මව්කිරි දීමෙන් දරුවාට සහ මවට ලැබෙන වාසි ගැන දැනගනිමු.

මව්කිරි දීමෙන් දරුවාට සහ මවට ලැබෙන වාසි ගැන දැනගනිමු.

අලුත උපන් ළදරුවාට මව්කිරි දීම සැලකූ කල, ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම ස්ථානයක සිටීම පිළිබඳව, ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට ආඩම්බර විය හැක. උපතේ පටන් ළදරුවාට මාස 6 ක් ගතවන තුරු මව්කිරි පමණක් අනිවාර්යයෙන් ලබාදීම ශ්‍රී ලංකාවේ පවතින නිර්දේශයයි. ඉන් අනතුරුව, අමතර ආහාර සමග අවුරුදු 2-3 ක් පමණ මව්කිරි ලබාදීමට නිර්දේශ කෙරේ. මෙයට හේතුව වන්නේ, කුඩා දරුවෙකුට ලබාදිය හැකි හොඳම කිරි වර්ගය මව්කිරි වීමයි. මව්කිරි දීමෙන් දරුවාට සහ මවට ලැබෙන වාසි මොනවාදැයි මදක් විමසා බලමු.

 

මව්කිරි බීමෙන් දරුවාට ලැබෙන වාසි මොනවාද?

  • දරුවා සහ මව අතර දැඩි සම්බන්ධතාවයක් ඇතිවේ.
  • මව්කිරි වල ළදරුවකුගේ වර්ධනයට සහ විකසනයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සියල්ලම පාහේ අඩංගු වේ. එමනිසා, ළදරුවාට මාස 6 ක් ගතවන තුරු, වෙනත් අමතර ආහාරයක් ලබාදීමට අවශ්‍ය නොවේ. මව්කිරි වල, පෝෂ්‍ය පදාර්ථ ලෙස කාබෝහයිඩ්‍රේට්, විටමින්, ප්‍රෝටීන්, මේදය, සහ ඛණිජ ලවණ අංග සම්පූර්ණ මිශ්‍රණයක් පවතී.
  • ළදරු කිරිපිටි වලට වඩා මව්කිරි පහසුවෙන් දිරවීම හොඳින් අවශෝෂණය වීම දක්නට ලැබේ. එමනිසා, ආහාර දිරවීමේ අපහසුතා ඇතිවීම අඩුය.
  • ළදරුවාට ලෙඩ රෝග වලින් ආරක්ෂා වීමට සහ ලෙඩ රෝග වලට ඔරොත්තු දීමට අවශ්‍ය වන ප්‍රතිදේහ (Antibodies) නැමැති රසායනික අණු මවගේ ශරීරයේ සිට ලැබෙන්නේ මව්කිරි හරහා ය. එමනිසා, මව්කිරි බීමෙන්, දරුවාට, වෛරස්, බැක්ටීරියා වැනි රෝගකාරක වලට එරෙහිව සටන් කිරීමට හැකියාව ලැබේ.
  • මව්කිරි බීම නිසා, ඇදුම (Bronchial asthma) සහ සමේ රෝග ඇතුළු අසාත්මිකතා (Allergies) වැළඳීමට ඇති අවදානම ද අඩුවන බව පර්යේෂණ මගින් තහවුරු වී ඇත.
  • මුල් මාස 6 තුළ, ළදරු කිරිපිටි නොමැතිව, අනිවාර්යයෙන්ම මව්කිරි ලබාදෙන දරුවන්ට, කණේ ආසාදන, ශ්වසන ආසාදන, සහ අතීසාරය වැනි රෝග ඇතිවීමේ අවදානම අඩුය. ඔවුන් රෝහල් ගතවන සහ වෛද්‍යවරයෙක් මුණගැසෙන වාර ගණනද, සැලකිය යුතු ලෙස අඩුවේ.
  • මව්කිරි ලබාදෙන දරුවන්ගේ බුද්ධිය වැඩිබව සොයාගෙන ඇත.
  • මව්කිරි ලබාදීමෙන්, දරුවාට ආරක්ෂිත හැඟීමක් ඇතිවේ.
  • දරුවාගේ බර සෞඛ්‍ය සම්පන්න පරාසයේ පැවතීමට හේතුවන අතර, අධික බර හෝ ස්ථුලතාවය ඇතිවීම වැළකේ.
  • තොටිලි මරණ හෙවත් ක්ෂණික බිළිඳු මරණ සහලක්ෂණය (Sudden infant death syndrome or SIDS) ඇතිවීම වැළකේ.
  • අනාගතයේදී, දියවැඩියාව, ස්ථුලභාවය, ළමා වියේදී ඇතිවන ඇතැම් පිළිකා, අධික රුධිර පීඩනය, සහ හෘද රෝග වැළඳීමට ඇති අවදානම අඩුවේ.
  • යකඩ ඌණතා රක්තහීනතාවය (Iron deficiency anaemia) වැළඳීමට ඇති අවදානම අඩුවේ.
  • නින්දේදී ඇතිවන හුස්ම ගැනීමේ ආබාධ (Sleep apnoea) ඇතිවීම අඩුවේ.
  • දන්ත රෝග සහ දන්ත විකෘති ඇතිවීමට ඇති අවදානම අඩුවේ.
  • මළ බද්ධය වැලකේ.
  • මව්කිරි පිරිසිදුය. ඕනෑම අවස්ථාවක ලබාදිය හැක.

