ඇන්ජයිනා (Angina) නැමැති පපුවේ රිදුම වැදගත් වන්නේ ඇයි?

ඇන්ජයිනා නැමැති පපුවේ රිදුම වැදගත් වන්නේ ඇයි?

අනාගතයේදී, මාරාන්තික හෘදයාබාධයක් වැළඳීමට අවදානමක් ඇතිබවට අනතුරු හැඟවීමේ සංඥාවක් හෙවත් රෝග ලක්ෂණයක් ලෙස ඇන්ජයිනා (Angina) නැමැති පපුවේ රිදුම හැඳින්විය හැක. පපුවේ මැද ප්‍රදේශයේ ඇතිවන තදවීමක්, බර ස්වභාවයක්, හෝ තද කිරීමක් ලෙස දැනෙන වේදනාවක් ඇන්ජයිනා ලෙස හැඳින්වේ. එම වේදනාව පපුව මැද ප්‍රදේශයේ සිට ගෙල, යටි හණුව, සහ/හෝ අත්වල ඉහළ බාහුවේ ඇතුළු පැත්තට පැතිරිය හැක. ඇන්ජයිනා නැමැති පපුවේ රිදුම, මද වේදනාවක සිට දැඩි වේදනාවක් දක්වා වෙනස් විය හැක. තද වේදනාවක් ඇතිවුවහොත්, බිය, හුස්ම ගැනීමේ අපහසුව, සහ දහඩිය දැමීම වැනි රෝග ලක්ෂණ ද ඇතිවිය හැක. මෙම ඇන්ජයිනා නැමැති පපුවේ වේදනාව, කායිකව වෙහෙසීම, කෝපය, මානසිකව උද්වේගයක් ඇතිවීම, ආහාර ගැනීම, සීතල, සහ සුලං සහිත පරිසරයක සිටීම වැනි සාධක නිසා හටගනී. මදක් විවේක ගැනීමෙන්, විනාඩි කිහිපයක් තුළ පපුවේ වේදනාව සමනය වීම විශේෂ ලක්ෂණයකි.

හෘදයේ මාංශ පේශි වලට රුධිරය, ඔක්සිජන්, සහ පෝෂ්‍ය පදාර්ථ සපයන කිරීටක ධමනි (Coronary arteries) නැමැති රුධිර වාහිනී වල ශාඛාවක් හෝ ශාඛා කිහිපයක් සිහින්වීම නිසා ඇන්ජයිනා තත්ත්වය ඇතිවේ. මෙහිදී, කිරීටක ධමනි බිත්තියේ ක්‍රමයෙන් කොලෙස්ටරෝල් තැන්පත් වී, ඵලක (Plaque) හටගනී. එවිට, රුධිර නාලය සිහින් වීමෙන්, රුධිර සංසරණය අඩුවේ. සාමාන්‍යයෙන්, ඇන්ජයිනා නැමැති පපුවේ වේදනාව ඔබ විවේකයෙන් පසුවන විට හටගන්නේ නැත. මක්නිසාද, විවේකයෙන් සිටින හදවතට අවශ්‍ය පමණට, සිහින්වූ කිරීටක ධමනි ඔස්සේ රුධිරය සංසරණය සිදුවේ. කෙසේ වුවත්, ඔබේ ශරීරය වඩාත් සක්‍රීය වනවිට, ඇන්ජයිනා තත්ත්වය ඇතිවිය හැක. මක්නිසාද, සක්‍රීය වූ හදවතට අවශ්‍ය පමණට, රුධිරය සැපයීමට සිහින් වූ කිරීටක ධමනි වලට නොහැකිය. මෙම ක්‍රියාවලිය කාලය ගතවීමත් සමගම දරුණු අතට හැරේ.

මෙවැනි කොලෙස්ටරෝල් තැන්පත් වූ ඵලක පුපුරා ගියහොත්, රුධිර නාලය තුළ ලේ කැටියක් හටගැනීම නිසා, අදාළ කිරීටක ධමනි ශාඛාව සම්පූර්ණයෙන් අවහිර වීම සිදුවේ. එය මාරාන්තික හෘදයාබාධයක් ඇතිකිරීමට හේතුවේ. එමනිසා, ඇන්ජයිනා නැමැති පපුවේ රිදුම සඳහා ඉක්මනින් නිසි ප්‍රතිකාර නොකලහොත්, බරපතළ ගැටළු ඇතිවිය හැක.

