සර්ප දෂ්ට කිරීමකදී කුමක් කල යුතුද?

සර්ප දෂ්ට කිරීමකදී කුමක් කල යුතුද?

ශ්‍රී ලංකාව ඝර්ම කලාපීය රටක් වන බැවින් ස්වභාවික පරිසරයේ සර්පයන් බහුලව දක්නට ලැබේ. ගොඩබිම සහ මුහුදු සර්පයන් විශේෂ 104 ක් ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන අතර, ඉන් ගොඩබිම සිටින සර්පයන් විශේෂ 5 ක් උග්‍ර විෂ සහිත වේ. සර්පයන් විශේෂ 70 කට අධික ප්‍රමාණයක්, විෂ රහිත වන බැවින් මිනිසාට හානියක් නොමැත. කෙසේ වුවත්, ශ්‍රී ලංකාවේ හමුවන මුහුදු සර්පයන් සියල්ලම උග්‍ර විෂ සහිත වේ. නමුත්, වාසනාවකට මෙන් මුහුදු සර්ප දෂ්ට කිරීමක් වාර්තා වන්නේ ඉතාම කලාතුරකිනි.

සර්ප දෂ්ට කිරීම් බොහොමයක් විෂ රහිත වන අතර, උග්‍ර විෂැති සර්පයෙකුගේ දෂ්ට කිරීමක් සැමවිටම විෂ වන්නේද නැත. සර්ප දෂ්ට කිරීම් වලින් 10% ක් පමණ මාරාන්තික විය හැක. නාගරික පරිසර වලට වඩා, ගම්බද පරිසර වල සර්ප දෂ්ට කිරීම් සිදුවන වාර ගණන වැඩිය. නමුත්, මෑතකදී නාගරික සහ අර්ධ නාගරික පරිසර වලදී සිදුවන සර්ප දෂ්ට කිරීම් සංඛ්‍යාව වැඩිවෙමින් පවතී. එමෙන්ම, බොහොමයක් සර්පයන් නිශාචර බැවින්, දිවා කාලයට වඩා රාත්‍රී කාලයේදී වැඩි සර්ප දෂ්ට කිරීම් ප්‍රමාණයක් සිදුවේ. සර්ප දෂ්ට කිරීම් නිසා සිදුවන බොහොමයක් මරණ සිදුවන්නේ, තිත් පොළඟා (දාර පොළඟා), නයා, සහ කරවලා දෂ්ට කිරීමෙනි.

 

ශ්‍රී ලංකාවේ හමුවන උග්‍ර විෂැති සර්පයන්

  • නයා (නාගයා)
  • තෙල් කරවලා (මග මරුවා)
  • මුදු කරවලා
  • තිත් පොළඟා (දාර පොළඟා)
  • වැලි පොළඟා

 

සර්ප දෂ්ට කිරීමකදී කල යුත්තේ කුමක්ද?

  • සර්ප දෂ්ට කිරීමට ලක්වූ තැනැත්තාගේ සිතෙහි බිය නැතිවනසේ කතා කරන්න.
    • බොහොමයක් සර්පයන් විෂ රහිත බව පවසන්න.
    • විෂ සහිත සර්පයෙක් දෂ්ට කලද, විෂ ඇතුළු නොවීමට හැකියාව ඇතිබව පවසන්න.
    • දෂ්ට කල ස්ථානයේ දළ පහරවල් තිබූ පමණින් විෂ ශරීරගත වී ඇතැයි අදහස් නොවන බව පවසන්න.
    • විෂ ශරීරගත වුවත්, ඵලදායී ප්‍රතිකර්ම රෝහල් වල පවතින බවත්, සම්පූර්ණයෙන්ම සුවවීමට හැකියාවක් ඇති බවත් පවසන්න.
  • දෂ්ට කල ස්ථානය සබන් සහ ජලයෙන් මදක් සෝදා, පිරිසිදු සහ වියලි ගෝස් කැබැල්ලකින් හෝ රෙදි කැබැල්ලකින් ආවරණය කරන්න.
  • හැකිනම්, දෂ්ට කරන ලද ප්‍රදේශය, හදවත පවතින මට්ටමේ තබන්න.
  • සර්ප දෂ්ට කිරීමට ලක්වූ ප්‍රදේශය හැකිතරම් සෙලවීමෙන් වලකින්න. එමගින්, තවදුරටත් විෂ ශරීරය පුරා පැතිරීම වළකින අතර, වේදනාව අඩුවේ. එමනිසා, රෝගියාට ඇවිදීමට ඉඩ නොදෙන්න.
  • දෂ්ට කිරීමට ලක්වූ අත හෝ පාදය ඉදිමීමට ඉඩ ඇති බැවින්, මුදු , වළළු, නූල්, තද ඇඳුම්, ඔරලෝසු ආදිය ගලවා ඉවත්කරන්න.
  • රෝගියාට වේදනාව ඇත්නම්, පැරසිටමෝල් (Paracetamol) පමණක් ලබාදෙන්න.
  • ඉක්මනින් රෝගියා ලඟම ඇති රජයේ රෝහලට ගෙන යන්න.

