ඔබේ සෞඛ්‍යය වැඩිදියුණු කරගැනීමට ඉඟි 20 ක්

ඔබේ සෞඛ්‍යය වැඩිදියුණු කරගැනීමට ඉඟි 20 ක්

මෙලොව ලැබිය හැකි උතුම්ම ලාභය සුවපත්බව හෙවත් සෞඛ්‍යය ලෙස හැඳින්විය හැක. සුවැති දිවියක් ගතකිරීමට අකමැති අයෙක් මිහිතලය මත සිටීනම්, එය පුදුමයක් වනු නොඅනුමානය. මක්නිසාද, සැවොම සෞඛ්‍ය සම්පන්නව තම ජීවිතය ගතකිරීමට කැමතිය. නමුත්, අපගේ ජීවිතයේ විවිධ කාල වලදී, අපගේ සෞඛ්‍යයට යම් යම් තර්ජණ ඇතිවීම වැළැක්විය නොහැකි වේ. කෙසේවුවත්, යහපත් සෞඛ්‍ය පුරුදු ඇතිකර ගැනීම හා පවත්වා ගැනීම, සහ අයහපත් පුරුදු වලින් වැළකීම මගින්, සුවැති දිවියක් ගතකිරීමට අපට හැකියාව ලැබේ. ඔබේ සෞඛ්‍යය වැඩිදියුණු කරගැනීමට ඉඟි 20 ක් මෙම ලිපිය මගින් පැහැදිළි කෙරේ.

  • කල්තබා ගත් හෝ පරණ වූ ආහාර වෙනුවට, හැකි සෑමවිටම අලුත් සහ නැවුම් ආහාර තෝරාගන්න.
  • වැඩිපුර කොළ පැහැ එළවළු, පළතුරු, කුරුට්ට සහිත ධාන්‍ය සහ කුරුට්ට සහිත ධාන්‍ය වලින් සෑදූ ආහාර තෝරාගන්න.
  • ප්‍රෝටීන් ආහාරයට ගැනීමේදී, මාළු, ඉස්සන්, දැල්ලන්, පොකිරිස්සන්, බිත්තර සුදුමදය, කරවල, කජු, රටකජු, කඩල, පරිප්පු, මුං ඇට, කව්පි, සම ඉවත් කරන ලද කුකුලු මස්, දඹල, සෝයා බොංචි වැනි තෙල් අඩු ප්‍රෝටීන් වර්ග (Lean proteins) ආහාරයට ගන්න.
  • සරළ සීනි අඩංගු ආහාර සහ පානයන් ආහාරයට ගැනීම සීමාකිරීම හෝ ඒවායින් වැළකීම කලයුතුය. වැඩිහිටියෙකුට දිනකට ආහාර මගින් හෝ සෘජුවම පරිභෝජනය කල හැක්කේ කපාපු සීනි තේ හැඳි 6 ක් දක්වා පමණි.
  • වැඩිපුර ලුණු භාවිතයෙන් වළකින්න. සැමවිටම ලුණු අඩු (Low-salt) ආහාර වර්ග තෝරාගන්න. වැඩිහිටියෙකුට දිනකට ආහාරයට ගැනීමට නිර්දේශිත ලුණු ප්‍රමාණය කපාපු තේ හැඳි එකක් හෙවත් ග්‍රෑම් 5 කි.
  • ක්ෂණික ආහාර (Fast foods) සහ සකස්කරන ලද ආහාර (Processed foods) පරිභෝජනයෙන් වළකින්න.
  • ඔබ මිළදී ගන්නා ආහාර වල දවටන හෙවත් ලේබල් කියවීමට පුරුද්දක් ඇතිකරගන්න. එවිට, ආහාර වල අඩංගු පෝෂ්‍ය පදාර්ථයන් සහ අනෙකුත් සංඝටක ප්‍රමාණයන් පිළිබඳ අදහසක් ඔබට ලැබෙනු ඇත.
  • පමණ ඉක්මවා ආහාර ගැනීමෙන් වළකින්න.
  • ඔබගේ ශරීරයේ 60% ක් පමණ ඇත්තේ ජලයයි. ශරීරයේ ජලය නියමිත ප්‍රමාණයට පැවතීම, පරිවෘත්තීය ප්‍රතික්‍රියා මනාව සිදුවීමට මෙන්ම, ශරීරයේ ඇති බහිස්‍රාවී ද්‍රව්‍යයන් සහ විෂ රසායන ද්‍රව්‍යයන් ශරීරයෙන් ඉවත්කිරීමට ද, වැදගත් වේ. එමෙන්ම, ජලය පානය කිරීමෙන් ශරීරය සිසිල් වීමද සිදුවේ. එමනිසා, ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන්න.
  • සැමවිටම පවුලේ සාමාජිකයන් සහ මිතුරන් සමග සතුටින් කාලය ගතකරන්න.
  • හැකි සෑමවිටම සමාජශීලීව කටයුතු කරන්න. සමාජයෙන් කොන්වී කාලය ගතකිරීමෙන් වළකින්න.
  • ප්‍රමාණවත් පරිදි විවේක ගන්න සහ නිදාගන්න.
  • නව වසරක් එළඹෙන විට, එම වසරේ කලයුතු දේවල් සැලසුම් කරගන්න. ඒ සඳහා කාලසටහනක් සකස් කරගන්න.
  • සැමවිටම ඔබගේ ඉලක්කයන් (ඇතැම්විට අපහසු ඒවා වුවත්) ප්‍රායෝගිකව ලඟාවිය හැකි ඒවා විය යුතුය.
  • ඔබට යම් සෞඛ්‍ය ගැටළුවක් ඇත්නම්, ප්‍රමාද නොවී සහ පසුබට නොවී වෛද්‍ය ප්‍රතිකාර වලට හෝ වෛද්‍ය උපදෙස් ලබාගැනීමට යොමුවන්න.
  • අනවශ්‍ය පරීක්ෂණ කිරීමෙන් වළකින්න.
  • දුම්පානය කිරීම, මත්පැන් පානය කිරීම, සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකින්න.
  • දිනපතා විනාඩි 30-45 ක් පමණ ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදෙන්න.
  • පමණ ඉක්මවා ශාරීරික ක්‍රියාකාරකම් කිරීමෙන් වළකින්න.
  • හැකි සෑමවිටම ඇවිදින්න. විදුලි සෝපානය වෙනුවට පියගැටපෙළ භාවිතා කිරීමට හුරුවන්න.

