුණගැසීමට හෝ එවන් අයෙක්ට සාත්තු කිරීමට පෙර සහ පසු.
  • කැස්සක් හෝ කිවිසුමක් ඇති වූ පසු.
  • සොටු සීරීමෙන් පසු.
  • බාහිර පරිසරයේ ගතකිරීමෙන් පසු (සෙල්ලම් කිරීම, ගෙවත්තේ වැඩකිරීම, ඇවිදීම ආදිය).

කිසිවිටෙකවත්, අත් සේදීම අවතක්සේරු නොකරන්න. ඔබ සහ ඔබේ දරුවා අත සේදීමට ගතකරන මිනිත්තු කිහිපය, වෛද්‍යවරයා මුණගැසෙන වාර ගණන සැලකිය යුතු ලෙස අඩුකරන බව අමතක නොකරන්න. එමෙන්ම, දෑත් වල නියපොතු කොටට කැපීමෙන්ද, විෂබීජ සහ පණු බිත්තර රැඳීමට ඇති ඉඩ අඩුවේ.

 

(ඡායාරූප අනුග්‍රහය: MIKI Yoshihito)

 

සබැඳි ලිපි:

කුඩා දරුවන්ට වැළඳෙන ආසාදන වලක්වා ගන්නේ කෙසේද?
ඔබේ දරුවාගේ ප්‍රතිශක්තිය වැඩි කරගන්නේ කෙසේද?
ශ්වසන පද්ධතියේ ආසාදන වැලැක්වීමට උගුර සෝදමු!

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ඔබේ දරුවාට අත් සේදීමට පුරුදු කලයුත්තේ ඇයි?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*