ඇන්ජයිනා නැමැති පපුවේ රිදුම ඇතිවිට ව්‍යායාම කල යුත්තේ කෙසේද?

ඇන්ජයිනා නැමැති පපුවේ රිදුම සහ ශාරීරික ක්‍රියාකාරකම්

ඇන්ජයිනා (Angina) නැමැති පපුවේ රිදුම, හදවත් රෝග වලදී ඇතිවන රෝග ලක්ෂණයකි. එය පපුවේ මැද ප්‍රදේශයේ ඇතිවන තද ස්වභාවයක්, තද කිරීමක්, හෝ බර ස්වභාවයක් වැනි වේදනාවක් ලෙස හටගනී. එම වේදනාව බාහු වල ඇතුළු පැත්තට සහ/හෝ හකු ප්‍රදේශය හෝ ගෙල දෙසට පැතිරිය හැක. ඇන්ජයිනා තත්ත්වය, මද වේදනාවක සිට දැඩි වේදනාවක් දක්වා වෙනස් වේ. දැඩි වේදනාවක් ඇතිවුවහොත්, ඒ සමග බිය, අධික දහඩිය දැමීම, සහ හුස්ම ගැනීමේ අපහසුව ද ඇතිවනු දැකිය හැක. ඇන්ජයිනා නැමැති පපුවේ රිදුම ඇතිවිට ව්‍යායාම කල යුත්තේ ඇයි සහ කෙසේද යන්න මෙම ලිපියෙන් පැහැදිලි කෙරේ.

සාමාන්‍යයෙන්, ඇන්ජයිනා තත්ත්වය මතුවන්නේ කායිකව වෙහෙසීමකදී හෝ මානසිකව උද්වේගයක් ඇතිවූ අවස්ථාවකදීය. එම වේදනාව මදක් විවේක ගත්විට හෝ දිව යට GTN (Glyceryl trinitrate) පෙත්ත තබාගත් විට පහව යයි. ඇන්ජයිනා තත්ත්වය ඇතිවන්නේ, හෘදය වස්තුවේ මාංශ පේශි (Myocardium or heart muscle) වලට රුධිරය සපයන කිරීටක ධමනියක (Coronary artery) හෝ එහි ශාඛාවක බිත්තියේ කොලෙස්ටරෝල් තැන්පත් වී එම රුධිර වාහිනිය සිහින් වීමෙනි. මෙම ක්‍රියාවලිය Atherosclerosis ලෙස හැඳින්වේ. හෘදය වස්තුවේ කිරීටක ධමනි දෙකක් ඇත. එම කිරීටක ධමනි දෙකෙහි ශාඛා වලින් හෘදය වස්තුවේ මාංශ පේශි වලට රුධිරය සපයයි. ධමනි බිත්තියේ කොලෙස්ටරෝල් තැන්පත් වීමෙන්, කිරීටක ධමනියක් හෝ එහි ශාඛා සිහින් වී අවහිර වීමට පුලුවන. එමගින්, අදාළ ධමනිය තුළ රුධිර සංසරණය වීම අඩුවේ. විවේකයෙන් සිටින විට, මෙම රුධිර සංසරණය අඩුවීම, හෘදයට එතරම් ගැටළුකාරී නොවීමට පුලුවන. නමුත්, කායිකව වෙහෙසෙන විට හෝ මානසික උද්වේගයක් ඇතිවූ විට, හෘද ස්පන්දනය සහ හෘදයේ ක්‍රියාකාරීත්වය වැඩිවේ. එවිට, හෘදය වස්තුවේ මාංශ පේශියට වැඩිපුර ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය වේ. කෙසේ වුවත්, කිරීටක ධමනි වල අවහිරතාවය නිසා හෘදය වස්තුවේ සමහර ප්‍රදේශ වලට වැඩිපුර රුධිරය සැපයීමට නොහැකි වේ. එවිට, ඇන්ජයිනා නැමැති පපුවේ රිදුම හටගනී.

ඔබ ශාරීරිකව වඩාත් ක්‍රියාකාරී නම්, ඇන්ජයිනා තත්ත්වය ක්‍රමයෙන් සමනය වීමට ඉඩ ඇත. නමුත්, එක් එක් පුද්ගලයා ශාරීරිකව වෙනස් වන අතර, ඇන්ජයිනා තත්ත්වයෙහි තීව්‍රතාවය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. එමනිසා, ඇන්ජයිනා තත්ත්වය ඇති එක් එක් පුද්ගලයන්, ඔහුට හෝ ඇයට විශේෂිත ව්‍යායාම සැලසුමක් (Workout plan) අනුගමනය කල යුතුය. ඔබ ඇන්ජයිනා තත්ත්වය ඇති අයෙක් නම්, ඕනෑම ව්‍යායාමයක් ආරම්භ කිරීමට පෙර වෛද්‍යවරයෙකු සහ පළපුරුදු පුහුණුකරුවෙකු (Personal trainer) සමග සාකච්ඡා කර ඔවුන්ගේ නිර්දේශ අනුගමනය කල යුතුවේ.

