ඔබේ ආත්ම විශ්වාසය වර්ධනය කරගැනීමට ක්‍රම 10 ක්

ඔබේ ආත්ම විශ්වාසය වර්ධනය කරගැනීමට ක්‍රම 10 ක්

සරළ බසින් පැවසුවහොත්, ආත්ම විශ්වාසය යනු, තමාගේ වටිනාකම සහ හැකියාවන් තමාට දැනෙන ආකාරයයි. ආත්ම විශ්වාසය පහළ වැටෙන විට ඔබේ ජීවිතයේ ක්‍රියාකාරීත්වය, රැකියාව, මිතුදම්, අනෙක් පෞද්ගලික සම්බන්ධතා ආදිය නිතැතින්ම අඩපණවීම සිදුවේ. ඔබ දිවිය පුරාම බිඳවැටුණු ආත්ම විශ්වාසය සමග ගැටෙමින් ජීවත් වූවා විය හැක. නැතහොත්, මෑතකදී සිදුවූ යම් යම් සිදුවීම් නිසා ආත්ම විශ්වාසය බිඳවැටුනා විය හැක. කෙසේ වුවත්, යලි ආත්ම විශ්වාසය ගොඩනංවා ගැනීමට ප්‍රමාද නැත. එසේ නම්, ආත්ම විශ්වාසය වර්ධනය කරගැනීම සඳහා කුමක් කල යුතුද?

ඵලදායී යමක් කරන්න.

ඔබ සතුව යම් කාර්යයන් ලැයිස්තුවක් තිබෙන මුත්, යම් යම් හේතූන් මත ඒවා ක්‍රියාත්මක නොකර පසෙකට කර තිබෙනවා විය හැක. එසේ නම්, යලි වැඩකිරීම ආරම්භ කිරීමට වෙලාව පැමිණ ඇත. කාමරය පිරිසිදු කිරීම හෝ පැල කිහිපයක් සිටුවීම වැනි සරළ දෙයක් මුලින්ම කරන්න. එවැනි කුඩා කාර්යයක් වුවද, සාර්ථකව අවසන් කිරීමෙන්, ඔබේ ආත්ම විශ්වාසය වර්ධනය වේ. එවිට ක්‍රමයෙන්, වඩා සංකීර්ණ කාර්යයන් කිරීම දක්වා එය වර්ධනය කරගත හැක.

යම් දක්ෂතාවයක් ප්‍රගුණ කරන්න.

ඔබව අන් අය අතර කැපීපෙනෙන හෝ අනෙක් අය විසින් අගය කිරීමට ලක්වන, යම් ක්‍රියාවක් හෝ දක්ෂතාවයක් සොයාගෙන එය ප්‍රගුණ කරන්න. එවිට, ඔබේ දක්ෂතාවය පිළිබඳ ඔබටම ආඩම්බර විය හැක. ඔබ නර්ථනයට දක්ෂ නම්, එය ප්‍රගුණ කලහැක. ඔබ චිත්‍ර ඇඳීමට දක්ෂ නම්, එය වැඩිදියුණු කරගත හැක. ඔබ ගීත ගායනයට දක්ෂ නම්, එය තවදුරටත් පුහුණු විය හැක. මෙසේ, ඔබ කුමන ක්‍රියාවකට දක්ෂ වුවද, එය වර්ධනය කරගැනීම ඔබටම අභියෝගයක් කරගෙන, වැඩිදියුණු කරගැනීමෙන් ආත්ම විශ්වාසය ඉක්මනින් වර්ධනය වේ.

ව්‍යායාම සහ ශාරීරික ක්‍රියාකාරකම් කරන්න.

ව්‍යායාම කිරීම ඔබගේ චිත්ත ස්වභාවය (Mood) ඉහළ දමන අතර, ආත්ම විශ්වාසය වැඩිදියුණු කිරීමට හේතුවේ. රැකියාව නිමවීමෙන් පසුව, ඇවිදීම වැනි සරළ ක්‍රියාකාරකමකින් පවා ඔබේ ශරීරයේ ශක්තිය සහ සෞඛ්‍යය වර්ධනය වී ඇති බවට හැඟීමක් ඔබට ඇතිවේවි.

