පිළිකා ඇතිවීම වළක්වා ගනිමු!

පිළිකා ඇතිවීම වළක්වා ගනිමු

පිළිකා වලින් 1/3 ක් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ඇතිකර ගැනීමෙන් වළක්වා ගතහැකි බව ඔබ දන්නවාද? යහපත් ජීවන රටාව, සෞඛ්‍ය සම්පන්න ආහාර, නිතිපතා ව්‍යායාම කිරීම, මත්පැන් පානයෙන් වැළකීම, දුම්කොළ භාවිතයෙන් වැළකීම, සහ දුම්පානය නොකිරීම වැනි දේ මගින් ඇතැම් පිළිකා වලින් වැළකීමට හැකියාව ලැබේ. එසේ නම්, වළක්වා ගැනීමට හැකියාව ඇති පිළිකා ඇතිවීම වළක්වා ගනිමු.

පිළිකා ඇතිවීමට හේතුවන අවදානම් සාධක

  • දුම්කොළ භාවිතය සහ දුම්පානය
  • මත්පැන් පානය
  • සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර රටා
  • ශාරීරික ක්‍රියාකාරකම් හෝ ව්‍යායාම නොකිරීම
  • මානසික ආතතිය
  • පරිසර දූෂණය

දුම්කොළ භාවිතය සහ දුම්පානය

දුම්කොළ භාවිතය සහ දුම්පානය නිසා හෘදයාබාධ, අංශභාගය, දිගුකාලීන ශ්වසන රෝග, මෙන්ම පිළිකා ද ඇතිවේ. දුම්පානය මගින් මුඛ කුහරයේ සහ පෙනහළු වල පමණක් නොව ශරීරයේ අනෙකුත් අවයව වලද පිළිකා ඇතිවීම සිදුවේ. වළක්වා ගතහැකි පිළිකා වලින් 50% ක් පමණ දුම්පානය සහ දුම්කොළ භාවිතය නිසා ඇතිවන බව ඔබ දන්නවාද? එනම්, පිළිකා වැළැක්වීමට ඇති ප්‍රධානතම ක්‍රමය දුම්කොළ භාවිතය සහ දුම්පානය නැවැත්වීමයි. බුලත්විට වල ඇති දුම්කොළ, හුණු, සහ පුවක් මගින් මුඛයේ, උගුරේ, සහ ගලනාලයේ පිළිකා ඇතිකරයි. මෙයට අමතරව, බාබුල්, බීඩා වැනි පුවක් ආශ්‍රිත නිෂ්පාදන මගින් ද මුඛ පිළිකා ඇතිවේ.

මත්පැන් පානය

මත්පැන් පානය කිරීම නිසා මුඛයේ, උගුරේ, ගලනාලයේ, ආමාශයේ, අක්මාවේ, මහා අන්ත්‍රයේ, ගුද මාර්ගයේ, සහ පියයුරු ආශ්‍රිතව පිළිකා ඇතිවිය හැක. මත්පැන් නිසා ඇතිවන පිළිකා වලින් 1/3 ක් ඇතිවන්නේ මත්පැන් සුළු ප්‍රමාණ වලින් ගැනීම නිසාය. දැනටමත් පිළිකා ඇතිවීමට අවදානම් සාධකයක් ඇති අයෙකු සුළු ප්‍රමාණ වලින් මත්පැන් භාවිතා කලත්, පිළිකා ඇතිවීමට ඇති අවදානම සැලකිය යුතු ලෙස ඉහළ යයි. මත්පැන් වල ඇති සංඝටක මුඛයේ, උගුරේ, අක්මාවේ, සහ ආහාර මාර්ගයේ ඇති සෛල වලට ක්‍රමාණුකූලව හානි පමුණුවයි. ශරීරය විසින් එම හානි වූ පටක අලුත්වැඩියා කරගැනීමේදී, සෛල වල ඇති ජාන, වෙනස්කම් වලට භාජනය වීම සිදුවේ. එය පිළිකාවක් වර්ධනය වීමේ ආරම්භක පියවර විය හැක.

එමනිසා, ඔබ දැනටමත් දුම්පානය කිරීම, දුම්කොළ භාවිතය, බුළත්විට කෑම, හෝ මත්පැන් පානය කිරීම කරන්නේ නම්, හැකි ඉක්මනින් ඒවා නවතා දමන්න. ඔබ ඒවා භාවිතා නොකරන අයෙක් නම්, ඔබගේ යහපත් පුරුදු දිගටම පවත්වා ගන්න.

සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර රටා

සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර රටා පිළිකා රැසකට හේතුවේ. තෙල් හෙවත් මේදය බහුල ආහාර ගැනීම, තන්තු අඩු ආහාර වැඩිපුර ගැනීම, සහ ශරීරයේ බර වැඩිවීම ආදිය පිළිකා වැළඳීමේ අවදානම වැඩිකරයි. එමෙන්ම, සොසේජස් සහ මීට් බෝල්ස් වැනි සකස් කරන ලද මස් භාවිතය ද, පිළිකා ඇතිවීමේ අවදානම වැඩිකරයි.