ඔබට ඇන්ජයිනා තත්ත්වයේ ඕනෑම රෝග ලක්ෂණයක් ඇතිවුවහොත්, වහාම ඔබගේ වෛද්‍යවරයා හමුවීම කල යුතුය. එවිට, ඔබේ වෛද්‍යවරයා පහත සඳහන් පරීක්ෂණ කිරීම සඳහා ඔබව යොමුකරනු ඇත.

  • විද්‍යුත් ඛන්තු රේඛකය (Electrocardiography or ECG) – විවේකයෙන් සිටින විට සහ වෙහෙස වනවිට ලෙස ආකාර දෙකකින්
  • ප්‍රතිධ්වනිඛන්තුරේඛනය (Echocardiography) නැමැති හෘදයේ ස්කෑන් පරීක්ෂණයක්
  • කිරීටක වහිත්‍රරේඛනය (Coronary angiography)

ඇන්ජයිනා තත්ත්වයට හේතුවිය හැකි වෙනත් රෝග සහ අවදානම් සාධක සඳහා ද ප්‍රතිකාර කල යුතුවේ. ඔබට රක්තහීනතාවය (Anaemia) සහ අධි තයිරොයිඩතාව (Hyperthyroidism) පවතී නම්, ඒ සඳහා ප්‍රතිකාර කරනු ඇත. දියවැඩියාව, අධික රුධිර පීඩනය, සහ රුධිරයේ අධික ලෙස කොලෙස්ටරෝල් පැවතීම වැනි රෝග වලට ද නිසි ප්‍රතිකාර කල යුතුය. දුම්පානය කිරීම සහ මත්පැන් පානය කිරීම වැනි අයහපත් පුරුදු වලින් වැළකීම ඉතා වැදගත් වේ. එමෙන්ම, නිතිපතා ව්‍යායාම කිරීම, සෞඛ්‍ය සම්පන්න ආහාර, බර පාලනය, සහ මානසික ආතතිය පාලනය යනාදිය ද කල යුතුවේ. ඔබේ වෛද්‍යවරයා නිසි ඖෂධ ප්‍රතිකාර ආරම්භ කරනු ඇත. ඖෂධ ප්‍රතිකාර සමග කිරීටක ධමනි වල අවහිරතා ඉවත්කිරීම සඳහා පිළියම් යෙදීම (Revascularisation) පහත සඳහන් සාධක මත තීරණය කරනු ඇත.

  • රෝග ලක්ෂණ
  • කිරීටක වහිත්‍ර රේඛනයේ (Coronary angiography) ප්‍රතිඵල
  • ඔබගේ අභිමතය
  • වෛද්‍යවරයාගේ අභිමතය

කිරීටක ධමනි වල අවහිරතා ඉවත්කිරීම, බයිපාස් සැත්කමක් (Coronary artery bypass grafting or CABG) මගින් හෝ සම හරහා රුධිර වාහිනියක් ඔස්සේ කිරීටක ධමනිය වෙත වයරයක් ඇතුළුකර සිදුකරන ශල්‍යකර්මයක් (Percutaneous coronary intervention or PCI) මගින් සිදුකෙරේ.

 

(ඡායාරූප අනුග්‍රහය: Elvert Barnes)

 

සබැඳි ලිපි:

ඇන්ජයිනා නැමැති පපුවේ රිදුම ඇතිවිට ව්‍යායාම කල යුත්තේ කෙසේද?
හෘදයාබාධයක් ඇතිවීමේ අවදානම අඩුකර ගන්නේ කෙසේද?
මානසික ආතතිය හෘදයාබාධ වලට අත වනයි!
විවාහකයන්ගේ හදවත් නිරෝගියි!

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ඇන්ජයිනා (Angina) නැමැති පපුවේ රිදුම වැදගත් වන්නේ ඇයි?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*