මිශ්‍ර ගිලින පවුල් සැලසුම් පෙති භාවිතා කරන්නේ කොහොමද?

මිශ්‍ර ගිලින පවුල් සැලසුම් පෙති භාවිතා කරන්නේ කොහොමද?

මිශ්‍ර ගිලින පවුල් සැලසුම් පෙති (Combined oral contraceptive pills or COCP) යනු ඵලදායී පවුල් සැලසුම් ක්‍රමයක් වන අතර, එහි කාන්තා හෝමෝන වර්ග දෙකක් වන ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටොජන් (Oestrogen and progestogen) වල මිශ්‍රණයක් අඩංගු වේ. එය පහසුවෙන් භාවිතා කලහැකි පවුල් සැලසුම් ක්‍රමයකි. ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය මගින් බෙදාහරින ‘මිතුරි‘ පෙති මේ සඳහා උදාහරණයකි. මිශ්‍ර ගිලින පවුල් සැලසුම් පෙති 99% ක සාර්ථකත්වයක් ඇති පවුල් සැලසුම් ක්‍රමයක් වේ. එය තරුණ, සෞඛ්‍ය සම්පන්න කාන්තාවන් අතර වඩාත් ප්‍රචලිත වන අතර, ලිංගික එක්වීමට බාධා ඇති නොකරයි.

'මිතුරි' ගිලින පෙති පැකට්ටුවක්

‘මිතුරි’ ගිලින පෙති පැකට්ටුවේ ආවරණය

 

'මිතුරි' ගිලින පෙති පැකට්ටුවේ ඉදිරිපස

‘මිතුරි’ ගිලින පෙති පැකට්ටුවේ ඉදිරිපස

 

'මිතුරි' ගිලින පෙති පැකට්ටුවේ පිටුපස

‘මිතුරි’ ගිලින පෙති පැකට්ටුවේ පිටුපස

බොහෝ මිශ්‍ර ගිලින පවුල් සැලසුම් පෙති පැකට්ටුවල හෝමෝන අඩංගු පෙති 21 ක් සහ යකඩ අඩංගු පෙති 7 ක් පවතී. පළමුවෙන් පවුල් සැලසුම් පෙති ගන්නා විට, ඔසප්වීම ආරම්භ වූ පළමු දින සිට, දිනකට එක් පෙත්ත බැගින් හෝමෝන පෙති ගැනීම ආරම්භ කල යුතුය. සෑම දිනකම එකම වෙලාවට පෙති ගැනීම ඉතාම වැදගත් වේ. ඔසප්වීම ආරම්භ වී දින 21 කින් හෝමෝන පෙති ගෙන අවසන් වන අතර, ඊළඟ දිනයේ සිට පිළිවෙලින් යකඩ අඩංගු පෙති ගත යුතුවේ. යකඩ පෙති ගෙන අවසන් වූ දිනයට පසුදින, අලුත් පවුල් සැලසුම් පෙති පැකට්ටුවක පළමු හෝමෝන පෙත්ත ගෙන පෙර පරිදිම පවුල් සැලසුම් පෙති ගැනීම දිගටම කල යුතුය. මෙලෙස, එක් දිනක් හෝ මග නොහැර පවුල් සැලසුම් පෙති ගැනීම මත, එහි සාර්ථකත්වය රඳාපවතින බව සැලකිය යුතුවේ. පළමු වරට ගිලින පෙති ගන්නා විට, දින කිහිපයක් ගතවන තුරු ඔක්කාරය, මද හිසරදය වැනි සුළු අතුරු ආබාධ ඇතිවීමට ඉඩ ඇති අතර, දින කිහිපයකින් ඒවා මගහැරී යයි. ගිලින පෙති ඔබේ රාත්‍රී ආහාරයට පසුව ගැනීමෙන්, ඔක්කාරය, කරකැවිල්ල වැනි සුළු අතුරු ආබාධ අඩු කරගැනීමට හැකියාව ලැබේ.

 

මිශ්‍ර ගිලින පවුල් සැලසුම් පෙති ක්‍රියාත්මක වන්නේ කෙසේද?

  • එය නිසියාකාරව ගැනීමෙන්, ඩිම්බ මෝචනය හෙවත් ඩිම්බ කෝෂයකින් ඩිම්බය පිටවීම වැළකේ.
  • එය ගර්භාෂය තුළ කලලය අධිරෝපණය වීම වළකයි.
  • එය ගැබ්ගෙලෙහි ශ්ලේශමල ශ්‍රාවය වෙනස්කරන බැවින්, ශුක්‍රාණු ගර්භාෂයට ගමන්කිරීම වළකයි.

ගිලින පෙති නැවැත්වූ වහාම යලි සාඵල්‍යතාවය ඇතිවේ.

 

ගිලින පෙති සඳහා පිරික්සුම් ලැයිස්තුව

මිශ්‍ර ගිලින පවුල් සැලසුම් පෙති ගැනීමට තෝරාගත් සෑම කාන්තාවක්ම මෙම පිරික්සුම් ලැයිස්තුව භාවිතාකිරීම ඉතා වැදගත්ය. පහත සඳහන් එක් ප්‍රශ්නයකට හෝ පිළිතුර ‘ඔව්‘ නම්, ඔබේ වෛද්‍යවරයා හමුවිය යුතුවේ.

  • ඔබ ගැබ්ගෙන ඇතැයි සිතනවාද?
  • ඔබගේ අවසන් වරට ඔසප්වීම ආරම්භ වී දින 5 කට වඩා ගතවී ඇත්ද?
  • ඔබට අධික රුධිර පීඩනය තිබෙනවාද?
  • ඔබ මාස 6 කට වඩා අඩු ළදරුවෙකුට මව්කිරි දෙනවාද?
  • ඔබ හෘද රෝගයකින් පෙලෙනවාද?
  • ඔබ නිතර අධික හිසරදයකින් පෙලෙනවාද?
  • ඔබ මොළයේ හෝ වෙනත් අවයවයක රුධිර නාල ආශ්‍රිත (ලේ කැටිගැසීම් වැනි) රෝගයකින් පෙලෙනවාද?
  • ඔබ අපස්මාරය හෙවත් මීමැස්මොරය රෝගයට ප්‍රතිකාර ගන්නවාද?
  • ඔබගේ පියයුරු වල අසාමාන්‍යතා (ගැටිති) ඇතිවී තිබේද?
  • ඔබගේ පවුලේ සමීපතම ඥාතියෙකුට පියයුරු පිළිකාව වැළඳී තිබෙනවාද?
  • ඔබට පිත්තාශයේ රෝග වැළඳී තිබෙනවාද?
  • ඔබට දියවැඩියාව රෝගය තිබෙනවාද?
  • ඔබට කාමලාව (Jaundice) හෝ අක්මාවේ රෝගයක් (Liver disease) වැළඳී තිබෙනවාද? (ඔබගේ ඇස් හෝ සම අසාමාන්‍ය ලෙස කහ පාටද?)
  • ඔබට වේදනාවක් සහිතව කෙණ්ඩය ඉදිමීම තිබෙනවාද?
  • ඔබගේ යෝනි මාර්ගයෙන් අසාමාන්‍ය ලෙස රුධිර වහනයක් සිදුවෙනවාද?
  • ඔබ ශල්‍යකර්මයකට භාජනය වීමට බලාපොරොත්තුවෙන් සිටිනවාද?

 

මිශ්‍ර ගිලින පවුල් සැලසුම් පෙති ගැනීම නොකල යුතු අවස්ථා මොනවාද?

ඔබට පහත සඳහන් එක් රෝගයක් හෝ තත්ත්වයක් තිබේනම්, මිශ්‍ර ගිලින පවුල් සැලසුම් පෙති භාවිතාකල නොහැක.

  • හෘදයාබාධ.
  • ආඝාතය හෙවත් අංශභාගය.
  • අධික රුධිර පීඩනය.
  • හෘදයාබාධ වැළඳීමට හේතුවන අවදානම් සාධක කිහිපයක් පැවතීම.
  • අක්මාවේ ගෙඩියක් හෝ දැනට අක්මාවේ රෝගයක් පැවතීම.
  • ශිරාවක ලේ කැටිගැසීමේ රෝගයක් පැවතීම (Deep vein thrombosis or DVT) හෝ එවැනි රෝග ඉතිහාසයක් පැවතීම.
  • කාලයක් එක තැනකට වී සිටීමට සිදුවන ප්‍රධාන ශල්‍යකර්මයකට මුහුණදීමට සිදුවීම.
  • ඉරුවාරදය (Migraine).
  • මාස 6 කට වඩා වයස අඩු දරුවකුට මව්කිරි දීම.
  • පියයුරු පිළිකා.
  • රිෆැම්පිසින් (Rifampicin) හෝ අපස්මාරය සඳහා ලබාදෙන ඇතැම් ඖෂධ ගැනීම.

ඔබට පහත සඳහන් රෝග හෝ තත්ත්වයන් තිබේනම්, වෛද්‍යවරයෙකුගේ උපදෙස් සහ අධීක්ෂණය මත මිශ්‍ර ගිලින පවුල් සැලසුම් පෙති භාවිතාකල හැක.

  • යෝනි මාර්ගයෙන් අක්‍රමවත් ලෙස රුධිර වහනය වීම (රෝග විනිශ්චය කරන තුරු).
  • ගැබ්ගෙල පිළිකා.
  • හෘද කපාට රෝග (Valvular heart disease).
  • දියවැඩියාව.
  • ස්ථුලභාවය.
  • වයස අවුරුදු 40 කට වඩා වැඩිවීම.
  • දිගු කාලයක් එක්තැන් වී සිටීම.
  • පාද වල හෝ ශ්‍රෝණි ප්‍රදේශයේ සැත්කමකට මාස දෙකකට පෙර මිශ්‍ර ගිලින පවුල් සැලසුම් පෙති නතර කරන ලෙස ඔබේ වෛද්‍යවරයා නිර්දේශ කරනු ඇත.

 

මිශ්‍ර ගිලින පවුල් සැලසුම් පෙති ගැනීමේ වාසි මොනවාද?

  • වේදනාව අඩු, ක්‍රමවත්, සහ රුධිර වහනය අඩු ඔසප් චක්‍රයක් ඇතිවීම.
  • ඔසප් වීමේදී, වේදනාකාරී වීමට හෝ අධික ලෙස රුධිර වහනය වීමට ප්‍රතිකාරයක් ලෙස යොදාගත හැකිවීම.
  • ඔසප් වීමට පෙර ඇතිවන රෝග ලක්ෂණ (premenstrual syndrome or PMS) සමනය වීම.
  • ශ්‍රෝණි ප්‍රදාහ රෝගය (Pelvic inflammatory disease or PID) වැළඳීමට ඇති අවදානම අඩුවීම.
  • ඩිම්බ කෝෂ වල සහ ගර්භාෂයේ පිළිකා වැළඳීමට ඇති අවදානම අඩුවීම.
  • කුරුළෑ ඇතිවීම අඩුවීම.

 

ඔබට මිශ්‍ර ගිලින පවුල් සැලසුම් පෙත්ත ගැනීමට අමතක වුවහොත් කුමක් කල යුතුද?

ඔබට ඔසප් චක්‍රයේ මුලදී හෝ අගදී ගත යුතු හෝමෝන පෙත්ත ගැනීමට අමතක වුවහොත්, පවුල් සැලසුම් ආරක්ෂාව නැතිවන හෙයින් ගැබ් ගැනීමට ඇති අවදානම වැඩිවේ. මක්නිසාද, එය හෝමෝන පෙති නොගන්නා සතියක කාලසීමාව තවදුරටත් වැඩි කරයි.

ඔබ හෝමෝන පෙත්ත නියමිත වේලාවට ගැනීමට ප්‍රමාද වී පැය 12 කට වඩා ගතවී නැත්නම්, ප්‍රමාද වූ පෙත්ත වහාම ගතයුතු අතර, ඉතිරි පෙති සාමාන්‍ය පරිදි ගත යුතුවේ.

ඔබ හෝමෝන පෙත්ත නියමිත වේලාවට ගැනීමට ප්‍රමාද වී පැය 12 කට වඩා වැඩිනම්, අන්තිමට ප්‍රමාද වූ හෝමෝන පෙත්ත වහාම ගතයුතු අතර, එයට පෙර ප්‍රමාද වූ වෙනත් හෝමෝන පෙති ඇත්නම් ඉවත් කරන්න. කෙසේ වුවත්, ඉදිරි දින 7 ක කාලයක් සඳහා ලිංගිකව එක්වන සෑම වාරයකදීම කොන්ඩම් වැනි අමතර පවුල් සැලසුම් ක්‍රමයක් භාවිතා කල යුතුවේ. නැතහොත්, එම කාලය තුළ ගැබ් ගැනීමට ඇති අවදානම වැඩිය. මෙහිදී, ප්‍රමාද වූ අවසන් හෝමෝන පෙත්තට පසුව ඉතිරිව ඇති හෝමෝන පෙති ගණන ද ගණන් කල යුතුය. හෝමෝන පෙති 7 ක් හෝ එයට වැඩි ප්‍රමාණයක් ඉතිරිව ඇත්නම්, පෙති පැකට්ටුවේ ඉතිරි පෙති සියල්ල (යකඩ පෙති ඇත්නම්, ඒවා ද ඇතුළුව) සාමාන්‍ය පරිදි ගත යුතුවේ. හෝමෝන පෙති ඉතිරිව ඇත්තේ 7 කට වඩා අඩු සංඛ්‍යාවක් නම්, ඉතිරි හෝමෝන පෙති සාමාන්‍ය පරිදි ගන්න. ඊට පසු, එම පෙති පැකට්ටුවේ ඇති යකඩ පෙති නොගෙන, ඊළඟ දිනයේ සිට නව පෙති පැකට්ටුවක් සාමාන්‍ය පරිදි ආරම්භ කරන්න.

 

(ඡායාරූප අනුග්‍රහය: Monik Markus සහ ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංගමය)

 

සබැඳි ලිපි:

පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව හොඳින් දැනුවත් වෙමු!
මිශ්‍ර හෝමෝන අලවනය ගැන දැනගනිමු.
ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති පවුල් සැලසුම් ක්‍රම
ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති ගිලින පවුල් සැලසුම් පෙති
පවුල් සැලසුම් සඳහා ප්‍රොජෙස්ටොජන් නික්ෂේපණ
හෝමෝන කරල් තැන්පතුව ගැන දැනගනිමු.
අන්තර් ගර්භාෂිත තැන්පතුව හෙවත් ලූපය ගැන දැනගනිමු.
පිරිමි කොන්ඩමය, පවුල් සැලසුම් කිරීම සඳහා භාවිතා කිරීම
හදිසි පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව දැනගනිමු.
ස්ත්‍රී වන්ධ්‍යාකරණය (එල්. ආර්. ටී. සැත්කම) ගැන දැනගනිමු.

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "මිශ්‍ර ගිලින පවුල් සැලසුම් පෙති භාවිතා කරන්නේ කොහොමද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*