 

මව්කිරි ලබාදීමෙන් මවට ඇතිවන වාසි මොනවාද?

  • අමතර කැලරි දහනයක් සිදුවන බැවින්, ගර්භණී සමයේදී වැඩිවුණු බර යථා තත්ත්වයට පත්වීමට ඉවහල් වේ. එමනිසා, ශරීරයේ හැඩය පවත්වා ගැනීමට වැදගත් වේ.
  • මව්කිරි ලබාදීමෙන්, ඔක්සිටොසින් (Oxytocin) නැමැති හෝමෝනය ශ්‍රාවය වීම වැඩිවන අතර, එමගින් දරු උපතකට පසුව ගර්භාෂය නැවත සාමාන්‍ය ප්‍රමාණයට කුඩාවීම සහ රුධිර වහනය වීම අඩුකරයි.
  • පියයුරු පිළිකා, ගර්භාෂ පිළිකා, සහ ඩිම්බ කෝෂ වල ඇතිවන පිළිකා වැළඳීමට ඇති අවදානම අඩුවේ.
  • ඔස්ටියොපොරෝසිස් (Osteoporosis) රෝගය හටගැනීමට ඇති අවදානම අඩුවේ.
  • දියවැඩියාව සහ අධික රුධිර පීඩනය වැළඳීමට ඇති අවදානම අඩුවේ.
  • දරුවන් අතර පරතරය වැඩිකර ගැනීමට පහසුවක් වේ.
  • මිළදී ගැනීමට, මැනීමට, හෝ බෝතල්, සූප්පු මෙන් පිරිසිදු කිරීමට අවශ්‍ය නොවන බැවින්, මුදල් සහ කාලය ඉතිරි වේ.
  • මවගේ මනස ලිහිල් කරගැනීමට ඉවහල් වේ.

අලුත උපන් ඔබේ දරුවාට මාස 6 ක් සම්පූර්ණ වනතුරු මව්කිරි පමණක් ලබාදෙන්න. දරුවාගේ වයස මාස 6 න් පසුව, මව්කිරි සමග අමතර ආහාර නිසි අයුරින් ලබාදෙන්න. දරුවාට වයස අවුරුදු 2-3 ක් පමණ සම්පූර්ණ වනතෙක් මව්කිරි ලබාදීම වඩා සුදුසු වේ.

 

(ඡායාරූප අනුග්‍රහය: moppet65535)

 

සබැඳි ලිපි:

මව්කිරි ලබාදෙන මවක් දැනගත යුතු වැදගත් කරුණු

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "මව්කිරි දීමෙන් දරුවාට සහ මවට ලැබෙන වාසි ගැන දැනගනිමු." පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*