බර අඩුකරගැනීම පිළිබඳ වැරදි මත 10 ක්

බර අඩුකරගැනීම පිළිබඳ වැරදි මත 10 ක්

බොහෝ අය බර අඩුකරගැනීමට වෙහෙසෙන අයුරු වත්මන් සමාජයේ දක්නට ලැබෙන්නක්. සැබැවින්ම, බර අඩුකරගැනීම යනු බොහෝ දෙනෙකුට අභියෝගයක් වී ඇතිබව පෙනේ. කෙසේ වුවත්, බර අඩුකරගැනීම පිළිබඳ වැරදි මත ගණනාවක් සමාජයේ පවතී. එයින්, බොහෝ දෙනෙක් අතර පවතින වැරදි මත 10 ක් විමසා බලමු.

 

  • බර අඩුකරගැනීමට දැඩිව ව්‍යායාම කල යුතුයි.

මෙය වැරදි මතයක්. සාර්ථක එමෙන්ම, සෞඛ්‍ය සම්පන්න බර අඩුකරගැනීමක් සඳහා ජීවන රටාවේ ඇතිකරගන්නා සුළු වෙනස්කම් ගණනාවක් දිගුකලක් තිස්සේ පවත්වා ගැනීම සිදුකල යුතුයි. එදිනෙදා වැඩකටයුතු සක්‍රීයව සහ කඩිසරව සිදුකිරීමත් මෙයට ඇතුළත් වේ. සාමාන්‍යයෙන්, වැඩිහිටියෙක්, වේගයෙන් ඇවිදීම, සෙමෙන් දිවීම, බයිසිකල් පැදීම වැනි ශාරීරික ක්‍රියාකාරකමක්, සතියකට අවම වශයෙන් විනාඩි 150 ක් වත් කිරීම අවශ්‍ය වේ. නමුත්, අධික බර හෝ තරබාරු අයෙක් මෙම ප්‍රමාණයට වඩා වැඩියෙන් ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදීමට අවශ්‍ය විය හැක. ඔබේ ශරීරයේ බර අඩුකරගැනීම සඳහා, ඔබ දිනපතා පරිභෝජනය කරන කැලරි ප්‍රමාණයට වඩා වැඩි කැලරි ප්‍රමාණයක් දහනය කල යුතුවේ. මෙසේ කිරීම සඳහා, අඩු කැලරි ප්‍රමාණයක් පරිභෝජනය කිරීම හෝ වැඩියෙන් ශාරීරික ක්‍රියාකාරකම් කිරීම කල හැක. නමුත්, වඩාත් සුදුසු වන්නේ, මෙම කාර්යයන් දෙක එකතුවක් ලෙස කරගෙන යාමය.

 

  • සෞඛ්‍ය සම්පන්න ආහාර සඳහා වැඩිපුර වියදම් කල යුතුයි.

මෙහි සත්‍යතාවයක් ඇතිබව නොපෙනේ. ඔබ දිනපතා ආහාරයට ගන්නා, සරළ සීනි අඩංගු පානයන් හා රසකැවිලි, සෞඛ්‍ය සම්පන්න නොවන මේදය අඩංගු ආහාර, බිස්කට්, කෙටි ආහාර, ක්ෂණික ආහාර වැනි සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර මිළදී ගැනීමෙන් වැළකුනු විට, සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීමට සැලකිය යුතු අමතර මුදලක් ඔබට ඉතිරි වනු ඇත. එසේම, ඔබේ ගෙවත්තේ සුළු ඉඩක හෝ වවා ගතහැකි එළවළු සහ පළා වර්ග කිහිපයක් වගාකිරීමෙන්, ඔබට අමතර ව්‍යායාමයක් මෙන්ම, මුදල් ඉතිරියක්ද ලැබෙනු ඇත.

 

  • කාබෝහයිඩ්‍රේට් ගැනීම බර වැඩිකරයි.

සෞඛ්‍ය සම්පන්න, සමබර ආහාර වේලක අඩංගු වියයුතු ප්‍රමාණ වලින් කාබෝහයිඩ්‍රේට් ආහාරයට ගැනීමෙන් ඔබේ බර වැඩි නොවේ. ඔබේ ආහාරයේ කාබෝහයිඩ්‍රේට් වල වැඩි ඉඩක් කුරුට්ට සහිත සහල්, ඇට වර්ග, සහ වෙනත් ධාන්‍ය වර්ග වලට වෙන්කිරීමෙන් බර වැඩිවීම වළක්වාගත හැක.

 

  • නිරාහාරව සිටීම බර අඩුකරගැනීමට හොඳම ක්‍රමයයි.

