කොතරම් ව්‍යායාම කලත් බඩ අඩුවෙන්නේ නැත්තේ ඇයි?

කොතරම් ව්‍යායාම කලත් බඩ අඩුවෙන්නේ නැත්තේ ඇයි

ඔබ පැතලි උදරයක් ගැන සිහින මවමින්, දිවීම, ඇවිදීම, බයිසිකල් පැදීම, ව්‍යායාම් ශාලාවක (Gymnasium) ව්‍යායාම කිරීම ආදිය කලත්, ඔබ පැතූ සිහිනය ඉටු නොවනවා වෙන්නට පුලුවන. කොතරම් වෙහෙස වී, කාලය ගෙවමින් විවිධ ශාරීරික ක්‍රියාකාරකම් කලත්, ශරීරයේ වෙනත් ප්‍රදේශ වල මේදය අඩුවෙද්දී, උදරයේ ඇති මේදය නොවෙනස්ව, එලෙසම පවතින බව ඇතැම්විට දක්නට ලැබේ. කොතරම් ව්‍යායාම කලත් බඩ අඩුවෙන්නේ නැත්තේ ඇයි? මෙය බොහෝ දෙනෙකුට මතුවන ගැටළුවක්.

ඉලක්ක කරන බර අඩුවීම

ව්‍යායාම කරන විට කැලරි දහනය වන බවත්, එවිට ශරීරයේ අමතර මේදය දහනය වන බවත් ඔබ දන්නවා ඇති. ඔබගේ ශරීරයේ ඇති අමතර මේදය, උදරයේ, අත් වල, උකුලේ, කලවා වල, සහ තට්ටම ප්‍රදේශයේ විසිරී පවතින්නට පුලුවනි. නමුත්, ඔබ කොතරම් ව්‍යායාම කලත්, ශරීරයේ ඔබ ප්‍රාර්ථනා කරන ප්‍රදේශයේ පමණක් මේදය අඩු කරගැනීමට අපහසුය. ඔබේ ශරීරයේ මේදය අඩුවිය යුත්තේ කොතැනද, කොහොමද යන්න ඔබට තෝරාගැනීමට කිසිඳු අවකාශයක් ලැබෙන්නේ නැහැ. ඇතැම්විට, වැඩි තීව්‍රතාවයකින් යුතු ව්‍යායාම (High-intensity exercises) වල නිරත වූවත්, උදරයේ ඇති අමතර මේදය කොපමණ දහනය වේදැයි අනුමාන කරන්නට අපහසු වේ. කෙසේ නමුත්, වැඩියෙන් ව්‍යායාම කලොත්, වැඩියෙන් අමතර මේදය දහනය වන බව නම්, සැකයකින් තොරව කියන්න පුලුවන්. එවිට, උදරයේ ඇති මේදය ද, ක්‍රමයෙන් දහනය වේවි.

වයස්ගත වීම සහ ආර්තවාභාවය

විශේෂයෙන්, කාන්තාවන්ට උදරයේ අමතර මේදය තැන්පත් වීම සහ එය අඩු කරගැනීම ගැටළුවක් වේ. කාන්තාවක් ක්‍රමයෙන් වයසින් වැඩිවත්ම, ශරීරයේ සිදුවන හෝමෝන මට්ටම් වල වෙනස්වීම්, උදරයේ මේදය තැන්පත් වීම වැඩිකරන අතර, අමතර මේදය දහනය කිරීම වඩාත් අපහසු කරයි. විශේෂයෙන්ම, කාන්තාවන්ගේ ආර්තවාභාවය (Menopause) නිසා ඇතිවන හෝමෝන වෙනස්වීම් මේ සඳහා සැලකිය යුතු දායකත්වයක් දක්වයි. ක්‍රමයෙන් වයස්ගත වනවිට, ශරීරයේ පරිවෘත්තීය ප්‍රතික්‍රියා වල සීඝ්‍රතාවය අඩුවන බැවින්, ශරීරයේ අමතර මේදය තැන්පත් වීම ද වැඩිවේ. ආර්තවාභාවයෙන් පසුව ශරීරයේ ඇතිවන වෙනස්කම් අතර, ශරීරයේ වෙනත් ප්‍රදේශ වල සිට, අමතර මේදය තැන්පත් වීම උදරය ප්‍රදේශයට මාරුවීම දක්නට ලැබේ.

