ආහාරයේ ඇති ෆ්ලේවොනොයිඩ වලින් ඇති ප්‍රයෝජන

ආහාරයේ ඇති ෆ්ලේවොනොයිඩ වලින් ඇති ප්‍රයෝජන

පළතුරු සහ එළවළු වල ෆ්ලේවොනොයිඩ (Flavonoids) නම් වූ රසායනික සංඝටක බහුලව ඇත. ඒවා එළවළු සහ පළතුරු වල විවිධ වර්ණ ඇතිකිරීමට හේතුවේ. එපමණක් නොව, ආහාරයේ ඇති ෆ්ලේවොනොයිඩ මුක්ත ඛණ්ඩක (Free radicals) නැමැති අධි ක්‍රියාකාරී අණු විශේෂයක් හටගන්නා අතර, එම අණු වලින් ශරීරයේ සෛල වලට හානි සිදුවේ. එමනිසා, ප්‍රතිඔක්සිකාරක ශරීරයේ සෛල ආරක්ෂා කරයි.’>ප්‍රතිඔක්සිකාරක (Antioxidants) සහ ප්‍රදාහයන් සමනය කරන ගුණාංග (Anti-inflammatory) සහිත රසායනික සංඝටක ලෙස ක්‍රියාකරයි. එබැවින්, ඒවා ඇතැම් රෝග වැළඳීමට ඇති අවදානම අඩුකරන අතර, නිරෝගී දිවියක් ගතකිරීමට උපකාරී වේ.

පහත සඳහන් ආහාර වල ෆ්ලේවොනොයිඩ බහුලව ඇත.

  • ස්ට්‍රෝබෙරි, දොඩම්, කෙසෙල්, කොමඩු, දෙහි, ඇපල් වැනි පළතුරු
  • වම්බටු, මිරිස්, ගෝවා, රාබු, බෝංචි, තක්කාලි, සලාද ගස් වැනි එළවළු
  • ධාන්‍ය
  • රතුලූණු
  • කොකෝවා
  • තේ
  • විශේෂයෙන්, පච්චපෙරුමාල් (සියපත් ඇල්), කුරුළුතුඩ, කළුහීනටි, සුවඳැල්, මඩතවාලු, කහවනු, බේත් හීනටි, බටපොලැල් වැනි දේශීය සහල් වල, වෙළඳපොලේ ඇති සාමාන්‍ය සහල් වලට වඩා ෆ්ලේවොනොයිඩ බහුලව ඇතිබව පර්යේෂණ මගින් තහවුරු වී ඇත.

ෆ්ලේවොනොයිඩ වල ප්‍රතිඔක්සිකාරක ගුණ

ෆ්ලේවොනොයිඩ ශරීරය තුළ ප්‍රතිඔක්සිකාරක ලෙස ක්‍රියාකරයි. එමනිසා, ශරීරයේ සිදුවන පරීවෘත්තීය ප්‍රතික්‍රියා වල අතුරු ප්‍රතිඵලයක් ලෙස හටගන්නා, ශරීරයේ සෛල සහ පටක වලට හානිකරණ මුක්තඛණ්ඩක (Free radicals) නැමැති අණු විශේෂය උදාසීන කරයි. මෙම මුක්තඛණ්ඩක වලට ශරීරයට හානිකර කොලෙස්ටරෝල් වර්ගයක් වන LDL කොලෙස්ටරෝල් මට්ටම වැඩිකිරීමට හැකියාව ඇති අතර, එමගින් හෘදයාබාධ වැළඳීමට ඇති අවදානම වැඩිවේ. ෆ්ලේවොනොයිඩ වල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා පිළිකා සඳහා ඇති අවදානම ද සැලකිය යුතු ලෙස අඩුවේ. ෆ්ලේවොනොයිඩ වල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය, විටමින් E සහ විටමින් C වල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණ වලට වඩා වැඩිබව සොයාගෙන ඇත.

ප්‍රතිප්‍රදාහ ගුණය

ආහාරයේ ඇති ෆ්ලේවොනොයිඩ මගින්, ධමනි නැමැති රුධිර වාහිනී වල ඇතිවන ප්‍රදාහයන් (Inflammation) හටගැනීම අඩුකරයි. එමනිසා, ධමනි බිත්ති වල කොලෙස්ටරෝල් තැන්පත්වීම වැළැක්වීමට ෆ්ලේවොනොයිඩ වලට හැකියාව ඇති අතර, එමගින් හදවත් රෝග සඳහා ඇති අවදානම අඩුවේ. ඒවා වෛරස සහ අසාත්මිකාරක (Allergen) වල ක්‍රියාකාරීත්වය වෙනස්කිරීමට ද සමත් වේ. එමනිසා, අසාත්මිකතා (Allergy), පාචනය, සහ වෙනත් විෂබීජ වල ක්‍රියාකාරීත්වය ද අඩුකිරීමට ෆ්ලේවොනොයිඩ වලට හැකියාව ඇත.

හදවත් රෝග සඳහා ඇති අවදානම

ෆ්ලේවොනොයිඩ වලට රුධිර පීඩනය සහ රුධිරයේ ඇති කොලෙස්ටරෝල් මට්ටම අඩුකිරීමට හැකියාව ඇත. එය හදවත් රෝග වලින් වැළකීමට ඉතා වැදගත් වේ. එපමණක් නොව ඒවා අනවශ්‍ය ලෙස රුධිරය කැටි ගැසීම වළක්වන අතර, කිරීටක ධමනි වල සහ ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරයි. ෆ්ලේවොනොයිඩ වලට හෘදයාබාධ වැළඳීමට ඇති අවදානම 32% කින් පහත හෙලීමට හැකියාව ඇතිබව නවතම පර්යේෂණ වලින් තහවුරු වී ඇති කරුණකි. පර්යේෂකයන් පවසන්නේ ඔබ ජීවිතයේ මුල් අවධි වල ආහාරයට ගන්නා ෆ්ලේවොනොයිඩ මගින්, ජීවිතයේ පසු කාලයේදී හෘදයාබාධ වැළඳීමට ඇති අවදානම අඩුකරන බවයි.

පිළිකා සඳහා ඇති අවදානම

ෆ්ලේවොනොයිඩ මගින් පිළිකා වැළඳීමට ඇති අවදානම අඩුකරයි. ඒවා පිළිකා කාරක රසායන ද්‍රව්‍ය (Carcinogens) වල ගුණාංග වෙනස්කරයි. විශේෂයෙන්, ලූණු වල ඇති ෆ්ලේවොනොයිඩ මගින් අක්මාවේ සහ බඩවැල් වල ඇතිවන පිළිකා සෛල වල ගුණනය වීම හෙවත් බෙදීම සැලකිය යුතු ලෙස අඩුකරන බව පර්යේෂණ මගින් තහවුරු වී ඇත.

 

(ඡායාරූප අනුග්‍රහය: U.S. Department of Agriculture)

 

සබැඳි ලිපි:

ක්ලෝරොජෙනික් අම්ලය (Chlorogenic acid) යනු කුමක්ද?
සෞඛ්‍ය සම්පන්න දිවියකට එළවළු සහ පළතුරු
එළවලු සමග සුවැති දිවියක්…
හරිත තේ (Green Tea) ගුණයිද?

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ආහාරයේ ඇති ෆ්ලේවොනොයිඩ වලින් ඇති ප්‍රයෝජන" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*