ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති ගිලින පවුල් සැලසුම් පෙති

ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති ගිලින පවුල් සැලසුම් පෙති

ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති ගිලින පවුල් සැලසුම් පෙති (Progestogen-only pills/POP/mini-pills) වල අඩංගු වන්නේ දෙවන සහ තෙවන පරම්පරාවේ ප්‍රොජෙස්ටොජන් හෝමෝනයි. දෙවන පරම්පරාවේ ප්‍රොජෙස්ටොජන් ලෙස නෝඑතිස්ටරෝන් (Norethisterone), නෝජෙස්ට්‍රල් (Norgestrel), හෝ ඒවායේ ව්‍යුත්පන්න අන්තර්ගත වේ. තෙවන පරම්පරාවේ ප්‍රොජෙස්ටොජන් ලෙස ඩිසොජෙස්ට්‍රල් (Desogestrel) පවතී. ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති ගිලින පවුල් සැලසුම් පෙති වල ඵලදායීතාවය, මිශ්‍ර ගිලින පවුල් සැලසුම් පෙති (Combined oral contraceptive pills) වලට සාපේක්ෂව මදක් අඩුය. එනම්, මිශ්‍ර ගිලින පවුල් සැලසුම් පෙති වසරක කාලයක් ගන්නා විට ගැබ් ගැනීමට ඇති හැකියාව 0.1-1% ක් පමණ වන අතර, ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති ගිලින පෙති වසරක කාලයක් ගන්නා විට ගැබ් ගැනීමට ඇති හැකියාව 1-3% ක් පමණ වේ. මිශ්‍ර ගිලින පවුල් සැලසුම් පෙති ගැනීමට නොහැකි නමුත්, පවුල් සැලසුම් පෙති ගැනීමට කැමැත්තක් දක්වන කාන්තාවකට සුදුසුම පවුල් සැලසුම් ක්‍රමය ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති ගිලින පෙති වේ.

 

ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති ගිලින පෙති ගන්නේ කොහොමද?

ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති පවුල් සැලසුම් පෙති ගන්නා විට, ඔසප්වීම ආරම්භ වූ දිනයේදී පළමු පෙත්ත ගෙන, දිනකට එක් පෙත්තක් බැගින් දිගටම ගත යුතුවේ. මෙහිදී, සෑම දිනකම එකම වේලාවට ගිලින පෙත්ත ගැනීම ඉතා වැදගත් වේ. ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති පවුල් සැලසුම් පෙති වල ක්‍රියාකාරීත්වය අසාර්ථක වුවහොත්, ගර්භාෂයෙන් පිටත ගැබ් ගැනීමට (Ectopic pregnancy) ඇති අවදානම තරමක් වැඩිය.

 

ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති ගිලින පවුල් සැලසුම් පෙති ක්‍රියා කරන්නේ කෙසේද?

ප්‍රොජෙස්ටොජන් මගින් ගැබ් ගෙලෙහි ශ්‍රාවයන්ගේ ඝනකම වැඩිවන අතර, එමනිසා ශුක්‍රාණු වලට යෝනි මාර්ගයේ සිට ගර්භාෂයට ඇතුළුවීම අපහසු වේ. එමගින්, ඩිම්බය සංසේචනය වීම වැළකේ. ඇතැම්විට, ඩිම්බ මෝචනය වීමද, ප්‍රොජෙස්ටොජන් මගින් වැළකිය හැකි මුත්, සැමවිටම එය සිදුනොවිය හැක. එමනිසා, ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති ගිලින පෙති ගන්නා අතරතුර, ඩිම්බ මෝචනය වීම සහ එමගින් ඔසප්වීම සිදුවීමට ඉඩ ඇත. එහෙයින්, ඔසප්වීම ප්‍රමාද කිරීමට ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති ගිලින පවුල් සැලසුම් පෙති ඵලදායී නොවේ.

 

ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති පවුල් සැලසුම් පෙති වල ඇති වාසි මොනවාද?

පහත සඳහන් අවස්ථා වලදී ද, ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති පවුල් සැලසුම් පෙති භාවිතා කල හැක.

  • ළදරුවාට මව්කිරි දෙන අතරතුර (එමනිසා, ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති පවුල් සැලසුම් පෙති, දරු ප්‍රසූතියට පසුව ඉක්මනින්ම ආරම්භ කල හැක.)
  • වයසින් වැඩි කාන්තාවන් සඳහා
  • හෘද රෝග වැළඳීමට අවදානම් සාධක ඇති කාන්තාවන්ට
  • දියවැඩියාව ඇති කාන්තාවන්ට
  • ඉරුවාරදය (Migraine) ඇති කාන්තාවන්ට
  • ලිංගිකව එක්වීමට බාධාවක් නොවේ.
  • ඔසප් වීමේදී ඇතිවන වේදනාව සහ අධික රුධිර වහනය පාලනය වේ.

 

ඔබට ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති ගිලින පෙත්ත ගැනීමට අමතක වුවහොත්, කුමක් කල යුතුද?

ඔබට ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති ගිලින පෙත්ත නියමිත වේලාවට ගැනීමට අමතක වී පැය 3 කට වඩා අඩුනම් (ඇතැම් ඩිසොජෙස්ට්‍රල් 75 μg පෙති වලට මෙම කාලය පැය 12 කි.), අමතක වූ පෙත්ත වහාම ගෙන, ඉතිරි පෙති සාමාන්‍ය පරිදි ගන්න. අමතර උපත් පාලන ක්‍රමයක් භාවිතා කිරීම අවශ්‍ය නොවේ.

