අන්තර් ගර්භාෂිත තැන්පතුව හෙවත් ලූපය ගැන දැනගනිමු.

අන්තර් ගර්භාෂිත තැන්පතුව හෙවත් ලූපය

බොහොමයක් කාන්තාවන් සඳහා, අන්තර් ගර්භාෂිත තැන්පතුව හෙවත් ලූපය (Intrauterine device or IUD), ආරක්ෂිත සහ ඵලදායී පවුල් සැලසුම් ක්‍රමයක් ලෙස හැඳින්විය හැක. එය සෙන්ටිමීටර් 2.5 කට ආසන්න ප්‍රමාණයේ, T අකුරේ හැඩය ගත් තඹ සහ ප්ලාස්ටික් මිශ්‍ර නැවෙන සුළු, කුඩා උපකරණයකි. ලූපය තුළ හෝමෝන කිසිවක් අඩංගු නොවේ. වෛද්‍යවරයෙක් විසින්, එය ගර්භාෂය තුළ තැන්පත් කෙරේ. මෙම ලූපය තැන්පත් කිරීමේ ක්‍රියාවලිය මද අපහසුතාවයක් ඇතිකල හැක. ගර්භාෂයේ තැන්පත් කල පසු, ලූපය ගර්භාෂ කුහරය තුළ සිරවී පවතින අතර, අඟල් 1-2 ක් පමණ දිගට, ගර්භාෂයේ සිට යෝනි මාර්ගය තුළට සිහින් නූල්පට දෙකක් එල්ලී පවතිනු ඇත.

 

අන්තර් ගර්භාෂිත තැන්පතුව හෙවත් ලූපය

අන්තර් ගර්භාෂිත තැන්පතුව හෙවත් ලූපය ගර්භාෂය තුළ පවතින අයුරු

 

ලූපය තැන්පත් කල යුතු කාලය කුමක්ද?

ඔසප්වීම ආරම්භ වී, මුල් දින 12 ඇතුලත ලූපය තැන්පත් කල යුතුවේ. නැතහොත්, දරු ප්‍රසූතියකින් සති 6 කට පසුව ලූපය තැන්පත් කරගැනීම සුදුසු වේ.

 

ලූපය ක්‍රියාකාරී වන්නේ කෙසේද?

ලූපය මගින්, ශුක්‍රාණු ඩිම්බය වෙත ලඟාවීම වළක්වන බැවින්, සංසේචනය වීම (Fertilisation) වැළකේ. යම් හෙයකින්, ඩිම්බයක් සංසේචනය වුවහොත්, එය ගර්භාෂය තුළ අධිරෝපණය (Implantation) වීමද වළකයි. එයට අමතරව, ලූපයේ අඩංගු තඹ මගින්, ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ගැබ් ගැනීමක් වැළැක්වීමට උත්තේජනය කෙරේ. ලූපය භාවිතා කරන විට, ගැබ් ගැනීමට ඇති හැකියාව 2% ක් පමණ වේ. එක් ලූපයක් වසර 10 ක කාලයක් භාවිතා කල හැකි අතර, වසර 10 ක කාලය අවසානයේදී, නැවත අලුත් ලූපයක් තැන්පත් කරගත යුතුවේ. ලූපය ඉවත්කල විගස, නැවත සාඵල්‍යතාවය ඇතිවේ.

 

ලූපය භාවිතා කිරීමේ ඇති වාසි මොනවාද?

  • මින් පෙර, ගර්භණී නොවුන කාන්තාවකට පවා භාවිතා කලහැකි වීම.
  • ලිංගිකව එක්වීමට බාධාවක් නොමැත.
  • එක් වරක් තැන්පත් කිරීමෙන් පසු, වසර 10 ක කාලයක් ක්‍රියාකාරීව පවතී.
  • තැන්පත් කල වහාම ක්‍රියාකාරී වන සහ ඵලදායී පවුල් සැලසුම් ක්‍රමයක් වීම.
  • දිනපතා පවුල් සැලසුම් පෙත්තක් ගැනීමට අපහසු අයට, පහසුවෙන් භාවිතා කල හැක.
  • මව්කිරි දෙන අතරතුර වුවද භාවිතා කල හැක.
  • ඉවත් කල වහාම, සාඵල්‍යතාවය නැවත ඇතිවීම.
  • වෙනත් ඖෂධ සමග අන්තර්ක්‍රියා (Interaction) නොකිරීම.

 

ලූපය භාවිතා කිරීමේ ඇති අවාසි සහ අතුරු ආබාධ මොනවාද?

  • ලූපය තැන්පත් කිරීමට සහ ඉවත් කිරීමට වෛද්‍යවරයෙකුගේ සහාය අවශ්‍ය වීම.
  • ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (Sexually transmitted diseases or STDs) වලින් ආරක්ෂාවක් නොලැබීම.
  • ලූපය තැන්පත් කල මුල් කාලයේදී, යටි බඩෙහි වේදනාවක් ඇතිවීම, කුඩා රුධිර වහනයක් සිදුවීම, සහ පළමු මාස කිහිපය තුළ ඔසප්වීමේදී වැඩි රුධිර වහනයක් සිදුවීම.
  • කලාතුරකින්, ලූපය නොදැනුවත්වම ඉවත්වීම සිදුවිය හැක.
  • ලූපය තැන්පත් කල පසු, මුල් දින 20 තුළ ආසාදනයක් ඇතිවීමට කුඩා ඉඩක් පවතී.
  • මින් පෙර, ශ්‍රෝණි කුහරය තුළ ආසාදනයක් ඇතිවුනි නම්, ලූපයක් භාවිතා කිරීම නුසුදුසු වීම.
  • ඉතාමත් කලාතුරකින්, ගර්භාෂ බිත්තිය සිදුරුවීම, ගර්භාෂයෙන් පිටත පිළිසිඳ ගැනීම (Ectopic pregnancy), සහ ඩිම්බකෝෂ වල කෝෂ්ඨ (Ovarian cysts) හටගැනීම සිදුවිය හැක.