සෞඛ්‍ය සම්පන්න සමබර ආහාර වේලකට පුරුදු වීමෙන්, පිළිකා ඇතුළු බොහොමයක් බෝනොවන රෝග වැළඳීම වළක්වා ගැනීමට හැකියාව ලැබේ. විවිධ වර්ණ සහ රසයෙන් යුතු නැවුම් පළතුරු, එළවළු, සහ පළා වර්ග වැඩිපුර ආහාරයට ගන්න. ඔබේ ශරීරයේ උසට සරිලන බරක් පවත්වා ගැනීම සඳහා පිෂ්ටය සහ මේදය අවශ්‍ය ප්‍රමාණ වලින් පමණක් ගන්න. සරළ සීනි අඩංගු ඝන ආහාර සහ පානයන් ගැනීම සීමා කරන්න. අහිතකර සංතෘප්ත මේදය අඩංගු මාගරින්, බටර්, යොදය සහිත කිරි වැනි ආහාර සීමා කල යුතුවේ. හිතකර මේදය බහුලව අඩංගු මාළු ආහාරයට එකතු කරගන්න. මස් පිසින විට, සම සහ මේදය අඩංගු කොටස් ඉවත්කර පිසගන්න. ලුණු බහුලව අඩංගු ආහාර ද සීමා කිරීම කල යුතුය.

ශාරීරික ක්‍රියාකාරකම් හෝ ව්‍යායාම නොකිරීම

නිතිපතා ව්‍යායාම කිරීමෙන් සහ ශාරීරික ක්‍රියාකාරකම් වල නිරත වීමෙන්, පිළිකා ඇතිවීමේ අවදානම අඩුවේ. මෙහිදී විශේෂයෙන්, පියයුරු වල, මහා අන්ත්‍රයේ, සහ ගර්භාෂයේ පිළිකා වැළඳීමට ඇති අවදානම අඩුවීම සිදුවේ. කුඩා දරුවන් සහ නවයොවුන් දරුවන් දිනකට පැයක් වත් ව්‍යායාම කිරීම හෝ ශාරීරික ක්‍රියාකාරකම් වල නිරත වීම කල යුතුවේ. වැඩිහිටි අය දිනකට විනාඩි 30 ක් බැගින් සතියකට දින 5 ක් ව්‍යායාම හෝ ශාරීරික ක්‍රියාකාරකම් කිරීම අවශ්‍ය වේ. ශාරීරික ක්‍රියාකාරකමක් හෝ ව්‍යායාමයක් එක් දිනකදී නොකඩවා කල නොහැකි නම්, එය විනාඩි 10 ක හෝ 15 ක කොටස් වශයෙන් වෙන්කර කිරීමද කලහැක.

මානසික ආතතිය

මානසික ආතතිය මගින් ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරයි. එවිට ලෙඩ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව අඩුවන අතර, පිළිකා වලින් ශරීරය ආරක්ෂා කරන යාන්ත්‍රණ ද දුර්වල වේ. තවද, මානසික ආතතිය නිසා පිළිකා වැළඳීමේ අවදානම වැඩිකරන දුම්පානය, මත්පැන් පානය, අහිතකර ආහාර රටා වැනි අවදානම් සාධක වෙත නැඹුරුවීමට ඇති හැකියාව ද වැඩිය. එසේනම්, මානසික ආතතියෙන් ගැලවෙන්නේ කොහොමද? ආගමික කටයුතු වල යෙදෙන්න. සමාජයෙන් කොන් නොවී, සමාජශීලී වන්න. විනොදාංශ වලටත් ඔබේ ජීවිතයේ ඉඩක් වෙන්කරන්න. ශරීරය ලිහිල් වන ව්‍යායාම වල යෙදන්න.

පරිසර දූෂණය

වාතය, ජලය, සහ පස දූෂණය වීම නිසා පිළිකා වැළඳීමට ඇති අවදානම වැඩිවී ඇත. ඔබේ අවට පරිසරය හැකිතරම් පිරිසිදුව පවත්වා ගන්න. කසළ නිසි ලෙස බැහැර කරන්න. කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතයෙන් හැකිතරම් වළකින්න. විෂ දුම් සහ විකිරණ වලට නිරාවරණය වීමෙන් වළකින්න.

 

මූලාශ්‍රය: ජාතික පිළිකා මර්ධන වැඩසටහන

 

(ඡායාරූප අනුග්‍රහය: DieselDemon)

 

සබැඳි ලිපි:

මත්පැන් භාවිතය පිළිකා වලට අත වනයි!
ගැබ්ගෙල පිළිකාව වළක්වා ගන්නේ කෙසේද?
ස්වයං පියයුරු පරික්ෂාව සිදුකරන්නේ කොහොමද?

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "පිළිකා ඇතිවීම වළක්වා ගනිමු!" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*