ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති පවුල් සැලසුම් ක්‍රම

ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති පවුල් සැලසුම් ක්‍රම

ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති පවුල් සැලසුම් ක්‍රම (Progestogen-only preperations) වල ඊස්ට්‍රජන් හෝමෝනය (Oestrogen) අඩංගු නොවන අතර, ප්‍රොජෙස්ටොජන් හෝමෝන පමණක් අඩංගු වේ. ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටොජන් යන හෝමෝන දෙකම කාන්තා හෝමෝන වුවත්, ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති පවුල් සැලසුම් ක්‍රම, මිශ්‍ර ගිලින පවුල් සැලසුම් පෙති වලට වඩා සෞඛ්‍යාරක්ෂිත වේ. එමනිසා, ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති පවුල් සැලසුම් ක්‍රම, හෘද රෝග වැළඳීමට අවදානම් සාධක ඇති කාන්තාවකට පවා භාවිතා කල හැක.

 

ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති පවුල් සැලසුම් ක්‍රම

 

ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති පවුල් සැලසුම් ක්‍රම වල ඇති වාසි මොනවාද?

පහත සඳහන් අවස්ථා වලදී ද, ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති පවුල් සැලසුම් ක්‍රම භාවිතා කල හැක.

  • ළදරුවාට මව්කිරි දෙන අතරතුර (එමනිසා, ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති පවුල් සැලසුම් ක්‍රම, දරු ප්‍රසූතියට පසුව ඉක්මනින්ම ආරම්භ කල හැක.)
  • වයසින් වැඩි කාන්තාවන් සඳහා
  • හෘද රෝග වැළඳීමට අවදානම් සාධක ඇති කාන්තාවන්ට
  • දියවැඩියාව ඇති කාන්තාවන්ට
  • ඉරුවාරදය (Migraine) ඇති කාන්තාවන්ට
  • ලිංගිකව එක්වීමට බාධාවක් නොවේ.
  • ඔසප් වීමේදී ඇතිවන වේදනාව සහ අධික රුධිර වහනය පාලනය වේ.

 

ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති පවුල් සැලසුම් ක්‍රම ක්‍රියාත්මක වන්නේ කෙසේද?

ප්‍රොජෙස්ටොජන් හෝමෝන ප්‍රධාන වශයෙන් ගැබ්ගෙල සහ ගර්භාෂය තුළ ක්‍රියාත්මක වේ. ඒවා ගැබ්ගෙලෙහි ශ්‍රාවයන් වල ස්වභාවය වෙනස් කරමින්, යෝනි මාර්ගයේ සිට ගර්භාෂය දෙසට චලනය වන ශුක්‍රාණු වලට බාධා කරයි. ප්‍රොජෙස්ටොජන් හෝමෝන ගර්භාෂයේ අභ්‍යන්තර පටක ස්ථරයේ වර්ධනය ද, නිශේධනය කරයි. එමගින්, ශුක්‍රාණු වල චලනය සහ කලලය අධිරෝපණය වීම වැළැක්වේ. ප්‍රොජෙස්ටොජන් අධි මාත්‍රා මගින්, ඩිම්බ මෝචනය ද, වැළකේ.

 

ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති පවුල් සැලසුම් භාවිතයේදී ඇතිවිය හැකි අතුරු ආබාධ මොනවාද?

ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති පවුල් සැලසුම් ක්‍රම මගින් ඇතිවිය හැකි අතුරු ආබාධ පහත සඳහන් වේ.

  • පියයුරු වල වේදනාව
  • කුරුළෑ ඇතිවීම
  • ඔසප්වීම නතර වීම
  • ඔසප්වීම අක්‍රමවත් වීම
  • හිසරදය
  • ඩිම්බ කෝෂ වල කෝෂ්ඨ හටගැනීම (Functional ovarian cysts)

ඔබ භාවිතා කරන ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති පවුල් සැලසුම් ක්‍රමය නැවැත්වූ පසු, මෙම අතුරු ආබාධ ක්‍රමයෙන් පහව යයි.

 

(ඡායාරූප අනුග්‍රහය: alamosbasement)

 

සබැඳි ලිපි:

පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව හොඳින් දැනුවත් වෙමු!
මිශ්‍ර ගිලින පවුල් සැලසුම් පෙති භාවිතා කරන්නේ කොහොමද?
මිශ්‍ර හෝමෝන අලවනය ගැන දැනගනිමු.
ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති ගිලින පවුල් සැලසුම් පෙති
පවුල් සැලසුම් සඳහා ප්‍රොජෙස්ටොජන් නික්ෂේපණ
හෝමෝන කරල් තැන්පතුව ගැන දැනගනිමු.
අන්තර් ගර්භාෂිත තැන්පතුව හෙවත් ලූපය ගැන දැනගනිමු.
පිරිමි කොන්ඩමය, පවුල් සැලසුම් කිරීම සඳහා භාවිතා කිරීම
හදිසි පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව දැනගනිමු.
ස්ත්‍රී වන්ධ්‍යාකරණය (එල්. ආර්. ටී. සැත්කම) ගැන දැනගනිමු.

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති පවුල් සැලසුම් ක්‍රම" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*