පිරිමි කොන්ඩමය, පවුල් සැලසුම් කිරීම සඳහා භාවිතා කිරීම

පිරිමි කොන්ඩමය, පවුල් සැලසුම් කිරීම සඳහා භාවිතා කිරීම

පිරිමි කොන්ඩමය හෙවත් රබර් කොපුව (Condom) යනු පවුල් සැලසුම් කිරීම සඳහා මෙන්ම, ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වලින් ආරක්ෂා වීම සඳහා ද, භාවිතා කල හැකි ඉතා තුනී රබර් කොපුවකි. පවුල් සැලසුම් කිරීම සඳහා කොන්ඩමය සාර්ථක ක්‍රමයක් වන අතර, කොන්ඩමයක් නිවැරදිව භාවිතා කලහොත්, ගැබ්ගැනීමට ඇති හැකියාව 3% කට වඩා අඩුය.

 

කොන්ඩමයෙන් ගැබ්ගැනීම සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පැතිරීම වැළකෙන්නේ කෙසේද?

කොන්ඩමය, ප්‍රාණවත් වූ පුරුෂ ලිංගය ආවරණය කරන බැවින්, ලිංගිකව එක්වීමේදී, ශුක්‍රාණු යෝනි මාර්ගය තුළ තැන්පත්වීම වළකයි. එමෙන්ම, කොන්ඩමයේ තුනී රබර් ආවරණය හරහා රෝගකාරක වෛරස, බැක්ටීරියා වැනි විෂබීජ වලට ගමන්කිරීමට අපහසු බැවින්, ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වලින් ආරක්ෂා වියහැකි එකම පවුල් සැලසුම් ක්‍රමය ලෙස කොන්ඩමය හැඳින්විය හැක. එබැවින්, වෙනත් පවුල් සැලසුම් ක්‍රමයක් භාවිතා කරද්දී වුවද, ලිංගාශ්‍රිතව බෝවන රෝග වලින් ආරක්ෂා වීමට කොන්ඩමය යොදාගත හැක.

 

පිරිමි කොන්ඩමය නිවැරදිව භාවිතාකරන්නේ කෙසේද?

  • ලිංගිකව එක්වන සෑම වාරයකදීම අලුත් කොන්ඩමයක් භාවිතා කල යුතුය.
  • කිසිවිටෙකවත්, භාවිතා කිරීමට පෙර කොන්ඩමය දිගහැරීම සිදුනොකල යුතුය.
  • කොන්ඩමය පැළඳීමට පෙර, පුරුෂ ලිංගය යෝනි මාර්ගයේ ස්පර්ශ වීම සිදුනොවිය යුතුය.
  • ලිංගාශ්‍රිතව බෝවන රෝග වලින් ආරක්ෂා වීම සඳහා, කොන්ඩමය පුරුෂ ලිංගයෙන් ඉවත් කිරීමේදී, යෝනි ශ්‍රාවයන් පුරුෂ ලිංගයේ තැවරීමෙන් වළක්වාගත යුතුවේ.
  • සැමවිටම, කොන්ඩමය ඇල්ලීමේදී නියපොතු නොවැදෙන සේ ප්‍රවේශම් විය යුතුවේ. නැතහොත් කොන්ඩමය සිදුරුවීමට ඉඩ ඇත.

කොන්ඩමය නිවැරදිව භාවිතා කරන්නේ කෙසේදැයි පියවරෙන්, පියවර විමසා බලමු.

පිරිමි කොන්ඩමය

  1. සැමවිටම, කොන්ඩමයේ කල් ඉකුත්වීමේ දිනය පරීක්ෂා කරන්න. පැකට්ටුව විවෘත කිරීමට පෙර, ඇඟිලි වලින් තදකර පැකට්ටුව පළුදු වී ඇතිදැයි පරීක්ෂා කර බලන්න.
  2. දැති ඇති දාරය පැත්තෙන්, පැකට්ටුව ප්‍රවේශමෙන් විවෘත කරන්න.
  3. සැමවිටම, කොන්ඩමය පැළඳිය යුත්තේ, පුරුෂ ලිංගය හොඳින් ප්‍රාණවත් වූ විට පමණි. කොන්ඩමයේ කෙලවර ඇති පුඩුව ඇඟිලි වලින් මිරිකා, ප්‍රාණවත් වූ පුරුෂ ලිංගය ආවරණය කිරීමට හැකිවන අයුරින් නිවැරදි අතට (කොන්ඩමයේ දාරය උඩු අතට සිටින සේ) පුරුෂ ලිංගය මත තබන්න. මෙසේ කල යුත්තේ, කොන්ඩමය තුළට වාතය ඇතුළුවීම වැළැක්වීමටය. කොන්ඩමය තුළට වාතය ඇතුළු වුවහොත්, ලිංගිකව එක්වන විට කොන්ඩමය පිපිරී යාමට මෙන්ම, ශුක්‍රාණු එලියට ගලායාමට ඇති ඉඩකඩ වැඩිවිය හැක.
  4. පුරුෂ ලිංගය සම්පූර්ණයෙන්ම ආවරණය වනසේ, කොන්ඩමය දිගහරින්න.
  5. ශුක්‍රාණු මෝචනය වූ පසු, කොන්ඩමයේ දාරය ඇඟිලි වලින් අල්ලා, පුරුෂ ලිංගය ප්‍රාණවත්ව තිබියදීම යෝනි මාර්ගයෙන් පිටතට ගත යුතුවේ.
  6. ඉන් පසුව, කොන්ඩමය ප්‍රවේශමෙන් පුරුෂ ලිංගයෙන් ගලවා, කඩදාසියකින් ඔතා දරුවන්ට හසු නොවන අයුරින් ඉවත දැමීමට කටයුතු කරන්න. නැතහොත් පුළුස්සා දැමීම හෝ වළලා දැමීම සිදුකරන්න.

ලිංගිකව එක්වන විට, කොන්ඩමය සිදුරු වූයේ නම්, ගැබ්ගැනීම වැළැක්වීම සඳහා හදිසි පවුල් සැලසුම් ක්‍රමයක් (Emergency contraception) භාවිතාකිරීම අත්‍යාවශ්‍ය වේ.

 

(ඡායාරූප අනුග්‍රහය: Paul Keller සහ ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය)

 

සබැඳි ලිපි:

පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව හොඳින් දැනුවත් වෙමු!
මිශ්‍ර ගිලින පවුල් සැලසුම් පෙති භාවිතා කරන්නේ කොහොමද?
මිශ්‍ර හෝමෝන අලවනය ගැන දැනගනිමු.
ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති පවුල් සැලසුම් ක්‍රම
ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති ගිලින පවුල් සැලසුම් පෙති
පවුල් සැලසුම් සඳහා ප්‍රොජෙස්ටොජන් නික්ෂේපණ
හෝමෝන කරල් තැන්පතුව ගැන දැනගනිමු.
අන්තර් ගර්භාෂිත තැන්පතුව හෙවත් ලූපය ගැන දැනගනිමු.
හදිසි පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව දැනගනිමු.
ස්ත්‍රී වන්ධ්‍යාකරණය (එල්. ආර්. ටී. සැත්කම) ගැන දැනගනිමු.

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "පිරිමි කොන්ඩමය, පවුල් සැලසුම් කිරීම සඳහා භාවිතා කිරීම" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*