ඇන්ජයිනා තත්ත්වයේ ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් ඇත. ඒ ස්ථායී ඇන්ජයිනා (Stable angina) තත්ත්වය සහ අස්ථායී ඇන්ජයිනා (Unstable angina) තත්ත්වය වශයෙනි. ස්ථායී ඇන්ජයිනා තත්ත්වයේදී, කායිකව වෙහෙසෙන විට හෝ මානසික උද්වේගයක් ඇතිවූ විට පපුවේ වේදනාව ඇතිවී, විවේක ගත්විට වේදනාව නැතිවී යයි. අස්ථායී ඇන්ජයිනා තත්ත්වයේදී, පපුවේ වේදනාව විවේකයෙන් සිටින විටදී පවා හටගනී. අස්ථායී ඇන්ජයිනා තත්ත්වය, ස්ථායී ඇන්ජයිනා තත්ත්වයට වඩා දරුණු වන අතර, එහි ඉදිරියට කුමක් සිදුවේදැයි අනුමාන කිරීමට අපහසුය. අස්ථායී ඇන්ජයිනා තත්ත්වය, නුදුරු අනාගතයේදී ඇතිවන මාරාන්තික හෘදයාබාධයක් පිළිබඳ අනතුරු හැඟවීමක් වීමට බොහෝවිට ඉඩ ඇත.

ඇන්ජයිනා තත්ත්වය ඇති පුද්ගලයන් සඳහා වඩාත්ම සුදුසු ව්‍යායාම වර්ගය බයිසිකල් පැදීම හෝ ඇවිදීම වැනි ස්වායු ව්‍යායාම (Aerobic exercises) වේ. එවැනි ව්‍යායාම මගින් සිහින් වූ කිරීටක ධමනි ඔස්සේ වැඩි රුධිරය ප්‍රමාණයක් සංසරණය වීමට ඉඩ සැලසේ. මෙහිදී, ව්‍යායාම කිරීමට පෙර ක්‍රමාණුකූලව ශරීරය උණුසුම් කරගැනීම (Warm-up) සහ ව්‍යායාම කිරීමෙන් අනතුරුව ක්‍රමයෙන් ශරීරය සිසිල් කරගැනීම (Cool-down) අත්‍යාවශ්‍ය වේ. එමගින්, ව්‍යායාම කරන අතරතුර සක්‍රීය වන පටක වලට, කාර්යක්ෂමව රුධිරය සැපයීම සඳහා හෘදයට ක්‍රමයෙන් හැඩගැසීමට (Modification) අවස්ථාව ලැබේ. ඔබගේ ව්‍යායාම සැලසුම අඩු තීව්‍රතාවයකින් යුතු ව්‍යායාම (Low-intensity exercises) වලින් සමන්විත කෙටි සැසි (Short sessions) වලින් ආරම්භ කල යුතුය. එනම්, මුලින් විනාඩි 15 කින් පමණ ආරම්භ කරන්න. පසුව, ව්‍යායාම සැලසුමේ තීව්‍රතාවය (Intensity) සහ කාලය (Duration) ක්‍රමයෙන් වැඩිකිරීම කලහැක.

මධ්‍යම හෝ අධි තීව්‍රතාවයකින් යුතු ව්‍යායාම (Moderate- or high-intensity exercises) වලින් ඔබේ ව්‍යායාම සැලසුම ආරම්භ කලහොත්, ඇන්ජයිනා තත්ත්වය සමනය නොවේ. හොඳම ප්‍රතිඵල අත්කරගැනීම සඳහා, ඇන්ජයිනා තත්ත්වය ඇති පුද්ගලයන් ව්‍යායාම වල තීව්‍රතාවය සහ කාලය ක්‍රමයෙන් වැඩිකල යුතුය. නැතහොත්, වැඩි තීව්‍රතාවයකින් යුතු ව්‍යායාම වලින් ආරම්භ කලහොත්, හෘදයාබාධයක් වැළඳීමට ඇති අවදානම වැඩිවිය හැක.

අධික ලෙස සීතල හෝ අධික ලෙස උණුසුම් පරිසර තත්ත්ව යටතේ ව්‍යායාම කිරීමෙන් වැළකීම ද වඩාත් උචිතය. මක්නිසාද, එය ඇන්ජයිනා තත්ත්වය මගින් ඇතිවිය හැකි දරුණු සංකූලතා හටගැනීමට හේතුවක් විය හැක. එමනිසා, ව්‍යායාම වැඩසටහන කලයුත්තේ මද උෂ්ණත්වයක් පරිසරයේ ඇතිවිටය.

 

(ඡායාරූප අනුග්‍රහය: USAG- Humphreys)

 

සබැඳි ලිපි:

ඇන්ජයිනා (Angina) නැමැති පපුවේ රිදුම වැදගත් වන්නේ ඇයි?

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ඇන්ජයිනා නැමැති පපුවේ රිදුම ඇතිවිට ව්‍යායාම කල යුත්තේ කෙසේද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*