සත්ත්වමය ආහාර නොගන්නා අය ප්‍රෝටීන් ගත යුත්තේ කෙසේද?

සත්ත්වමය ආහාර නොගන්නා අය ප්‍රෝටීන් ගන්නේ කොහොමද?

ඇතැම් අය මස්, මාළු, කිරි, සහ බිත්තර වැනි සත්ත්වමය ආහාර කිසිවක් අනුභව කරන්නේ නැහැ. සමහරවිට, එයට හේතුව වන්නේ සමහර ආගමික අදහස් සහ විශ්වාස පැවතීමයි. ඇතැම්විට, සත්ත්වමය ආහාර ප්‍රිය නොකිරීම නිසාත් මෙය සිදුවෙනවා. කෙසේ වුවත්, සත්ත්වමය ආහාර නොගැනීම නිසා, වැඩි ගුණාත්මක බවකින් යුතු ප්‍රෝටීන ලබාගැනීමට ඇති පහසු මගක් මගහැරී යනවා.මෙම ලිපියෙහි අරමුණ ආගමික විශ්වාස හෝ එක් එක් අයගේ රුචිකත්වය අභියෝගයට ලක්කිරීම නොවේ. සත්ත්වමය ආහාර වලින් තොරව ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරාගන්නේ කොහොමද යන්න සත්ත්වමය ආහාර කිසිවක් නොගන්නා අයටත් ගැටළුවක් වෙලා ඇති. ඇත්තටම, සත්ත්වමය ආහාර නොගන්නා අය ප්‍රෝටීන් ගන්නේ කොහොමද?

සාමාන්‍ය දිවි පෙවෙතක් ගතකරන, සෞඛ්‍ය සම්පන්න අයෙකුට ඔහුගේ හෝ ඇයගේ බර කිලෝග්‍රෑමයකට ප්‍රෝටීන් ග්‍රෑම් 0.8-1 ක් පමණ දිනකට අවශ්‍ය වෙනවා. උදාහරණයක් වශයෙන්, ඔබේ බර කිලෝග්‍රෑම් 60 ක් නම්, දවසකට ප්‍රෝටීන් ග්‍රෑම් 48-60 ක් පමණ ආහාරයට ගත යුතුයි.

ශ්‍රී ලංකා වාසී බොහෝ අයට ප්‍රෝටීන් සැලකියයුතු ප්‍රමාණයක්, එනම් ආසන්න වශයෙන් දෛනික ප්‍රෝටීන් අවශ්‍යතාවයෙන් 50% ක් පමණ ලැබෙන්නේ බත් සහ වෙනත් ධාන්‍ය වලින් කියා පැවසුවහොත්, ඔබ පුදුමයට පත්වේවි. කුරුට්ට සහිත සහල් සහ තම්බා කොටන ලද සහල් වල, පාහින ලද සහල් වලට වඩා ප්‍රෝටීන් අඩංගු වෙනවා. සාමාන්‍යයෙන්, සහල් ඇතුළු අනෙකුත් ධාන්‍ය වල ප්‍රෝටීන් අඩංගු වන්නේ 6-12% ක ප්‍රමාණයක්. නමුත්, බත් සමග මුංඇට, කඩල, කව්පි, බෝංචි ඇට ආදිය කලවම් කර ආහාරයට ගැනීමෙන්, ශාඛමය ආහාර වේලකට වැඩි ගුණාත්මක බවකින් යුතු ප්‍රෝටීන් එකතු කරගන්න පුලුවනි. විශේෂත්වය වන්නේ, එහි අත්‍යාවශ්‍ය ඇමිනෝ අම්ල සියල්ලම පාහේ අඩංගු වීමයි. විශේෂයෙන්, පච්චපෙරුමාල් (සියපත් ඇල්), කුරුළුතුඩ, කළුහීනටි, සුවඳැල්, මඩතවාලු, කහවනු, බේත් හීනටි, බටපොලැල් වැනි දේශීය සහල් වල, වෙළඳපොලේ ඇති සාමාන්‍ය සහල් වලට වඩා ප්‍රෝටීන් බහුලව ඇතිබව පර්යේෂණ මගින් තහවුරු වී ඇත.

සත්ත්වමය ආහාර නොගන්නා අයට ප්‍රෝටීන් ලබාගැනීම සඳහා පහත සඳහන් ආහාර ද අනුභව කල හැකියි.

  • සෝයා බෝංචි සහ වෙනත් සෝයා ආහාර
  • කජු
  • රටකජු
  • පරිප්පු
  • කොට්ටං ඇට
  • වට්ටක්කා ඇට
  • කොමඩු ඇට
  • පරළු පාන්
  • මෑ කරල්

ඉහත ආහාර අතරින්, සොයා බෝංචි වල ප්‍රෝටීන් 12% කටත් වඩා පවතී. කජු වල ප්‍රෝටීන් 14.3% ක් ඇත. බදින ලද රටකජු වල ප්‍රෝටීන් 24% ක් පමණ ඇත.

මෙම ලිපිය, සත්ත්වමය ආහාර ගැනීමට ප්‍රිය නොකරන බොහෝ අයට යම් සහනයක් ගෙන දේවි. ඔබත් සත්ත්වමය ආහාර නොගන්නා අයෙක් නම්, ඉහත සඳහන් කරුණු උපයෝගී කරගෙන, ප්‍රෝටීන් බහුල සමබර ආහාර වේලක් සකස් කරගැනීම කල හැකියි. මක්නිසාද, ශ්‍රී ලංකාවේ ප්‍රෝටීන් ඌණතාවය ඇතිවීමට සමබර නොවන, ශාඛමය ආහාර වේලකට නැඹුරුවීමත් එක් හේතුවක්.

 

(ඡායාරූප අනුග්‍රහය: Alexander.Hüls)

 

සබැඳි ලිපි:

එළවලු සමග සුවැති දිවියක්…
සෞඛ්‍ය සම්පන්න දිවියකට එළවළු සහ පළතුරු
සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සඳහා ඉඟි කිහිපයක්

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "සත්ත්වමය ආහාර නොගන්නා අය ප්‍රෝටීන් ගත යුත්තේ කෙසේද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*