නිරාහාරව සිටීම සෞඛ්‍ය සම්පන්න නොවන අතර, දිගුකාලීනව බර අඩුකරගැනීමට කිසිසේත්ම සුදුසු නැත. ඇතැම් විට, නිරාහාරව සිටීම, දිගුකාලීනව බර වැඩිවීමටද හේතුවිය හැක. ගන්නා ආහාර ප්‍රමාණය අඩුකිරීම දිනපතා කිරීම අපහසු වන අතර, අත්‍යාවශ්‍ය බොහෝ පෝෂ්‍ය පදාර්ථ වල ඌණතාවයක් ඇතිවීමට එය හේතුවේ. එමෙන්ම, එදිනෙදා වැඩකටයුතු කරගෙන යාමට පවා ශක්තියක් නොමැති වීම නිසා කැලරි දහනය වීම තවදුරටත් අඩුවේ. නිතර කුසගින්න හටගැනීම නිසා, සෞඛ්‍ය සම්පන්න නොවන, මේදය සහ සීනි අධික ආහාර කුඩා ප්‍රමාණ වලින් පරිභෝජනයට රුචිකත්වයක් ඇතිවීම සිදුවේ. එමගින්, නොදැනුවත්වම වැඩි කැලරි ප්‍රමාණයක් ශරීරගත වීම නිසා ශරීරයේ බර තවදුරටත් වැඩිවිය හැක.

 

  • වෙළඳපොලේ ඇති ඇතැම් ආහාර ඔබේ පරිවෘත්තීය සීඝ්‍රතාවය වැඩිකරයි.

මෙයද සාවද්‍ය මතයකි. පරිවෘත්තීය ප්‍රතික්‍රියා යනු, ශරීරයේ ජීවය පවත්වා ගැනීමට, අවයව පද්ධති වල ක්‍රියාකාරීත්වය සාමාන්‍ය පරිදි පවත්වා ගැනීමට, සහ ශරීරයේ සිදුවන හානි අලුත්වැඩියා කරගැනීමට, සෛල තුළ සිදුවන රසායනික ප්‍රතික්‍රියා වේ. එම ප්‍රතික්‍රියා සිදුවන වේගය, පරිවෘත්තීය සීඝ්‍රතාවය නම් වේ. යමෙකුගේ පරිවෘත්තීය සීඝ්‍රතාවය, පුද්ගලයාගේ වයස, බර, ස්ත්‍රී පුරුෂ භාවය, ජාන, ශාරීරිකව ක්‍රියාකාරී මට්ටම ආදී සාධක මත වෙනස් වේ. යම් පුද්ගලයෙකුගේ පරිවෘත්තීය සීඝ්‍රතාවය වැඩි නම්, ඔහුගේ හෝ ඇයගේ ශරීරය තුළ දිනපතා දහනය වන කැලරි ප්‍රමාණය වැඩිය. පරිවෘත්තීය සීඝ්‍රතාවය වැඩිකරන්නේ යැයි ප්‍රචාරය කරන, වෙළඳපොලෙහි ඇති බොහොමයක් ආහාරපාන වල සරළ සීනි සහ කැෆේන් (Caffeine) විශාල ප්‍රමාණ වලින් අඩංගු වේ. එබැවින්, එවැනි ආහාරපාන පරිභෝජනයෙන්, තවදුරටත් බර වැඩිවිය හැක. නමුත්, ප්‍රෝටීන් සහ හරිත තේ (Green tea) වලට, පරිවෘත්තීය සීඝ්‍රතාවය මදක් වැඩිකල හැකිබව පර්යේෂණ මගින් තහවුරු වී ඇත.

 

  • බර අඩුකරගැනීමට පෙති, කරල් භාවිතාකිරීම ආරක්ෂිත වේ.

මෙය තවත් වැරදි මතයකි. වෙළඳපොලේ ඇති බර අඩුකරගැනීමට භාවිතා කරන බොහොමයක් පෙති සහ කරල් ඵලදායී නොවන අතර, ආරක්ෂිතද නොවේ. වෛද්‍යවරයෙක්, යම් පුද්ගලයෙකුගේ බර අඩුකරගැනීම සඳහා ඖෂධ නියම කරන්නේ, රෝගියාගේ ශරීරයේ බර එලෙසම පැවතීමෙන් රෝගියාට වන හානියට වඩා අදාළ ඖෂධයේ අතුරු ආබාධ වලින් වන හානිය අඩුනම් පමණි.

 

  • මේදය අඩු (Low-fat) ආහාර සැමවිටම සෞඛ්‍ය සම්පන්නය.