 

ලූපය තැන්පත් කිරීම සුදුසු වන්නේ කාටද?

බොහොමයක් සෞඛ්‍ය සම්පන්න කාන්තාවන්ට ලූපය භාවිතා කල හැක.

 

ලූපය තැන්පත් කිරීම නුසුදුසු වන්නේ කාටද?

  • ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ඇති කාන්තාවන්ට.
  • මෑතකදී ශ්‍රෝණි කුහරය තුළ ආසාදනයක් ඇතිවූ කාන්තාවන්ට.
  • ගර්භණී කාන්තාවන්ට.
  • ගැබ්ගෙලෙහි හෝ ගර්භාෂයේ පිළිකාවක් ඇති කාන්තාවන්ට.
  • රෝග නිශ්චය නොකල, යෝනි මාර්ගයෙන් රුධිර වහනයක් ඇති කාන්තාවන්ට.
  • තඹ වලට අසාත්මිකතාවය (Allergy) ඇති කාන්තාවන්ට.

ඔබට මින් පෙර, ගර්භාෂයෙන් පිටත ගැබ්ගැනීමක් සිදුවී ඇත්නම්, මෑතකදී ගබ්සාවීමක් සිදුවී ඇත්නම්, හෝ කෘතිම හද කපාටයක් (Artificial heart valve) දමා ඇත්නම්, ලූපයක් තැන්පත් කිරීමට පෙර වෛද්‍ය උපදෙස් පැතීම අත්‍යාවශ්‍ය වේ.

 

ලූපය ගැලවී වැටීම සිදුවන්නේ ඇයි?

මෙය කලාතුරකින් සිදුවිය හැකි දෙයකි. ලූපය ගැලවී වැටීමට වඩාත් ඉඩ ඇත්තේ පහත සඳහන් කාන්තාවන්ටය.

  • දරුවන් නොමැති කාන්තාවන්ට.
  • වයස අවුරුදු 20 ට අඩු කාන්තාවන්ට.
  • දරු ප්‍රසූතියකට වහාම පසුව ලූපයක් තැන්පත් කල කාන්තාවන්ට.
  • දෙවන ත්‍රයිමාසිකයේදී, ගබ්සා වීමකින් වහාම පසු ලූපයක් තැන්පත් කල කාන්තාවන්ට.
  • ගර්භාෂයේ තන්ත්වාභ (Fibroid) නැමැති ගෙඩි වර්ගයක් ඇති කාන්තාවන්ට.
  • අසාමාන්‍ය ප්‍රමාණයේ හෝ හැඩයේ ගර්භාෂයක් හිමි කාන්තාවන්ට.

ලූපය ඉවතට පැමිණීමට වැඩි ඉඩක් ඇත්තේ, ඔසප්වීම සිදුවන අතරතුරය. එවිට, ලූපය සනීපාරක්ෂක තුවාය මත පවතිනු ඇතැම්විට දැකිය හැක. ලූපයේ ඇති සිහින් රැහැන්, යෝනි මාර්ගය තුළ හසුවන්නේ දැයි, වරින් වර පරීක්ෂා කිරීම අවශ්‍ය වේ. ලූපය තැන්පත් කල පසු මුල් මාසය තුළ කිහිප වාරයක් සහ ඉන්පසුව සෑම ඔසප්වීමකට පසුවම ලූපය පරීක්ෂා කිරීම කල යුතුවේ. ලූපයේ රැහැන්, සාමාන්‍යයෙන් පවතිනවාට වඩා කොටවී හෝ දික්වී ඇත්නම්, හසු නොවේ නම්, හෝ ලූපය අතට හසුවේ නම්, ලූපය පවතින ස්ථානයේ වෙනසක් සිදුවී ඇත. එවිට, ඔබේ වෛද්‍යවරයා හමුවීම කල යුතුය.

 

සබැඳි ලිපි:

පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව හොඳින් දැනුවත් වෙමු!
මිශ්‍ර ගිලින පවුල් සැලසුම් පෙති භාවිතා කරන්නේ කොහොමද?
මිශ්‍ර හෝමෝන අලවනය ගැන දැනගනිමු.
ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති පවුල් සැලසුම් ක්‍රම
ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති ගිලින පවුල් සැලසුම් පෙති
පවුල් සැලසුම් සඳහා ප්‍රොජෙස්ටොජන් නික්ෂේපණ
හෝමෝන කරල් තැන්පතුව ගැන දැනගනිමු.
පිරිමි කොන්ඩමය, පවුල් සැලසුම් කිරීම සඳහා භාවිතා කිරීම
හදිසි පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව දැනගනිමු.
ස්ත්‍රී වන්ධ්‍යාකරණය (එල්. ආර්. ටී. සැත්කම) ගැන දැනගනිමු.

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "අන්තර් ගර්භාෂිත තැන්පතුව හෙවත් ලූපය ගැන දැනගනිමු." පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*