තමාටම කථා කරන රටාව වෙනස් කරන්න.

ඔබ පිළිබඳව ඔබටම හැඟෙන ආකාරය සැලකිය යුතු ලෙස වෙනස් කිරීමට, ඔබ ඔබටම ආමන්ත්‍රණය කරන්නේ කෙසේද යන්නට හැකියාව ඇත. ඉතා කුඩා වැරදීමක් වූ විට පවා, එය විශාල වැරැද්දක් හෝ බිඳවැටීමක් ලෙස සිතන්නේ නම්, ඔබේ ආත්ම විශ්වාසයට සිදුවන්නේ විශාල හානියකි. ඕනෑම සිදුවීමක හෝ වැරදීමක, ධනාත්මක පැතිකඩ දැකීමට හුරුවන්නේ නම්, ඔබ පිළිබඳව ඔබ සිතන ක්‍රමය වෙනස් වී, ආත්ම විශ්වාසය තවදුරටත් වර්ධනය වනු ඇත. සැමවිටම, ඕනෑම වැරදීමක්, එය සාර්ථකව අවසන් කිරීමට පාඩමක් කරගන්න.

බාහිර පරිසරයේ කාලය ගතකරන්න.

බොහෝවිට, බොහෝ දෙනෙක් රැකියා කරන ස්ථානය තුළ සිරවී සිට නිවසට පැමිණි විටද, නිවස තුළටම වී කාලය ගතකරනු දැකිය හැක. නිදහසේ බාහිර පරිසරයට වී විනාඩි 5 ක් පමණක් ගතකිරීමෙන් වුවද, ආත්ම විශ්වාසය වැඩිවන බව සොයාගෙන ඇත. එමනිසා, විනෝදය සහ ව්‍යායාම යන දෙකම ලැබෙන, බයිසිකල් පැදීම, ඇවිදීම, කඳු නැගීම, හෝ පිහිනීම වැනි ක්‍රියාකාරකමක් කිරීමට යොමුවන්න.

බලාපොරොත්තු අඩුවෙන් තබාගන්න.

සැමවිටම, සර්ව සම්පූර්ණ වීමට උත්සාහ කිරීම, සාර්ථක වීමට වඩා බලාපොරොත්තු බිඳවැටීමට හේතුවිය හැක. එයින් වැළකීමට නම්, යම් ඉලක්කයක් සපුරාගැනීමට කටයුතු කරන විට, එය සර්ව සම්පූර්ණ විය යුතුම බවට ඇති අදහසේම සිට කටයුතු නොකරන්න. උදාහරණයක් ලෙස, ඔබ යම් පැවරුමක් හෝ වාර්තාවක් නිමකල විට, එය නිසි වෙලාවට අවසන් කිරීම ගැන ආඩම්බර වන්න. නමුත්, ඔබේ ප්‍රධානියා යම් වෙනස්කම් හෝ එකතුකිරීම් කිහිපයක් කලයුතු යැයි පැවසුවහොත්, ඔබ අසාර්ථක වූවා යැයි සිතන්නට එපා. ඒ වෙනුවට, එසේ කිරීමෙන් යමක් අලුතෙන් ඉගෙන ගැනීමට ලැබුනේ යැයි සිතන්න. එමගින්, ඉදිරියේදී එවැනි කාර්යයක් සාර්ථකව නිමකිරීමට, ඔබගේ ජීවිතයට යමක් එකතු වූවා යැයි සිතීමට පුරුදුවන්න.

ඉලක්කයන් ඇතිකරගන්න.

පහසුවෙන් සපුරා ගතහැකි ඉලක්ක කිහිපයක් ඇතිකරගෙන, ඒවා සාර්ථක කරගැනීමට සැලසුමක් සාදාගන්න. යම් ඉලක්කයක් සාර්ථකව අවසන් කලවිට, එය ආරම්භයේ සිට අවසානය දක්වා නිමකල ආකාරය පිළිබඳ සතුටක් ඔබට ඇතිවේවි.

