දුම්පානය ඔබ නිසරු කරන බව දන්නවාද?

දුම්පානය ඔබ නිසරු කරන බව දන්නවාද?

ඔබ සිඟිති දරුවෙකු ලබාගැනීමට සිහින මවනවා විය හැක. දුම්පානය ඔබේ සිහිනය බොඳ කිරීමට සමත් බව ඔබ දන්නවාද? එනම්, දුම්පානය ඔබ නිසරු කිරීමට හේතුවේ. දුම්පානය කිරීම ඔබේ සරුභාවයට සැලකිය යුතු හානියක් කරන අතර, එමගින් කාන්තා ඔබ ගර්භණීභාවයට පත්වීම වැළැක්වීමට එයට හැකියාව ලැබේ. ඔබ ගර්භණීභාවයට පත්වුවත්, සාර්ථකව දරු උපත දක්වා ගමන් කිරීමට දුම්පානය ඔබට බාධා ඇතිකරයි. සක්‍රීය සහ අක්‍රීය දුම්පානය (Active and passive smoking) යන දෙකම එකසේ ඔබේ සරුභාවයට හානිකරයි. එනම්, කාන්තාවක් වන ඔබ දුම්පානය කලත්, ඔබගේ සැමියා හෝ පවුලේ වෙනත් අයෙක් දුම්පානය කලත් ඔබගේ සරුභාවයට හානි සිදුවේ. ඒ සඳහා, ඔබගේ සැමියා හෝ පවුලේ වෙනත් අයෙකු ඔබ අසල දුම්පානය කිරීමටම අවශ්‍ය නොවේ. ඔබගේ සැමියා හෝ පවුලේ වෙනත් අයෙකු වෙනත් ස්ථානයක දුම්පානය කර ඔබ අසලට පැමිණීම වුවද ප්‍රමාණවත් වේ. ඒ, ඔහු හෝ ඇය ප්‍රශ්වාස කරන වාරයක් පාසා පෙනහළු තුළට ඇතුළු වූ විෂ රසායන ද්‍රව්‍ය වාතයට නිදහස් කරන බැවිණි. එපමණක් නොව, ඔහුගේ හෝ ඇයගේ හිසකෙස්, සම, සහ ඇඳුම් වල තැන්පත් වී නිවසට පැමිණීමට ද, සිගරට් දුම්වල ඇති විෂ රසායන ද්‍රව්‍ය වලට හැකියාව ඇත. කාන්තා ඔබේ වයස ක්‍රමයෙන් වැඩිවත්ම, දුම්පානයෙන් සරුභාවයට වන හානිය ද ක්‍රමයෙන් වැඩිවේ.

දුම්පානය මගින් නිසරුභාවය ඇතිවන අතරම, දුම්පානය නොකරන අයෙකුට සාපේක්ෂව දුම්පානය කරන අයෙකු තුළ දරුවකු පිළිසිඳගැනීම ප්‍රමාද වීමද සිදුවේ. දුම්පානයට, ඔබගේ ඩිම්බකෝෂ (Ovaries) වල සාමාන්‍ය ප්‍රජනක ක්‍රියාකාරීත්වය දුර්වල කිරීමට හැකියාව ඇති අතර, ඩිම්බ විනාශ කිරීම ද සිදුකරයි. සිගරට් දුම් වල ඇති ඇතැම් විෂ රසායන ද්‍රව්‍ය වලට, කාන්තා ඔබ නිසි වයසට එළඹීමට පෙර, අඩු වයසින් ආර්ථවහරණය ඇතිකිරීමට හැකියාව පවතී. එමෙන්ම, සිගරට් දුමෙහි පවතින සමහර විෂ රසායන ද්‍රව්‍ය වලට, කාන්තා හෝමෝනයක් වන ඊස්ට්‍රජන් (Oestrogen) හෝමෝනයේ නිෂ්පාදන ක්‍රියාවලිය අඩපණ කිරීමට සහ ඩිම්බ වල ජාන විකෘති ඇතිකිරීමට ද හැකියාව ඇත. ඔබ දිගුකාලයක් තිස්සේ සක්‍රීයව හෝ අක්‍රීයව දුම්පානය කරන්නේ නම්, ඔබගේ ඩිම්බකෝෂ වලට වන හානිය නැවත යථා තත්ත්වයට පත් නොවේ. ගර්භාෂයෙන් පිටත දරු පිළිසිඳගැනීම් (Ectopic pregnancy) සහ ගැබෙහි වූ දරුවා ඉබේ ගබ්සා වීම (Miscarriage) ආදී සිදුවීම් වලට දුම්පානය දැඩිව බලපායි. එමෙන්ම, ගර්භණී ඔබ දුම්පානය කරන්නේ නම්, අඩු බරක් ඇතිව, අඩු වයසෙන් ඔබගේ දරුවා ඉපදීමට ඇති අවදානම වැඩිවේ. ඔබගේ නිවස තුළ, පවුලේ අයෙක් දුම්පානය කරයි නම්, අලුත උපන් ඔබේ සිඟිත්තාට තොටිලි මරණ හෙවත් ක්ෂණික බිළිඳු මරණ සහලක්ෂණය (Sudden infant death syndrome) මගින් ජීවිතය අහිමි වීමට ඇති අවදානම ඉතා වැඩිය.

