පියයුරු පිළිකාව කලින් හඳුනාගෙන ජීවිතය රැකගන්න.

පියයුරු පිළිකාව කලින් හඳුනාගෙන ජීවිතය රැකගන්න.

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වැළඳෙන පිළිකා වර්ග අතරින් බහුලතම පිළිකා වර්ගය පියයුරු පිළිකාව වේ. එය, මුල් අවස්ථාවේදීම හඳුනාගතහොත්, කාන්තා ඔබගේ සුන්දරත්වය මෙන්ම, ජීවිතයද රැකගැනීමට හැකියාව ලැබේ. ඔබේ පියයුරු වල මෑතකදී ඇතිවූ වෙනස්කම් පිළිබඳව සැලකිලිමත් විය යුතුය. මක්නිසාද, එය පියයුරු පිළිකාවක මූලික ලක්ෂණ වීමට ඉඩ ඇති බැවිනි. පියයුරෙහි ඇතිවන සෑම වෙනස්කමක්ම හෝ ගැටිත්තක්ම පියයුරු පිළිකාවක් නොවේ. නමුත්, ඇතැම්විට එවැනි වෙනස්කමක් හෝ ගැටිත්තක් පියයුරු පිළිකාවක් විය හැක. එමනිසා, පියයුරු පිළිකාව කලින් හඳුනාගෙන ජීවිතය රැකගන්න.

පියයුරු පිළිකාවක් වැළඳීමට වැඩි අවදානමක් ඇත්තේ කාටද?

  • වයස්ගත වීමත් සමග පියයුරු පිළිකා අවදානම වැඩිවේ.
  • පියයුරු තද ස්වභාවයක් ගන්නා කාන්තාවන්
  • පියයුරේ වෙනත් රෝග පිළිබඳ පෙර රෝග ඉතිහාසයක් ඇති කාන්තාවන්
  • පියයුරු පිළිකා සඳහා පවුල් ඉතිහාසයක් ඇති කාන්තාවන්
  • ඩිම්බකෝෂ ආශ්‍රිත පිළිකා සඳහා පවුල් ඉතිහාසයක් ඇති කාන්තාවන්
  • ඔසප් චක්‍ර වැඩි සංඛ්‍යාවක් ඇතිවූ කාන්තාවන් (අවුරුදු 11 ට පෙර වැඩිවියට පත්වූ සහ/හෝ අවුරුදු 55 ට පසුවත් ඔසප්වීම නතර නොවූ කාන්තාවන්)
  • මව්කිරි ලබා නොදුන් කාන්තාවන්
  • දරුවන් නොමැති කාන්තාවන්
  • ප්‍රථම දරු උපත වයස අවුරුදු 35 ට පසුව සිදුවූ කාන්තාවන්
  • ඇතැම් උපත් පාලන පෙති ගන්නා කාන්තාවන්
  • හෝමෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාර (Hormone replacement therapy or HRT) දිගුකාලීනව ලබාගන්නා කාන්තාවන් (පියයුරු පිළිකා පිළිබඳ පවුල් ඉතිහාසයක් ඇති කාන්තාවන් හෝමෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාර ලබාගැනීමෙන් වැළකිය යුතුය.)
  • වයස අවුරුදු 30 සම්පූර්ණ වීමට පෙර, පපුව හෝ පියයුරු ආශ්‍රිතව විකිරණ ප්‍රතිකාර (Radiation therapy) ලැබූ කාන්තාවන්
  • පිළිකා කාරක රසායන ද්‍රව්‍ය (Carcinogens) වලට නිරාවරණය වූ කාන්තාවන්
  • රාත්‍රී සේවා මුර (Night shift) වල සේවයේ යෙදෙන කාන්තාවන්ට ද, පියයුරු පිළිකා වැළඳීමේ අවදානම වැඩිය.
  • පහත සඳහන් අයහපත් ජීවන රටාවන් ඇති කාන්තාවන්
    • නිතර මේදය අධික ආහාර ගැනීම
    • පළතුරු සහ එළවළු අඩුවෙන් ආහාරයට ගැනීම
    • ශාරීරික ක්‍රියාකාරකම් නොකර, ශාරීරිකව අක්‍රීය ජීවිතයක් ගතකිරීම
    • ස්ථුලභාවය (මෙහිදී, විශේෂයෙන් ආර්ථවහරණය සිදුවූ පසු තරබාරු වූ කාන්තාවන්ට වැඩි අවදානමක් ඇත.)
    • මත්පැන් පානය කිරීම (මෙහිදී, මත්පැන් සුලු ප්‍රමාණ වලින් පානය කිරීම වුවද අවදානම වැඩිකරයි.)
    • දුම්පානය කිරීම

පියයුරු වල සාමාන්‍ය ලක්ෂණ මොනවාද?

