දරුවාගේ ඇසට අනතුරක් වූ විට කුමක් කල යුතුද?

දරුවාගේ ඇසට අනතුරක් වූ විට කුමක් කල යුතුද?

ඇසට සිදුවන අනතුරු බොහොමයක් සුළු ඒවා වේ. ඒවායින් සමහරක් ඇසට සබන් යාම, ඇසට රොඩු කැබැල්ලක් ඇතුළුවීම වැනි ඒවාය. නමුත්, ඇසට සිදුවන ඇතැම් අනතුරු බරපතළ වියහැකි අතර, එවන් විටෙක වහාම වෛද්‍යවරයෙකුගේ උපදෙස් පැතීම අවශ්‍ය විය හැක. බොහෝවිට, දරුවා ක්‍රීඩාවක හෝ ශාරීරික ක්‍රියාකාරකමක නියැලෙන විට, ඇසට එවන් අනතුරු සිදුවීමට ඉඩ ඇත. සැබැවින්ම, දරුවාගේ ඇසට අනතුරක් වූ විට කුමක් කල යුතුද?

 

දරුවාගේ ඇසට අනතුරක් වුවහොත් හඳුනාගන්නේ කෙසේද?

ඇසට සිදුවන අනතුරකදී, පහත සඳහන් රෝග ලක්ෂණ ඇතිවිය හැක.

  • ඇස රතුවීම.
  • ඇසේ වේදනාවක්, දැවිල්ලක්, හෝ කෙවෙන ස්වභාවයක් ඇතිවීම.
  • ඇසෙන් කඳුළු ගැලීම.
  • ආලෝකය දෙස බැලීමට අපහසුවීම.
  • පෙනීම බොඳවීම.
  • ඇසිපිය හෝ ඇස අවට ඉදිමීම.
  • ඇස අවට සමෙහි වර්ණය වෙනස්වීම.
  • ඇසෙන් රුධිරය වහනය වීම.

 

ඔබේ දරුවාගේ ඇසකට අනතුරක් වූ විට කුමක් කල යුතුද?

ඇස තුළට කුඩා රොඩු කැබැල්ලක් ඇතුළු වූ විට හෝ ඇසේ සුළු වශයෙන් කෙවෙන ස්වභාවයක් ඇතිවූ විට,

  • දරුවාගේ ඇස අවට ප්‍රදේශය ස්පර්ශ කිරීමට පෙර, ඔබේ අත් සබන් දමා හොඳින් සෝදාගන්න.
  • අනතුර සිදුවූ ඇස, ඉක්මනින් ජලයෙන් සෝදා හරින්න.
    • අදාළ ඇස මදක් පහතට යොමුවන සේ, බේසමකට දරුවාගේ හිස ඇලකරන්න.
    • යට ඇසිපිය මෘදුව මදක් පහතට අදින්න.
    • සෙමෙන්, ඇස හරහා ගලායන සේ, සෙමෙන් ජලය වත්කරන්න.
  • විනාඩි 15 ක් දක්වා කාලයක් මෙසේ ඇස මෘදුව සෝදන්න. සෑම විනාඩි 5 කට වරක්ම, රොඩු කැබැල්ල ඉවත් වී ඇතිදැයි බලන්න.

 

වෛද්‍ය උපදෙස් ලබාගත යුතු අවස්ථා මොනවාද?

පහත සඳහන් ලක්ෂණ වලින් එකක් හෝ දරුවාට ඇත්නම්, වෛද්‍ය උපදෙස් ලබාගත යුතුවේ.

  • ඇසට බෝලයක් හෝ වෙනත් යමකින් පහරක් වැදී ඇතිවිට.
  • ඇස රතුවීම සහ දිගින් දිගටම කෙවෙන ස්වභාවයක් පැවතීම.
  • ඇසේ අපහසුතාවයක් ඇතිවීම.
  • ඇස අවට හෝ ඇසිපියෙහි, ඉදිමීමක්, රතුවීමක්, හෝ වේදනාවක් පැවතීම.
  • ආලෝකය දෙස බැලීමට අපහසුතාවයක් පැවතීම.

 

දරුවා හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර වලට යොමුකල යුතු අවස්ථා මොනවාද?

ඔබේ දරුවාට පහත රෝග ලක්ෂණ එකක් හෝ ඇත්නම්, හැකි ඉක්මනින් හදිසි ප්‍රතිකාර (Emergency care) සඳහා රෝහල් ගතකල යුතුවේ.

  • පෙනීම බොඳවීම.
  • ඇස රසායනික ද්‍රව්‍ය හෝ රසායනික දියර වලට නිරාවරණය වීම.
  • ඇස තුළ හෝ ඇසේ මතුපිට යමක් ගිලී හෝ සිරවී පැවතීම.
  • ඇසේ දැඩි වේදනාවක් ඇතිවීම.
  • ඇසෙන් ලේ ගැලීම හෝ ඇස තුළ රුධිරය පැවතීම.
  • ඇසට අනතුරක් වූ පසු, වමනය යෑම හෝ ඔක්කාරය පැවතීම.

 

ඇසට සිදුවන අනතුරු වළක්වා ගන්නේ කෙසේද?

ක්‍රීඩා හෝ ශාරීරික ක්‍රියාකාරකම් කරන විට, අවශ්‍ය නම් ආරක්ෂක ඇස් ආවරණ (Goggles) පැළඳීමට දරුවා උනන්දු කරවන්න. ඇසට අනතුරක් වීමට හේතුවිය හැකි රසායන ද්‍රව්‍ය, තියුණු උපකරණ, සහ වෙනත් ද්‍රව්‍ය, සැමවිටම දරුවාගෙන් ඈත්කර තබන්න. ඇසට යමක් ඇතුළු වූ විට, ඇස අතෙන් ස්පර්ශ කිරීමට දරුවාට ඉඩදෙන්න එපා. එවන් විටෙක, ඇස ස්පර්ශ නොකරන ලෙස දරුවාට උපදෙස් දෙන්න. නැතහොත්, ඇසට වූ අනතුර තවදුරටත් බරපතළ තත්ත්වයට පත්වීමට ඉඩ ඇත.

 

(ඡායාරූප අනුග්‍රහය: Phalinn Ooi)

 

සබැඳි ලිපි:

ඔබගේ පෙනීම ආරක්ෂා කරගන්නේ කෙසේද?
දරුවාගේ හිසට සිදුවන අනතුරු වලදී කුමක් කල යුතුද?
දරුවාගේ ඇස සහ පෙනීම සම්බන්ධ විශ්වාස කිහිපයක්

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "දරුවාගේ ඇසට අනතුරක් වූ විට කුමක් කල යුතුද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*