ඔබ සක්‍රීයව හෝ අක්‍රීයව දුම්පානය කරන සහ මදසරුභාවය ඇති කාන්තාවක් නම්, ඔබට දරුවකු පිළිසිඳගැනීමට සිදුකල යුතු නළ දරු උපත් (In vitro fertilisation or IVF) ප්‍රයත්නයන් ගණන, දුම්පානය නොකරන කාන්තාවකට සාපේක්ෂව දෙගුණයක් වේ.

සක්‍රීයව හෝ අක්‍රීයව දුම්පානය කරන කාන්තාවකගේ,

  • රුධිරයේ කාන්තා හෝමෝනයක් වන ඊස්ට්‍රජන් හෝමෝනයේ මට්ටම අඩුය.
  • ඩිම්බකෝෂ වල ඇති ඩිම්බ සංඛ්‍යාව අඩුය.
  • මදසරුභාවයට ප්‍රතිකාර කිරීමට, හෝමෝන (Gonadotropins) ප්‍රතිකාර වැඩි මාත්‍රාවකින් යොදාගත යුතුය.
  • සාර්ථකව සංසේචනය (Fertilisation) නොවී සිදුවන ඔසප් චක්‍ර ගණන වැඩිවේ.
  • ඩිම්බය සංසේචනය වුවද, එය ගර්භාෂයේ රෝපණය (Implantation) වීමට ඇති හැකියාව අඩුය.
  • ඔසප් නොවන මාස ගණන වැඩිය.
  • ඉබේ සිදුවන ගබ්සා ගණන වැඩිය.

ඔබ දුම්පානය කරන පුරුෂයෙක් නම්, ඔබගේ ශුක්‍ර තරලයේ අඩංගු ශුක්‍රාණු ගණන (Sperm count) සැලකිය යුතු ලෙස අඩුවේ. සාර්ථක ලෙස දරුවකු පිළිසිඳගැනීමට නම් ශුක්‍රාණු සක්‍රීයව චලනය වියයුතු අතර, නිරෝගී හැඩයකින් සහ ක්‍රියාකාරීත්වයකින් ද සමන්විත විය යුතුය. දුම්පානය, ශුක්‍රාණු වල චලනය අකර්මණ්‍ය කරන අතර, ඒවායේ හැඩය සහ ක්‍රියාකාරීත්වය ද විකෘති කරයි.

දරුවකු බලාපොරොත්තු වන යුවලක්, නළ දරු ප්‍රයත්නයකට අවම වශයෙන් මාස දෙකකට පෙර වත් දුම්පානය නතර කරන්නේ නම්, දරුවකු පිළිසිඳගැනීමට ඇති හැකියාව සැලකිය යුතු ලෙස ඉහළ යයි.

 

(ඡායාරූප අනුග්‍රහය: joe jukes)

 

සබැඳි ලිපි:

අක්‍රීය දුම්පානය සහ ඔබේ දරුවා
දුම්පානය කලොත් ඔබේ ජීවිතයත් අනතුරේ…

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "දුම්පානය ඔබ නිසරු කරන බව දන්නවාද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*