ස්ථුලභාවය හෙවත් තරබාරුකම යනු කුමක්ද?

ස්ථුලභාවය හෙවත් තරබාරුකම යනු කුමක්ද?

ශරීරයේ අමතරව මේදය තැන්පත් වීමෙන් ස්ථුලභාවය හෙවත් තරබාරුකම (Obesity) ඇතිවේ. පුද්ගලයෙකු දෙස බැලීමෙන් පවා එය පහසුවෙන් හඳුනාගත හැක. දියුණු වෙමින් පවතින රටවලට සාපේක්ෂව දියුණු රටවල ස්ථුලභාවය බහුලව දක්නට ලැබේ. කෙසේ වුවත්, ස්ථුලභාවය ලෝකය පුරාව ගැටළුවක් වෙමින් පවතින බව පෙනේ. මක්නිසාද, ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල ද තරබාරු වීමේ ප්‍රවණතාවය වැඩිවෙමින් පවතී.

බොහොමයක් පුද්ගලයන් වයස්ගත වීමේදී ක්‍රමයෙන් ශරීරය තුළ මේදය තැන්පත් වීම දක්නට ලැබේ. සරළව පැහැදිලි කලහොත්, ස්ථුලභාවය ඇතිවන්නේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ආහාර ගැනීමෙනි. ඕනෑම පුද්ගලයෙකුගේ උස, බර, වයස, සහ ශාරීරික ක්‍රියාකාරීත්වය අනුව, එදිනෙදා කටයුතු කරගෙන යාමට ශක්තිය ලබාගැනීම සඳහා දිනකට අවශ්‍ය වන නියමිත කැලරි ප්‍රමාණයක් පවතී. එම කැලරි ප්‍රමාණය ඉක්මවා, ආහාර මගින් වැඩිපුර කැලරි ප්‍රමාණයක් දිගුකාලයක් තිස්සේ ලබාගන්නේ නම්, ස්ථුලභාවය ඇතිවේ. මක්නිසාද, එදිනෙදා කටයුතු වලට අවශ්‍ය කැලරි ප්‍රමාණයට වඩා, වැඩිපුර ගන්නා අමතර කැලරි ශරීරයේ මේද පටක වල මේදය ලෙස තැන්පත් වේ. එවිට, කාලය ගතවීමත් සමග, එවැනි පුද්ගලයෙකු අධික බර (Overweight) හෝ තරබාරුවීම දක්නට ලැබේ. ස්ථුලභාවය ඇති සෑම පුද්ගලයෙකුම, සාමාන්‍ය පුද්ගලයෙකු දිනපතා ගන්නා ආහාර ප්‍රමාණයට වඩා, වැඩිපුර ආහාර ගන්නා බවක් නොපෙනේ. ඔවුන් තරබාරු වීමට හේතුව, සාමාන්‍යයෙන් දිනකට අවශ්‍ය වන කැලරි ප්‍රමාණයට වඩා, වැඩි කැලරි ප්‍රමාණයක් ආහාරයට ගැනීමයි.

ශරීර ස්කන්ධ දර්ශකය යනු කුමක්ද?

ශරීර ස්කන්ධ දර්ශකය (Body mass index or BMI) යනු ශරීරයේ හැඩය සහ පෝෂණ තත්ත්වය මැනීමට යොදාගන්නා මිනුමකි. එහි අගය පුද්ගලයෙකුගේ උස සහ බර මත රඳා පවතී. ශරීර ස්කන්ධ දර්ශකය මැනීම සඳහා යම් පුද්ගලයෙකුගේ බර, ඔහුගේ හෝ ඇයගේ උසෙහි වර්ගයෙන් බෙදනු ලැබේ. එය වර්ග මීටරයට කිලෝග්‍රෑම් (kg/m2) යන ඒකකයෙන් දක්වනු ලැබේ. එහි අගය අදාළ පුද්ගලයාගේ වයස හෝ ස්ත්‍රී පුරුෂ භාවය අනුව වෙනස් නොවේ. ශරීර ස්කන්ධ දර්ශකය මගින් ශරීරයේ ඇති මේදය ප්‍රතිශතය හෝ ස්ථුලභාවය පිළිබඳව හොඳ මිනුමක් ලැබේ. එමනිසා, ශරීරයේ බර ආශ්‍රිතව ඇතිවන අවදානම් සහගත තත්ත්ව පිළිබඳව ඇස්තමේන්තු කිරීමට ශරීර ස්කන්ධ දර්ශකය යොදාගත හැක. එය, ශරීරයේ උසට සාපේක්ෂව තිබිය යුතු සෞඛ්‍ය සම්පන්න බර පවත්වා ගැනීමට උපකාරී වේ.

 

ශරීර ස්කන්ධ දර්ශකය,

  • 18.5 ට වඩා අඩු – අඩුබර
  • 18.5 – 24.9 – ප්‍රශස්ථ බර හෙවත් සෞඛ්‍ය සම්පන්න බර
  • 25 – 29.9 – අධික බර
  • 30 – 34.9 – ස්ථුල හෙවත් තරබාරු (පළමු වර්ගය)
  • 35 – 39.9 – ස්ථුල හෙවත් තරබාරු (දෙවන වර්ගය)
  • 40 හෝ එයට වැඩි – ස්ථුල හෙවත් තරබාරු (තෙවන වර්ගය)

ඔබගේ ශරීර ස්කන්ධ දර්ශකය ගණනය කිරීම සඳහා පහතින් ඇති ගණක යන්ත්‍රය භාවිතා කලහැක.

 

ඔබගේ ශරීර ස්කන්ධ දර්ශකය දැන සිටීම වැදගත් වේ. ඔබට දැනටමත් සෞඛ්‍ය සම්පන්න බරක් පවතී නම්, එය දිගටම පවත්වා ගැනීම සඳහා යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වා ගත යුතුවේ. ඔබගේ බර පවතින්නේ අධික බර හෝ ස්ථුල කලාපයේ නම්, ශරීරයේ බර ප්‍රශස්ථ මට්ටම තෙක් ක්‍රමයෙන් අඩු කරගැනීම නුවණට හුරුවේ. එසේ නොකලහොත්, ඇතැම් සෞඛ්‍ය ගැටළු ඇතිවීමට සැලකිය යුතු අවදානමක් ඇත.

 

(ඡායාරූප අනුග්‍රහය: Emilio Labrador)

 

සබැඳි ලිපි:

ස්ථුලභාවය සහ ආහාර පාලනය
තරබාරු අයට ආහාර ගැනීම සඳහා ඉඟි කිහිපයක්

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ස්ථුලභාවය හෙවත් තරබාරුකම යනු කුමක්ද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*