 

සර්ප දෂ්ට කිරීමකදී නොකල යුතුදේ කුමක්ද?

  • පළපුරුදු වෛද්‍යවරයෙකුට, දෂ්ට කල සර්පයා නොමැතිව වුවද රෝගියාගේ ලක්ෂණ අනුව, දෂ්ට කරන ලද සර්පයා හඳුනාගත හැකි බැවින්, දෂ්ට කරන ලද සර්පයා මරන්න එපා.
  • එකවරම කලබල වෙන්න එපා.
  • රෝගියාට කිසිවිටෙකවත් මත්පැන් හෝ කෝපි, තේ වැනි කැෆේන් (Caffeine) අඩංගු පානයන් දෙන්න එපා. එමගින්, සර්ප විෂ ශරීරගතවන වේගය වැඩිවේ.
  • වේදනාව අඩුකිරීම සඳහා කිසිවිටෙකවත් ඇස්පිරින් (Aspirin) හෝ ඩයික්ලොෆෙනැක් (Diclofenac), ඉබියුප්‍රොෆන් (Ibuprofen), මෙෆෙනමික් ඇසිඩ් (Mefenamic acid) වැනි ස්ටෙරොයිඩ් නොවන ප්‍රතිප්‍රදාහ ඖෂධ (Non-steroidal anti-inflammatory drugs or NSAIDs) දෙන්න එපා.
  • නස්න කිරීමට යන්න එපා. එමගින්, පෙනහලු වල ආසාදන හෝ ස්ථිර බිහිරිබව ඇතිවිය හැකිය.
  • තැඹිලි, කුරුම්බා, හෝ පළතුරු යුෂ රෝගියාට දෙන්න එපා. එවැනි දියර වල පොටෑසියම් බහුලව අඩංගු බැවින්, සර්ප දෂ්ට කිරීමකට පසුව වකුගඩු වල ක්‍රියාකාරීත්වයට බලපෑමක් වුවහොත්, එය උග්‍ර වීමට ඉඩ ඇත.
  • පටක වලට හානි සිදුවිය හැකි බැවින්, කොන්ඩිස් වතුරෙන් තුවාලය සෝදන්න එපා.
  • ශරීරයේ දෂ්ට කල කොටස සොලවන්න එපා. එමගින්, සර්ප විෂ ශරීරගතවන වේගය වැඩිවේ.
  • දෂ්ට කල ප්‍රදේශය හදවත පවතින මට්ටමට ඉහලින් හෝ පහලින් තබන්න එපා. දෂ්ට කරන ලද ප්‍රදේශය ඔසවා තැබීමෙන්, විෂ ශරීරගතවන වේගය වැඩිවිය හැකි අතර, හදවත පවතින මට්ටමට වඩා පහළින් තැබීමෙන්, ඉදිමීම තවදුරටත් වැඩිවිය හැක.
  • දෂ්ට කල තුවාළය කපන්න හෝ විෂ උරා ඉවත්කරන්න උත්සාහ කරන්න එපා. දෂ්ට කරන ලද තුවාළය කැපීමෙන්, විෂ ශරීරගතවන වේගය වැඩිවිය හැක. එමෙන්ම, විෂ උරා ඉවත්කිරීමට යාමෙන්, එසේ කරන්නාගේ මුඛයේ මෘදු පටක හරහා විෂ ශරීරගතවීම සිදුවිය හැක.
  • විෂ ඉවත්කිරීම සඳහා තුවාලය මිරිකා ලේ ඉවත්කිරීම කරන්න එපා. එමගින්, සර්ප විෂ ශරීරගතවන වේගය වැඩිවේ.
  • දෂ්ට කරන ලද තුවාළයට අයිස් තබන්න එපා.
  • විෂ ශරීරගතවීම වැළැක්වීමට යැයි කියා දෂ්ට කරන ලද ස්ථානයට උඩින් ගැටගසන්න එපා. එමගින් ඉදිමීම වැඩිවිය හැකි අතර, රුධිර සංසරණයට බාධා පැමිණීම නිසා දෂ්ට කරන ලද අත හෝ පාදය කපා ඉවත්කිරීමට සිදුවන අවස්ථාද ඇතිවිය හැක.
  • දෂ්ට කරන ලද සර්පයා මරා ඇත්නම්, කිසිවිටෙක සර්පයා ස්පර්ශ කරන්න එපා. ඇතැම්විට සර්පයා මිය නොගොස් සිටියහොත්, නැවත දෂ්ට කිරීමට හැකියාව ඇත. එමෙන්ම, සර්පයා මියගොස් පැයක් පමණ ගතවනතුරු ප්‍රතීක ක්‍රියාවක් මගින්, ඉබේ දෂ්ට කිරීමකට ලක්විය හැක.

 

සර්ප දෂ්ට කිරීම් වළක්වාගන්නේ කෙසේද?