ඔබට ගිලින පෙත්ත නියමිත වේලාවට ගැනීමට අමතක වී පැය 3 කට වඩා වැඩිනම් (ඇතැම් ඩිසොජෙස්ට්‍රල් 75 μg පෙති වලට මෙම කාලය පැය 12 කි.), ඔබ අනාරක්ෂිත බැවින් ගැබ් ගැනීමකට ඉඩ ඇත. සාමාන්‍ය පරිදි ඉතිරි පෙති ගන්න. නමුත්, ඉදිරියට දින දෙකක් කොන්ඩම් වැනි විකල්ප පවුල් සැලසුම් ක්‍රමයක් භාවිතා කිරීම අත්‍යාවශ්‍ය වේ.

ඔබට ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති ගිලින පෙති එකක් හෝ කිහිපයක් ගැනීමට අමතක වී හෝ පෙත්ත නියමිත වේලාවට ගැනීමට අමතක වී පැය 3 කට වඩා වැඩිවී (ඇතැම් ඩිසොජෙස්ට්‍රල් 75 μg පෙති වලට මෙම කාලය පැය 12 කි.) ඇතිවිට, ඊළඟ පෙති 2 ක් නියමිත පරිදි ගැනීමට පෙර අනාරක්ෂිත ලිංගික එක්වීමක් සිදුවූයේ නම්, හදිසි පවුල් සැලසුම් ක්‍රමයක් (Emergency contraceptive method) භාවිතා කිරීම අත්‍යාවශ්‍ය වේ.

 

මිශ්‍ර ගිලින පවුල් සැලසුම් පෙති වල සිට ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති ගිලින පෙති වලට මාරු වෙන්නේ කොහොමද?

මිශ්‍ර ගිලින පවුල් සැලසුම් පෙති වල හෝමෝන පෙති අවසන් වූ වහාම, යකඩ පෙති ගැනීම ආරම්භ නොකර, ඒ වෙනුවට ඊළඟ දිනයේ සිට ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති ගිලින පවුල් සැලසුම් පෙති ගැනීම ආරම්භ කර, නොකඩවා පෙති ගැනීම සිදුකරන්න.

 

දරු උපතකට පසුව ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති ගිලින පෙති ආරම්භ කරන්නේ කොහොමද?

දරු උපතෙන් සති 3 කට පසුව, ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති ගිලින පවුල් සැලසුම් පෙති ගැනීම ආරම්භ කල හැක. එයට පෙර, ගිලින පෙති ගැනීම ආරම්භ කලහොත්, රුධිර වහනයක් සිදුවීමට ඇති අවදානම වැඩිවිය හැක.

 

දියර ලෙස මළපහ පිටවීම (Diarrhoea) හෝ වමනය ඇතිවිට ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති ගිලින පෙති ගැනීම

ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති ගිලින පවුල් සැලසුම් පෙත්ත ගෙන පැය දෙකක් ගතවීමට පෙර වමනය සිදුවූයේ නම්, ඉක්මනින්ම තවත් ගිලින පෙත්තක් ගෙන ඉතිරි පෙති සාමාන්‍ය පරිදි ගන්න. එම අමතර ගිලින පෙත්ත නියමිත වේලාව පසුවී පැය 3 ක් ගතවීමට පෙර (ඇතැම් ඩිසොජෙස්ට්‍රල් 75 μg පෙති වලට මෙම කාලය පැය 12 කි.) ගැනීමට නොහැකි වූයේ නම්, කොන්ඩම් වැනි විකල්ප පවුල් සැලසුම් ක්‍රමයක් ඉදිරි දින දෙක සඳහා භාවිතා කල යුතුවේ.

ඔබට දිගටම වමනය යෑම හෝ දියර ලෙස මළපහ පිටවීම ඇත්නම්, එම අසනීපය පවතින තුරු සහ අසනීපය සුව වී දින 2 ක් ගතවන තුරු, කොන්ඩම් වැනි විකල්ප පවුල් සැලසුම් ක්‍රමයක් භාවිතා කල යුතුවේ.

 

(ඡායාරූප අනුග්‍රහය: Surija / “Sray”)

 

සබැඳි ලිපි:

පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව හොඳින් දැනුවත් වෙමු!
මිශ්‍ර ගිලින පවුල් සැලසුම් පෙති භාවිතා කරන්නේ කොහොමද?
මිශ්‍ර හෝමෝන අලවනය ගැන දැනගනිමු.
ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති පවුල් සැලසුම් ක්‍රම
පවුල් සැලසුම් සඳහා ප්‍රොජෙස්ටොජන් නික්ෂේපණ
හෝමෝන කරල් තැන්පතුව ගැන දැනගනිමු.
අන්තර් ගර්භාෂිත තැන්පතුව හෙවත් ලූපය ගැන දැනගනිමු.
පිරිමි කොන්ඩමය, පවුල් සැලසුම් කිරීම සඳහා භාවිතා කිරීම
හදිසි පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව දැනගනිමු.
ස්ත්‍රී වන්ධ්‍යාකරණය (එල්. ආර්. ටී. සැත්කම) ගැන දැනගනිමු.

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති ගිලින පවුල් සැලසුම් පෙති" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*