මේදය අඩු යන නාමය ආහාරයක් සඳහා භාවිතා කිරීමට, යම් නිශ්චිත අගයකට වඩා අදාළ ආහාරයේ මේදය අඩුවෙන් පැවතිය යුතුය. එනම්, එම ආහාරයේ සම්පූර්ණ මේදය අඩංගු ප්‍රභේදයට වඩා, අඩු මේදය ප්‍රමාණයක් මේදය අඩු ආහාර ප්‍රභේදයේ අඩංගු වේ. නමුත්, මේදය අඩු ආහාර සැමවිටම සෞඛ්‍ය සම්පන්න බව එයින් අදහස් නොවේ. ඇතැම් විට, ආහාරයේ මේදය අඩු වුවද, අඩංගු මේදය ප්‍රමාණය, සෞඛ්‍ය සම්පන්න නොවන මේදය වීමට ඉඩ ඇත. එමෙන්ම, මේදය අඩු ඇතැම් ආහාර වල, සරළ සීනි බහුලව අඩංගු වන අවස්ථාද දැකිය හැක. එමනිසා, ඔබ මිළදී ගන්නා ආහාර වල ලේබලයෙහි දක්වා ඇති පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයන් පිළිබඳව සැමවිටම සැලකිලිමත් වන්න.

 

  • සුළු ආහාරපාන ගැනීම සියල්ල නවතා දැමීම බර අඩුවීමට හේතුවේ.

සුළු ආහාරපාන ගැනීම බර අඩුකරගැනීමට ගැටළුවක් නොවේ. ගැටළුව වන්නේ, සුළු ආහාරපාන ලෙස ගන්නේ මොනවාද යන්නයි. ක්ෂණික ආහාර, චොකලට්, රසකැවිලි, සහ වෙනත් සරළ සීනි, ලුණු, හා මේදය බහුල සුළු ආහාරපාන බර වැඩිවීමට හේතුවිය හැක. නමුත්, එළවළු සහ පළතුරු වැනි සුළු ආහාර ගැනීමෙන්, දවස පුරා ශක්තිය ලැබෙන අතර, ශරීරයේ බර අඩුකරගැනීමටද පහසු වේ.

 

  • ජලය පානය කිරීමෙන් බර අඩුවේ.

ජලය පානය කිරීම බර අඩුවීමට හේතු නොවේ. නමුත්, ජලය පානය කිරීමෙන්, ශරීරයේ අඩංගු ජලය මට්ටම පවත්වා ගැනීමට හැකියාව ලැබෙන අතර, වෙනත් කැලරි අධික පානයන් පරිභෝජනය කිරීමට ඇති අවශ්‍යතාවය අඩුකරයි. එමෙන්ම, ප්‍රධාන ආහාර වේලක් ගැනීමට පෙර, ජලය වීදුරුවක් පානය කිරීමෙන්, ගන්නා ආහාර ප්‍රමාණය හෙවත් කැලරි ප්‍රමාණය සීමා කරගැනීමට හැකියාව ලැබේ. ඇතැම්විට, පිපාසය, කුසගින්නක් සේ වරදවා වටහා ගැනීමද සිදුවනු දැකිය හැක. එවිට, වැඩිපුර ආහාරපාන ගැනීම සිදුවිය හැක. එමනිසා, ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම ඉතා වැදගත් වේ.

 

  • ආහාර වේල් මගහැරීම, බර අඩුකරගැනීමට හොඳ ක්‍රමයකි.

ඇතැම් අය, බර අඩුකරගැනීම සඳහා රාත්‍රී ආහාරය නොගැනීම දැකිය හැක. රාත්‍රී ආහාරය හෝ වෙනත් ඕනෑම ආහාර වේලක් නොගෙන සිටීම, සෞඛ්‍ය සම්පන්න නොවේ. බර අඩුකරගැනීමට හොඳම ක්‍රමය නම් ප්‍රධාන ආහාර වේල් සියල්ලම ගන්නා අතරතුර, ගන්නා කැලරි ප්‍රමාණය අඩුකරමින්, ශාරීරික ක්‍රියාකාරකම් මගින් සිදුකරන කැලරි දහනය වැඩිකර ගැනීමයි. ආහාර වේල් මගහැරීමෙන් සිදුවන්නේ, ඔබ වෙහෙසට පත්වීම සහ අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වල ඌණතාවයක් ඇතිවීම පමණි. එබැවින්, ආහාර වේල් මගහැරීමෙන්, මේදය අධික සහ සීනි අධික සුළු ආහාරපාන වෙත යොමුවීම සිදුවන අතර, එමගින් තවදුරටත් බර වැඩිවීම සිදුවිය හැක.

 

(ඡායාරූප අනුග්‍රහය: Mason Masteka)

 

සබැඳි ලිපි:

ශරීරයේ බර අඩු කරගැනීම සඳහා ඉඟි කිහිපයක්…
ශරීරයේ බර අඩු කරගැනීමට සරල සැලසුමක්
කොතරම් ව්‍යායාම කලත් බඩ අඩුවෙන්නේ නැත්තේ ඇයි?
බර අඩුවීම සඳහා දවසකට කොපමණ ව්‍යායාම කල යුතුද?
ව්‍යායාම කරන්නේ නැතිව බර අඩු කරගන්නේ කොහොමද?
ව්‍යායාම සහ කෑම පාලනය කරන විටදීත් ඔබේ බර වැඩිවෙනවාද?

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "බර අඩුකරගැනීම පිළිබඳ වැරදි මත 10 ක්" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*