වගාබිම්, ගොවිපල, සහ වතු ආදී මිනිස් වාසස්ථාන අසල සර්පයන් බහුලව ගැවසේ. එමනිසා, සර්ප දෂ්ට කිරීම් වලින් වැළකීම සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග නිර්දේශ කල හැක.

  • වැඩි වශයෙන් සර්ප දෂ්ට කිරීම් සිදුවන්නේ පාදවලට බැවින්, සර්පයන් බහුල ප්‍රදේශ වල ගැවසෙන විට, සපත්තු හෝ බූට් සපත්තු පැළඳීම කලහැක. එයට අමතරව, දිග කලිසම් (ඝනකම් රෙද්දකින් මසන ලද ඒවා නම් වඩා උචිත වේ.) හැඳීමද කලහැක.
  • රාත්‍රී කාලයේ ගමන් කරන්නේ නම්, සැමවිටම විදුලි පන්දමක් දල්වාගෙන ගමන් කරන්න.
  • ගමන් කරන විට, ලී කැබැල්ලක් රැගෙන ගමන් කරන මාවතේ බිමට සහ පඳුරු වලට තට්ටු කරමින් ගමන් කරන්න. එමෙන්ම, පාද පොළවේ හොඳින් ගැටෙන සේ, අඩි තබමින් ගමන් කරන්න. සර්පයන් බිහිරි වන මුත්, කම්පන හොඳින් දැනේ. එබැවින්, එසේ කිරීමෙන්, සර්පයන් ඔබ ගමන්කරන මාර්ගයෙන් ඉවත්වීම සිදුවේ.
  • කූඹි ගුල්, වේ හුඹස්, ගස් බෙන, ඝන පඳුරු, ලී කොට හා ගල් තුළට හෝ යටට අත දැමීමෙන් වළකින්න.
  • ඔබේ වත්තේ ඇති කූඹි ගුල්, වේ හුඹස් ආදිය ඉවත්කරන්න. ගස් බෙන වසා දමන්න. වත්තේ තැන තැන ලී කොට, දර, හෝ ඇද වැටුණු ගස් ආදිය තිබෙන්නට ඉඩහරින්න එපා. ලී කොට, දර, ගල් ආදිය ඉවත්කිරීමේදී, සැමවිටම ප්‍රවේශම් වන්න.
  • ගොවිතැන් කරන විට විමසිලිමත්ව, ප්‍රවේශමෙන් කටයුතු කරන්න. අවසන් ලියැදි වල වැඩ කිරීමේදී විශේෂයෙන් සැලකිලිමත් වන්න. මක්නිසාද, මුලින් අස්වනු නෙලන ලද ලියැදිවල සිටි සර්පයන්, අවසන් ලියැදි වලට ගොස් තිබීමට ඉඩ ඇත.
  • වත්තේ සහ නිවසේ කුණු කසල නිසි පරිදි බැහැර කරන්න. නැතහොත්, සර්පයන්ගේ ගොදුරු වන ගෙම්බන්, කටුස්සන්, මීයන් ආදී සතුන් බෝවීම සිදුවේ.
  • කිසිවිටෙක, නිවස තුළ වී ගබඩා කර තබන්න එපා. එමගින්, මීයන් බෝවීම වැඩිවන බැවින් සර්පයන් ආකර්ෂණය වීම සිදුවිය හැක.
  • හැකි සෑමවිටම, බිම නිදාගැනීමෙන් වළකින්න.
  • සැමවිටම, භාවිතයෙන් පසු ඔතන ලද පැදුරු බිම තිබෙන්නට හරින්න එපා. ඒවා ඉහලින් එල්ලා තබන්න. නැතහොත්, කරවලුන් වැනි සර්පයන් පැදුරු තුළට හෝ යටට ඇතුළුවීමට පුළුවන.
  • කිසිවිටෙක මියගොස් ඇති හෝ සජීවී සර්පයෙකු ඇල්ලීමට යන්න එපා.
  • සර්පයන් ගැවසීමට ඉඩ ඇති පරිසර වල කුඩා දරුවන්ට සෙල්ලම් කිරීමට හෝ ගැවසීමට ඉඩදෙන්න එපා.
  • ධීවර කර්මාන්තයේ යෙදෙන්නේ නම්, කිසිවිටෙකවත් දැල් වලට හසුවූ මුහුදු සර්පයන් අල්ලන්න එපා.

 

(ඡායාරූප අනුග්‍රහය: Luca Boldrini)

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

2 Comments on "සර්ප දෂ්ට කිරීමකදී කුමක් කල යුතුද?"

  1. නිවැරදි කරුණු ක්‍රමානුකූලව පෙලගස්වා ඇති කදිම ලිපියක්.

    • වෛද්‍ය නාලක ප්‍රියන්ත | April 23, 2017 at 2:18 pm | Reply

      අදහස් දැක්වීමට බෙහෙවින් ස්තූතිවන්ත වෙමි.

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*