බුළත්විට සැපීම ඔබට හානිකර වන්නේ කොහොමද?

බුළත්විට සැපීම ඔබට හානිකර වන්නේ කොහොමද?

බුළත්විට සැපීම, ඈත අතීතයේ පටන් පැවත එන පුරුද්දක් වන අතර, ඇඟ වෙහෙසා වැඩකරන අය අතර ජනප්‍රිය දෙයකි. ඇතැම් අය, ආහාර ගැනීමෙන් අනතුරුව, බුළත්විටක් සැපීමට පුරුදුව සිටිති. කෙසේ වුවද, වත්මන් තරුණ පරපුර අතර බුළත්විටට ඇති ජනප්‍රියත්වය මදක් අඩුවී ඇති සෙයක් පෙනේ. බුළත්විටක් තුළ, බුළත් කොල, හුණු, පුවක්, සහ දුම්කොළ අන්තර්ගත වන අතර, බුළත්විට කෙරෙහි ඇබ්බැහි වන ස්වභාවයක් දක්නට ලැබේ. එයට බොහෝවිට හේතුවන්නේ, දුම්කොළ සහ පුවක් වල ඇති ඇතැම් රසායන ද්‍රව්‍යයන්ය. කෙසේ වුවත්, දිගුකලක් තිස්සේ බුළත්විට සැපීමෙන්, ඔබේ සෞඛ්‍යයට සැලකිය යුතු හානියක් සිදුවේ.

 

පුවක් මගින් ශරීරයට සිදුවන හානි මොනවාද?

පුවක් වල ඇති රසායන ද්‍රව්‍ය මගින්, ශරීරයේ සියළුම අවයව පද්ධති වලටම පාහේ බලපෑම් සිදුවේ. එම අවයව අතරට, මොළය, හෘදය, පෙනහලු, ආහාර ජීර්ණ පද්ධතිය, සහ ප්‍රජනක පද්ධතිය ඇතුලත් වේ. පුවක් මගින් ඔබේ සෞඛ්‍යයට සිදුවන හානි පහත පරිදි දැක්විය හැක.

  • ඇබ්බැහි වීම.
  • මුඛයේ සහ ගලනාලයේ පිළිකා ඇතිවීමේ අවදානම වැඩිවේ.
  • අක්මාවේ, ආමාශයේ, පුරස්ථි ග්‍රන්ථියේ, ගැබ්ගෙලෙහි, සහ පෙනහලු වල පිළිකා ඇතිවීමේ අවදානම වැඩිවේ.
  • පූර්ව-පිළිකා තත්ත්වයක් හෙවත් පිළිකාවක් වැළඳීමේ පෙර අවධියක් වන මුඛ ශ්ලේෂ්මලයේ තන්තුමතාව (Oral submucous fibrosis) ඇතිවීම.
  • ඇදුම රෝගය වර්ධනය වීම.
  • අධික රුධිර පීඩනය.
  • හෘද ස්පන්දන වේගය අසාමාන්‍ය ලෙස වැඩිවීම (Tachycardia).
  • දියවැඩියාව වැළඳීමට ඇති අවදානම වැඩිවේ.
  • වකුගඩු රෝග ඇතිවීමේ අවදානම ඉහළ යයි.
  • මානසික රෝග උත්සන්න වේ.
  • ගර්භණී මව්වරුන් පුවක් භාවිතා කිරීමෙන්, නොමේරූ දරුවන් බිහිවීම සහ අඩුබර දරු උපත් සිදුවීම ඇතිවේ.
  • මන්ද තයිරොයිඩතාවය (Hypothyroidism) හෙවත් තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩුවීම සිදුවේ.
  • පුරස්ථි ග්‍රන්ථිය ඉදිමේ.
  • නිසරුභාවය හෝ මදසරුභාවය ඇතිවිය හැක.
  • දැනට පවත්නා පහත සඳහන් තත්ත්ව සහ රෝග උත්සන්න වීම සිදුවිය හැක.
    • ස්නායු රෝග.
    • හෘදයාබාධ.
    • හෘද ස්පන්දනය අක්‍රමවත් වීම (Arrhythmia).
    • අක්මා රෝග.
    • ඇදුම.
    • ස්ථුලභාවය.
    • දියවැඩියාව.
    • රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම.

 

දුම්කොළ මගින් සිදුවන හානි මොනවාද?

දුම්කොළ සැපීමෙන්, ඔබේ සෞඛ්‍යයට පහත හානි සිදුවිය හැක.

  • ඇබ්බැහි වීම.
  • මුඛ පිළිකා සහ ගලනාලයේ පිළිකා ඇතිවීම.
  • ඇලදිවේ හෙවත් අග්න්‍යාශයේ පිළිකා ඇතිවීම.
  • දත් දිරායාම.
  • විදුරුමස් රෝග ඇතිවීම.
  • හෘදයාබාධ වැළඳීම.
  • හෘද ස්පන්දන වේගය අසාමාන්‍ය ලෙස ඉහළ යාම (Tachycardia).
  • අධික රුධිර පීඩනය.
  • අංශභාගය හෙවත් ආඝාතය.
  • පූර්ව-පිළිකා තත්ත්වයක් හෙවත් පිළිකාවක් වැළඳීමේ පෙර අවධියක් වන මුඛ ශ්ලේෂ්මලයේ තන්තුමතාව (Oral submucous fibrosis) ඇතිවීම.
  • මුඛයෙන් දුගඳක් හැමීම.
  • නොමේරූ දරු උපත් සිදුවීම සහ මළ දරු උපත් සිදුවීම.
  • දුම්පානයට නැඹුරුවීමට ඇති හැකියාව ඉහළ යයි.

බුළත්විට සමග භාවිතාකරන හුණු මගින්ද, මුඛ කුහරයේ මෘදු පටක වලට දිගුකලක් තිස්සේ හානිවීම නිසා, මුඛ පිළිකා වැළඳීමට මග පෑදේ.

මෑතකදී කරන ලද පර්යේෂණයක් මගින්, දුම්කොළ සහ පුවක් සමග බුළත්විට සැපීම නිසා මුඛ පිළිකා ඇතිවීමේ අවදානම 10 ගුණයකින් පමණ ඉහළ යන බවද, දුම්කොල රහිතව බුළත්විට සැපීමෙන් මුඛ පිළිකා වැළඳීමේ අවදානම 8 ගුණයකින් පමණ ඉහළ යන බවද, සොයාගෙන ඇත. පිළිකා වලින් තුනෙන් එකක් (1/3) නිරෝගී ජීවන රටාවක් ඇතිකර ගැනීමෙන් වළක්වා ගත හැකිය. එවැනි වළක්වාගත හැකි පිළිකා වලින් 50% ක්ම දුම්කොළ භාවිතා නොකිරීමෙන් වළක්වා ගතහැකි ඒවාය. එමනිසා, බුළත්විට සැපීමෙන් වැළකීම මගින්, බරපතළ රෝග ගණනාවක් වළක්වා ගැනීමට හැකියාව ලැබෙන බව කිවහැක.

 

(ඡායාරූප අනුග්‍රහය: Nimmi Solomon)

 

සබැඳි ලිපි:

පිළිකා ඇතිවීම වළක්වා ගනිමු!
මත්පැන් භාවිතය පිළිකා වලට අත වනයි!

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "බුළත්විට සැපීම ඔබට හානිකර වන්නේ කොහොමද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*