පිහිනීම නිසා ඔබේ සෞඛ්‍යයට ඇතිවන වාසි

පිහිනීම නිසා ඔබේ සෞඛ්‍යයට ඇතිවන වාසි

පිහිනීම ශ්‍රී ලංකා වාසී බොහෝ දෙනෙක් නොදන්නා දෙයක් වුවත්, මෑත කාලයේදී එය ජනප්‍රිය වෙමින් පවතී. බොහොමයක් අය පිහිනීමට යොමු නොවන්නේ ජලයට ඇති බිය, දෙමව්පියන් අවසර නොදීම, අසනීප වේ යැයි ඇති බිය ආදී කාරණා නිසාවෙනි. නමුත්, නිතිපතා පිහිනීම මගින් සෞඛ්‍යයට ඇතිවන වාසි බොහොමයක් පවතී. වාසනාවකට මෙන්, පිහිනීමට කුඩා දරුවන් යොමුවීම සහ යොමුකිරීම ක්‍රමයෙන් වැඩිවීම දක්නට ලැබේ. පිහිනීම සඳහා වයස් බේදයක් නොපවතී. කුඩා, තරුණ, මැදිවිය, සහ මහළු යන වයස් කාණ්ඩ වල ඕනෑම අයෙකුට පිහිනීම සඳහා යොමුවීමට පුළුවනි.

පිහිනීම යනු ඉතා හොඳ ශාරීරික ක්‍රියාකාරකමක්. මක්නිසාද, එහිදී ඔබට ජලයේ ඇති ප්‍රතිරෝධයට එරෙහිව ශරීරය චලනය කරන්න සිදුවේ. ගොඩබිම ශාරීරික ක්‍රියාකාරකම් කරනවාට වඩා 12%-14% ක වැඩි ප්‍රතිරෝධයක් ජලය තුළ ඇත. එසේනම්, පිහිනීමෙන් අපට ලැබෙන සෞඛ්‍ය වාසි මොනවාදැයි මදක් විමසා බලමු.

