අංශභාගය හෙවත් ආඝාතය යනු කුමක්ද?

අංශභාගය හෙවත් ආඝාතය යනු කුමක්ද?

සෑම පුද්ගලයන් හය දෙනෙකුගෙන් එක් අයෙකුට ජීවිතයේ යම් දිනක අංශභාගය හෙවත් ආඝාතය (Stroke) වැළඳීමට හැකියාව ඇත. ශ්‍රී ලංකාවේ රෝහල් තුළ වසරකට සිදුවන මරණ සංඛ්‍යාව සඳහා තෙවනුවට වගකිවයුත්තා වන්නේ අංශභාගයයි. අංශභාගය ඇතිවීමේදී, මොළයට රුධිරය සපයන රුධිර වාහිනියක් අවහිර වීම හෝ පුපුරා යාම සිදුවේ. එවිට, එම රුධිර වාහිනියෙන් රුධිරය සපයන මොළයේ කොටස, ඔක්සිජන් සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ නොලැබී යාම නිසා මිය යයි. එමනිසා, එලෙස මොළයේ අක්‍රීය වූ කොටස මගින් පාලනය වන ශාරීරික ක්‍රියාකාරකම් අඩාල වේ. මෙම ක්‍රියාවලිය අංශභාගය හෙවත් ආඝාතය ලෙස හැඳින්වේ.

අංශභාගයේ රෝග ලක්ෂණ

අංශභාගය නිසා පහත සඳහන් රෝග ලක්ෂණ ඇතිවිය හැක.

  • කරකැවිල්ල.
  • කථාව පැටලිලි සහිත වීම, ගොත ගැසීම, හෝ කථා කිරීමට නොහැකි වීම.
  • ශරීරයේ යම් කොටසක හිරි වැටුණු ස්වභාවයක් ඇතිවීම.
  • ශරීරයේ එක් පැත්තක් පණ නැති වීම.
  • පෙනුමට බාධා ඇතිවීම.
  • තද හිසරදයක් ඇතිවීම.
  • ඇවිදීමට අපහසු වීම.

ඇතැම් විට, ඉහත රෝග ලක්ෂණ ඇතිවී, කෙටි කාලයක් තුළ ඉබේම නැතිවී යාමට පුලුවන. එසේ වුවද, රෝගියා හැකි ඉක්මනින් රෝහලට රැගෙන යා යුතුවේ.

අංශභාගය ඇතිවීමට හේතු

අංශභාගය ඇතිවීමට අයහපත් චර්යා රටාව සහ ඇතැම් රෝග හේතුවේ.

අයහපත් චර්යා රටාව

  • මධ්‍යසාර භාවිතය.
  • සක්‍රීය හෝ අක්‍රීය දුම්පානය කිරීම.
  • සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර රටා.
  • ක්‍රියාශීලී නොවන දිවි පෙවෙතක් ගත කිරීම.

රෝග

  • අධික රුධිර පීඩනය.
  • දියවැඩියාව.
  • රුධිරයේ අධික කොලෙස්ටරෝල් මට්ටම.
  • හෘදය වස්තුවේ ස්පන්දනය අක්‍රමවත් වීම.

 

අංශභාගය පිළිබඳව දැනගත යුතු වැදගත් කරුණු

රෝග ලක්ෂණ මතුවී වැඩි කාලයක් ගතවීමