පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව හොඳින් දැනුවත් වෙමු!

පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව හොඳින් දැනුවත් වෙමු!

ගැබ් ගැනීම වැළැක්වීම හෝ ප්‍රමාද කිරීම සඳහා විශේෂිත ක්‍රමයක් හෝ උපකරණයක් භාවිතා කිරීම පවුල් සැලසුම් කිරීම ලෙස හැඳින්වේ. පවුල් සැලසුම් කිරීම, මානවයා විසින් වසර දහස් ගණනක් තිස්සේ භාවිතා කරන ලද ක්‍රමවේදයකි. ඇතැම් අය එකවර පවුල් සැලසුම් ක්‍රම එකකට වඩා භාවිතා කරන අවස්ථාවන්ද දක්නට ලැබේ. උදාහරණයක් ලෙස, පවුල් සැලසුම් පෙති භාවිතා කරන අතරතුර, කොන්ඩම් භාවිතා කිරීම දැක්විය හැක. පවුල් සැලසුම් ක්‍රම වලින් සමහරක්, සමාජයේ වෙසෙන ඕනෑම අයෙකුට පහසුවෙන් භාවිතා කලහැකි අතර, ඇතැම් ඒවා භාවිතා කල හැක්කේ වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත පමණි. කෙසේ වෙතත්, සමාජයේ වෙසෙන සාඵල්‍ය (Fertile) පුද්ගලයන් අතරින් සැලකිය යුතු ප්‍රමාණයකට, පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව එතරම් දැනුමක් නොමැත. එය ඇතැම් පවුල් තුළ ගැටළු ඇතිකිරීමට මග පාදන කාරණයක් වී පවතී. එමනිසා, පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව දැනුවත් කිරීම සහ දැනුවත්වීම කාලීන අවශ්‍යතාවයක් වී ඇත.

 

දර්ශීය පවුල් සැලසුම් ක්‍රමයක තිබිය යුතු ලක්ෂණ මොනවාද?

  • එය අතුරු ආබාධ රහිත විය යුතුය.
  • එය මිළ අධික නොවිය යුතුය.
  • එය ඉතා ඵලදායී විය යුතුය.
  • එය භාවිතා කිරීම නැවැත්වූ වහාම සාඵල්‍යතාවය (Fertility) ඇතිවිය යුතුය.
  • එය පහසුවෙන් ලබාගත හැකි විය යුතුය.
  • එය ලිංගිකව එක්වීමට බාධාවක් නොවිය යුතුය.
  • එය සියළු ආගම් සහ සංස්කෘතීන් වලට අයත් පුද්ගලයන්ට බාධාවකින් තොරව භාවිතා කලහැකි විය යුතුය.
  • එය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරියෙක් හෝ සේවකයෙක් නොවන ඕනෑම අයෙකුට පහසුවෙන් භාවිතා කලහැකි විය යුතුය.
  • එය පහසුවෙන් බෙදාහැරිය හැකි විය යුතුය.

 

පවුල් සැලසුම් ක්‍රම වර්ග කරන්නේ කෙසේද?

පවුල් සැලසුම් ක්‍රම ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදනු ලැබේ. ඒවා නම්,

  • නවීන පවුල් සැලසුම් ක්‍රම (Modern contraceptive methods)
  • ස්වාභාවික පවුල් සැලසුම් ක්‍රම (Natural contraceptive methods)
  • සම්ප්‍රදායික පවුල් සැලසුම් ක්‍රම (Traditional contraceptive methods)

 

සම්ප්‍රදායික පවුල් සැලසුම් ක්‍රම

සම්ප්‍රදායික පවුල් සැලසුම් ක්‍රම ලෙස බඹසර රැකීම (Abstinence) සහ ධාතු බැහැරලීම (Coitus interruptus or withdrawal) හැඳින්විය හැක. බඹසර රැකීම යනු ලිංගිකව එක්වීමෙන් වැළකීම වේ. ධාතු බැහැරලීම යනු ලිංගිකව එක්වූ විට, ශුක්‍රාණු පිටවීමට පෙර පුරුෂ ලිංගය යෝනි මාර්ගයෙන් බැහැරට ගෙන, පිටතට ශුක්‍රාණු පිටකිරීමයි. නමුත්, සම්ප්‍රදායික පවුල් සැලසුම් ක්‍රම අසාර්ථක වීමට වැඩි ඉඩක් ඇති බැවින් භාවිතා කිරීම සඳහා නිර්දේශ කිරීමට අපහසුය.

 

ස්වාභාවික පවුල් සැලසුම් ක්‍රම

ස්වාභාවික පවුල් සැලසුම් ක්‍රම ප්‍රධාන වශයෙන් හතරකි. ඒවා නම්,

  • සම්මත දින ක්‍රමය
  • මූලස්ථ ශරීර උෂ්ණත්ව ක්‍රමය
  • ගැබ්ගෙල ශ්ලේශ්මල ක්‍රමය
  • නිමිති උෂ්ණත්ව ක්‍රමය

ස්වාභාවික පවුල් සැලසුම් ක්‍රමයන්ද, නවීන පවුල් සැලසුම් ක්‍රම මෙන් සාර්ථක නොවන බැවින් භාවිතා කිරීම සඳහා නිර්දේශ කිරීමට අපහසු වේ.

 

නවීන පවුල් සැලසුම් ක්‍රම

නවීන පවුල් සැලසුම් ක්‍රම වල, ස්වාභාවික සහ සම්ප්‍රදායික පවුල් සැලසුම් ක්‍රම වලට සාපේක්ෂව වැඩි සාර්ථකත්වයක් දක්නට ඇති අතර, දර්ශීය පවුල් සැලසුම් ක්‍රමයක ඇති ලක්ෂණ වලට බොහොමයක් ආසන්න ලක්ෂණ පවතී. නවීන පවුල් සැලසුම් ක්‍රම පහත අයුරින් බෙදා වෙන්කල හැක.

 

විවිධ පවුල් සැලසුම් ක්‍රම වල සඵලබව

යම් පවුල් සැලසුම් ක්‍රමයක් භාවිතා කරන සාඵල්‍ය කාන්තාවන් 100 ක් සැලකූ විට, එම පවුල් සැලසුම් ක්‍රමය භාවිතාකරන වසරක කාලයක් තුළ, ඔවුන් අතරින් ගැබ් ගැනීමට ඉඩ ඇති කාන්තාවන් සංඛ්‍යාව පහත දක්වා ඇත.

  • මිශ්‍ර ගිලින පවුල් සැලසුම් පෙති: 0.1-1
  • ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති ගිලින පෙති: 1-3
  • අන්තර් ගර්භාෂිත තැන්පතුව හෙවත් ලූපය: 1-2
  • හෝමෝන නිදහස් කරන අන්තර් ගර්භාෂිත පද්ධතිය: 0.5
  • පුරුෂ කොන්ඩමය: 2-5
  • කාන්තා ප්‍රාචීරය: 1-15
  • ප්‍රොජෙස්ටොජන් නික්ෂේපණ: 0.1-2
  • හෝමෝන කරල් තැන්පතුව: 0
  • කාන්තා වන්ධ්‍යාකරණය: 0.13
  • පුරුෂ වන්ධ්‍යාකරණය: 0.02

 

 

(ඡායාරූප අනුග්‍රහය: Harsha K R)

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව හොඳින් දැනුවත් වෙමු!" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*