  • බොහෝ කාන්තාවන්ගේ පියයුරු දෙකම හැඩයෙන් සහ ප්‍රමාණයෙන් සමාන නැත.
  • ඔසප්වීම සිදුවන කාන්තාවන්ගේ, හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස්වීම අනුව පියයුරු වල විවිධ වෙනස්කම් ඇතිවේ.
  • ඔසප් වීමට පෙර, පියයුරු වල ගැටිති ස්වභාවයක් හෝ වේදනාවක් හටගැනීම සාමාන්‍ය වේ.
  • ආර්ථවහරණය හෙවත් ඔසප්වීම ස්ථිරවම නතර වූ කාන්තාවන්ගේ පියයුරු මෘදු සහ සැහැල්ලු වීම සිදුවේ.

පියයුරු පිළිකාවක මූලික අවස්ථා වලදී, පියයුරුවල ඇතිවිය හැකි අසාමාන්‍යතා මොනවාද?

පියයුරු පිළිකාවක් මූලික අවස්ථාවේදීම හඳුනාගැනීම සඳහා වයස අවුරුදු 20 ට වැඩි සෑම කාන්තාවක්ම මාසයකට වරක් ස්වයං පියයුරු පරීක්ෂාව කල යුතුවේ. ඔසප්වීම සිදුවන කාන්තාවන්, ඔසප්වීම අවසන් වී සතියකට පසුව ස්වයං පියයුරු පරීක්ෂාව කල යුතුය. ආර්ථවහරණය හෙවත් ඔසප්වීම ස්ථිරවම නතර වූ කාන්තාවන්, සෑම මසකම නිශ්චිත දිනයක් ස්වයං පියයුරු පරීක්ෂාවට යොදාගත යුතුවේ.

පහත සඳහන් වෙනස්කම් හෝ අසාමාන්‍යතා පියයුරු පිළිකාවක මූලික ලක්ෂණ විය හැක.

  • මෑතකදී ඇතිවූ පියයුරුවල හැඩයේ වෙනස්වීමක් හෝ පැහැදිලි අසමමිතික බවක්

අසමමිතික

 

 

 

 

 

  • මෑතකදී ඇතිවූ පියයුරුවල ඉදිමීමක් හෝ ගැටිත්තක්

පියයුරුවල ඉදිමීමක් හෝ ගැටිත්තක්

 

 

 

 

 

  • පියයුරුවල වල ගැසීමක්

පියයුරුවල වල ගැසීමක්

 

 

 

 

 

  • පියයුරෙහි සම දොඩම් ලෙල්ලක මතුපිට වැනි ස්වභාවයක් ගැනීම

පියයුරෙහි සම දොඩම් ලෙල්ලක මතුපිට වැනි ස්වභාවයක් ගැනීම

 

 

 

 

 

  • පියයුරෙහි සම මතුපිට තුවාළයක් හෝ දදයක්
  • මෑතකදී ඇතිවූ තනපුඩුවේ ගිලීයාමක් හෝ වෙනසක්

තනපුඩුවේ ගිලීයාමක්

 

 

 

 

 

  • තනපුඩුවෙන් මව්කිරි නොවන වෙනත් ශ්‍රාවයක් පිටවීම

තනපුඩුවෙන් මව්කිරි නොවන වෙනත් ශ්‍රාවයක් පිටවීම

 

 

 

 

 

  • පියයුරෙහි ඇතිවන අසාමාන්‍ය වේදනාවක්

ඉහත වෙනස්කම් ඇත්නම් වහාම පහත සඳහන් ස්ථාන වලින් එකකට යන්න.

  • ලඟම ඇති සුවනාරී සායනය (Well Woman Clinic)
  • ලඟම ඇති සුවදිවි මධ්‍යස්ථානය (Healthy Lifestyle Center)
  • ඔබේ පවුලේ වෛද්‍යවරයා වෙත
  • රජයේ හෝ පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙකු වෙත
  • ඔබට ආසන්නම රෝහලේ ශල්‍ය වෛද්‍ය හෝ පියයුරු සායනය
  • පිළිකා කලින් හඳුනාගැනීමේ ජාතික සායනය (නාරාහේන්පිට, ඇල්විටිගල මාවතේ, අංක 516 ස්ථානයේ පිහිටා ඇත. දුරකථනය: 011-3159227)

 

මූලාශ්‍රය: ජාතික පිළිකා මර්ධන වැඩසටහන

 

(ඡායාරූප අනුග්‍රහය: ජාතික පිළිකා මර්ධන වැඩසටහන සහ Luci Correia)

 

සබැඳි ලිපි:

ස්වයං පියයුරු පරික්ෂාව සිදුකරන්නේ කොහොමද?
පිළිකා ඇතිවීම වළක්වා ගනිමු!
ගැබ්ගෙල පිළිකාව වළක්වා ගන්නේ කෙසේද?
මත්පැන් භාවිතය පිළිකා වලට අත වනයි!

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

2 Comments on "පියයුරු පිළිකාව කලින් හඳුනාගෙන ජීවිතය රැකගන්න."

  1. Ayesha Perera | July 20, 2016 at 7:28 am | Reply

    Great effort. thanks

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*