නිතිපතා පිහිනීමෙන්,

  • ඔබේ ශරීරයේ දරාගැනීමේ හැකියාව (Endurance) වැඩිවේ.
  • මාංශ පේශි වල තානය (Tone) සහ ශක්තිමත්භාවය (Strength) වැඩිවේ.
  • හෘදය වස්තුව ශක්තිමත් වන අතර, නිරෝගී ද වේ. ශරීරයේ රුධිර සංසරණය ද වැඩිදියුණු වේ.
  • පෙනහළු වල ධාරිතාවය වැඩිවන අතර, ඒවා නිරෝගී වේ. මක්නිසාද, පිහිනීම ඉතා හොඳ ශ්වසන ව්‍යායාමයක් වේ.
  • ශරීරයේ බර අඩුකරගැනීමට සහ සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීමට හැකියාව ලැබේ. ශරීරයේ හැඩය පවත්වා ගැනීමටත් පිහිනීම ඉවහල් වේ. කිලෝග්‍රෑම් 60 ක් බර පුද්ගලයෙක් විනාඩි 30 ක් පමණ ඉදිරියට සෙමෙන් පිහිනීමෙන් කැලරි 240 ක් පමණ දහනය වේ. එම පුද්ගලයා බයිසිකල් පදිනවා නම්, එම කැලරි ප්‍රමාණයම දහනය වීම සඳහා විනාඩි 30 කාලය තුළ කිලෝමීටර් 10-11 ක් පමණ දුරක් බයිසිකල් පැදීමට සිදුවේ.
  • හෘදයාබාධය, අංශභාගය, දියවැඩියාව, අධික කොලෙස්ටරෝල් මට්ටම, අධික රුධිර පීඩනය වැනි බෝනොවන රෝග වැළඳීමට ඇති අවදානම අඩුවේ.
  • ශරීරයේ මාංශ පේශි කාණ්ඩ සියල්ලටම පාහේ එකවර ව්‍යායාම ලැබේ.
  • ශරීරය හොඳින් ලිහිල් (Relax) වේ.
  • මානසික ආතතිය ක්‍රමයෙන් අඩුවේ. ධනාත්මක චින්තනය, ඉවසීම වැනි ගුණාංග වැඩිදියුණු වේ.
  • ශරීරයේ චලන හොඳින් සමායෝජනය (Coordination) වන අතර, සමබරතාවය වැඩිදියුණු වී, ශරීරයේ ඉරියවු සෞඛ්‍ය සම්පන්න වේ.
  • ශරීරයේ නම්‍යශීලීතාවය (Flexibility) වැඩිදියුණු වේ.
  • මාංශ පේශි, පේශි කණ්ඩරා (Tendons), සම්බන්ධක පටක (Connective tissues), අස්ථි බන්ධනි (Ligaments), සහ සන්ධි වලට සිදුවන ඇතැම් අනතුරු සහ රෝග සමනය වීම සිදුවේ.
  • පිහිනන විට, ශරීරයේ ක්ෂණික චලනයන් සිදුකිරීමට අපහසු බැවින්, මාංශ පේශි හෝ සන්ධි වලට අනතුරු වීමට ඇති අවදානම අඩුය.
  • උණුසුම් දින වලදී, ශරීරයේ උණුසුම අඩු කරගැනීමට හැකියාව ලැබේ. පිහිනීම නිසා අධික තාපයෙන් ශරීරයට වන හානි සිදුනොවේ.
  • මිතුරන් සහ පවුලේ සාමාජිකයන් සමග විනෝද වීමට අවස්ථාව ලැබේ. නව මිතුරන් හඳුනාගැනීමට ද අවස්ථාව ලැබේ.
  • අකලට වයස්ගත ස්වභාවයක් ඇතිවීම වළකී.
  • ඇතැම් හදිසි අවස්ථා වලදී, දිවි ගලවා ගැනීමට හැකියාව ලැබේ. ශ්‍රී ලංකාව තුළ, පිහිනීමට නොදන්නාකම හේතුවෙන්, වසරකට සැලකිය යුතු සංඛ්‍යාවක් ජීවිත අහිමි වේ. එමෙන්ම, දිවීම හෝ ඇවිදීම කරන්නන්ට වඩා, නිතිපතා පිහිනීම කරන අයගේ අඩු වයසෙන් මරණයට පත්වීමේ අවදානම 50% කින් අඩුබව පර්යේෂණ මගින් සොයාගෙන ඇත.
  • ශරීරයේ බර 90% ක් පමණ දරාගැනීමට ජලයට හැකියාව පවතී. එමනිසා, තරබාරු අයට, ශාරීරික දුබලතා ඇති අයට, සහ ඇතැම් අනතුරු සිදුවූ අයට ශරීරයට අනවශ්‍ය පීඩනයක් හෝ ඇදීමක් ඇති නොකරමින් ශාරීරික ක්‍රියාකාරකම් වල නිරත වීමට පිහිනීම නිසා හැකියාව ලැබේ. එමෙන්ම, සන්ධි වල ආබාධ ඇති අයට ද, සන්ධි මත අනවශ්‍ය පීඩනයක් ඇති නොවී පිහිනීමට හැකියාව ලැබේ.

ඔබ පිහිනීමට නොදත් හෝ පිහිනීම ක්‍රමවත්ව ඉගෙන නොගත් අයෙක් නම්, පුහුණුකරුවෙක් හෝ ජීවිතාරක්ෂකයෙකු සිටින ස්ථානයක පමණක් පිහිනීමට කටයුතු කිරීම උචිත වේ. සැමවිටම, පිහිනීම සඳහා ආරක්ෂිත ස්ථානයක් තෝරාගන්න. පිහිනීම ආරම්භ කිරීමට පෙර, ශරීරය උණුසුම් කරන ව්‍යායාම (Warm up exercises) සහ ඇදීමේ ව්‍යායාම (Stretching exercises) කල යුතුවේ. පිහිනීම කරන අතරතුර ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන්න. ඔබගේ හැකියාව පිළිබඳ තක්සේරුවක් ඔබට තිබිය යුතු අතර, පමණ ඉක්මවා පිහිනීමට උත්සාහ නොකරන්න.

 

(ඡායාරූප අනුග්‍රහය: Isle of Man Government)

 

සබැඳි ලිපි:

ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම කිරීම වැදගත් වන්නේ ඇයි?
දිනපතා ව්‍යායාම කිරීම වැදගත් වන්නේ ඇයි?
සෞඛ්‍ය සම්පන්නව ව්‍යායාම කරන්නේ කොහොමද?

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "පිහිනීම නිසා ඔබේ සෞඛ්‍යයට ඇතිවන වාසි" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*