හොඳින් අඳින්න, පළඳින්න

පිළිවෙලකට, පිරිසිදුව, තැනට සුදුසු ලෙස අඳින්න, පළඳින්න පුරුදුවන්න. එමගින්, ඔබටම ප්‍රියජනක හැඟීමක් ඇතිවනු ඇත. නිවසින් පිටතට යද්දී, හොඳින් හැඳ පැළඳ පිටත්වීමෙන්, ඔබේ ආත්ම විශ්වාසය වර්ධනය වේ. මෙය, හොඳින් ඇඳුම් ඇඳීම, ආභරණ පැළඳීම, කොන්ඩ මෝස්තරයක් දැමීම වැනි සරළ දෙයක් වුවද, ආත්ම විශ්වාසය වැඩිකරගැනීමට කදිම උපායකි.

ප්‍රියමනාප වන්න.

වෙනත් අයෙකු උදෙසා, යම් ප්‍රියමනාප, හොඳ යමක් කලේ නම්, එය ඔබගේ ආත්ම විශ්වාසය වර්ධනය කිරීමට හේතුවේ. මිතුරෙකුට, සමීපතම කෙනෙකුට, හෝ ඥාතියෙකුට කුඩා ත්‍යාගයක් දීම, යම් පොදු කාර්යකදී ස්වේච්චාවෙන් ඉදිරිපත් වීම, සහ යමෙකුට උදවු කිරීම මෙයට උදාහරණ ලෙස දැක්විය හැක.

සමාජයේ කීර්තිමත් පුද්ගලයෙකු ඇසුරු කරන්න හෝ අගයන්න.

ඔබට මිතුරන් ඇසුරු කිරීමට හෝ මිතුදම් පවත්වාගැනීමට අපහසු නම්, ඔබගේ ආත්ම විශ්වාසය වර්ධනය කරගැනීමට හොඳම ක්‍රමයක් ලෙස, නිවේදකයෙක්, සංගීතඥයෙක්, රංගන ශිල්පියෙක් වැනි සමාජයේ කීර්තිමත් පුද්ගලයෙකු අගය කරන්න සහ ඇසුරු කරන්න. ඒ සඳහා, ඔබට සංගීත ප්‍රසංගයක් හෝ වේදිකා නාට්‍යයක් නැරඹීමට ගිය අවස්ථාවක, අවස්ථාවක් ලදහොත් සංගීතඥයෙකු හෝ රංගන ශිල්පියෙකු සමග මදක් දොඩමළු වන්න සහ එක්ව ඡායාරූපයක් ගන්න. එමෙන්ම, ඔහු හෝ ඇය අගය කරන්න. එවැන්නෙක් සමග මුහුණුපොත (Facebook) තුලින් සම්බන්ධ වන්න. එවිට, ඔබගේ පරමාදර්ශී චරිත තුළ ඔබ දක්නා හොඳ ගුණාංග ඔබ තුළ ක්‍රමයෙන් වර්ධනය වන අතර, ආත්ම විශ්වාසය ද වැඩිදියුණු වේ. එය, මෑතදී කරන ලද පර්යේෂණයක් මගින්ද තහවුරු වී ඇති කරුණකි. මෙම ක්‍රියාවලිය සිදුවීමට, සමාජයේ කීර්තිමත් පුද්ගලයෙකු සමග සැබෑ සම්බන්ධතාවයක් තිබීම අත්‍යාවශ්‍ය නොවන අතර, තමාගේ පරමාදර්ශී චරිත අගය කිරීම පමණක් වුවද සෑහේ.

 

(ඡායාරූප අනුග්‍රහය: Steven Depolo)

 

සබැඳි ලිපි:

මානසික ආතතිය පාලනය කරගන්නේ කොහොමද?
සරල ලෙස ජීවත්වන්නේ කෙසේද?

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

1 Comment on "ඔබේ ආත්ම විශ්වාසය වර්ධනය කරගැනීමට ක්‍රම 10 ක්"

  1. වටිනා ලිපියක්…

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*