තානය වැඩිකරන ව්‍යායාම (Toning exercises) අඩුවෙන් කිරීම

ඇතැම්විට, ඔබගේ ශරීරයේ බර සහ ශරීර ස්කන්ධ දර්ශකය (Body mass index or BMI), සෞඛ්‍ය සම්පන්න පරාසයේ පවතින විට වුවත්, ඔබේ උදරය එල්ලා වැටීම පැවතිය හැකියි. එයින් ගම්‍ය වන්නේ, ඔබ තෝරාගෙන ඇති ව්‍යායාම වල යම් වැරැද්දක් ඇති බවයි. ස්වායු ව්‍යායාම (Aerobic exercises) සහ හෘත්වාහිණික ව්‍යායාම (Cardiovascular exercises) කිරීම මගින්, ශරීරයේ ඇති අමතර මේදය දහනය වුවත්, මාංශ පේශි වල තානය (Tone) වැඩිවී, ශක්තිමත් වන්නේ ශක්තිදායක ව්‍යායාම (Strengthening exercises) කිරීම මගිනි. උදරයේ මාංශ පේශි වලට විශේෂිත වූ Plank සහ Bicycle crunches වැනි ව්‍යායාම මගින්, උදරයේ ඇති මාංශ පේශි වල තානය වැඩිවන අතර, ඒවා ඔබගේ උදරය ප්‍රදේශය තද ස්වභාවයකට පත් කරයි. එමනිසා, තානය වැඩිකරන ව්‍යායාම දවසක් හැර දවසක් කිරීම වඩාත් සුදුසු වේ.

සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර

කොතරම් උත්සාහ කලත්, ඔබගේ උදරයේ ඇති අමතර මේදය අඩු නොවීමට හේතුව, ඔබ ගන්නා ඇතැම් ආහාර වීමට ද පුලුවන. ව්‍යායාම කරන අතරතුර වුවද, ශරීරයේ අමතර මේදය දහනය වීමට නම්, ආහාර වලින් ලබාගන්නා කැලරි ප්‍රමාණයට වඩා එදිනෙදා දහනය වන කැලරි ප්‍රමාණය වැඩිවිය යුතුවේ. දවසකට කැලරි 500 ක් දහනය කිරීම මේ සඳහා හොඳ ආරම්භයකි. නමුත්, කිසිවිටෙක ඔබ දැනට ගන්නා ආහාරයේ ඇති කැලරි ප්‍රමාණයෙන්, දිනකට කැලරි 1000 කට වඩා අඩුකිරීමට උත්සාහ ගැනීම නොකල යුතුවේ. ව්‍යායාම කරන විට, තෙල් අඩු ප්‍රෝටීන් (Lean proteins), තන්තු, සහ සෞඛ්‍ය සම්පන්න මේදය බහුල ආහාර ගැනීම ඉතා වැදගත් වේ. එමෙන්ම, මත්පැන් පානය කිරීමෙන් වැළකීම සහ සරළ සීනි අඩංගු ආහාර ගැනීමෙන් වැළකීම ද, කල යුතුවේ. ඔබගේ ආහාරයේ එළවළු, පළතුරු, ඇට වර්ග, කුරුට්ට සහිත ධාන්‍ය ආදිය ද අන්තර්ගත වීම වැදගත් වේ. හැකිතරම් පාන් පිටි වලින් සාදන ආහාර වලින් ඈත්වීම, උදරයේ ඇති අමතර මේදය අඩු කරගැනීම පහසු කිරීමට හේතුවේ.

 

(ඡායාරූප අනුග්‍රහය: Smallworldspictures123)

 

සබැඳි ලිපි:

ශරීරයේ බර අඩු කරගැනීම සඳහා ඉඟි කිහිපයක්…
ශරීරයේ බර අඩු කරගැනීමට සරල සැලසුමක්
බර අඩුවීම සඳහා දවසකට කොපමණ ව්‍යායාම කල යුතුද?
ව්‍යායාම වලදී දහනය වන කැලරි ප්‍රමාණය ගණනය කරන්නේ කෙසේද?
ස්ථුලභාවය සහ ආහාර පාලනය

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "කොතරම් ව්‍යායාම කලත් බඩ අඩුවෙන්නේ නැත්තේ ඇයි?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*