 

(ඡායාරූප අනුග්‍රහය: Global Panorama)

 

සබැඳි ලිපි:

බොහෝ කල් ජීවත්වෙන්න ඉඟි කිහිපයක්…
සරල ලෙස ජීවත්වන්නේ කෙසේද?
සුවැති දිවියකට අනුගමනය කලයුතු හොඳ පුරුදු 8 ක්

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

4 Comments on "ඔබේ සෞඛ්‍යය වැඩිදියුණු කරගැනීමට ඉඟි 20 ක්"

  1. හුගාක් වටිනා ලිපියක්. අද ගොඩ දෙනෙක් මේ කියන විදියට ආහාර ක්‍රම හා සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්නෙ නැහැ. ඒකට ගොඩක් වේලාවට කාර්‍යබහුලතාව වගේ දේවල් බලපානවා

    • වෛද්‍ය නාලක ප්‍රියන්ත | July 26, 2016 at 11:48 am | Reply

      ඔබගේ අදහස් දැක්වීමට බොහොම ස්තූතියි. සෞඛ්‍ය සම්පන්නව ජීවත්වීමට ආහාර ගැනීමේ රටාව සහ ජීවන රටාව වෙනස්කර ගැනීමෙන්, දැනට මාසිකව වියදම් වෙන මුදලෙන් සැලකියයුතු ප්‍රමාණයක් ඉතිරිකර ගැනීමටත් හැකියාව ලැබෙන බව බොහොමයක් අය දන්නේ නැහැ. ඒ වගේම, ශාරීරික ක්‍රියාකාරකම් කිරීමට වැඩිහිටියෙකු වැයකල යුත්තේ දවසකට විනාඩි 30 යි. ඒ වගේ විනාඩි 30 ඒවා 48 ක් දවසකට තියෙනවා. ඒ 48 න් එකයි ව්‍යායාම වලට වෙන්කරන්න තියෙන්නේ. මදක් සිතා බලන්න, අපි දවසකට කොපමණ කාලයක් එතරම් ඵලදායී නොවන දේවල් වලට වැයකරනවාද කියලා. වර්තමානයේදී, සුවැති දිවියකට කැපකරන කාලය, අනාගතයේදී සුවෙන් සිටීමට කරන ආයෝජනයක්.

  2. කිවයුතු එකම කරැණක් පමණි…ඔබගේ සේවය විශිෂ්ඨයි…තෙරැවන් සරණයි ඔබට

    • වෛද්‍ය නාලක ප්‍රියන්ත | December 24, 2016 at 1:02 pm | Reply

      ඔබේ අදහස් දැක්වීමට බෙහෙවින්ම ස්තූතියි!

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*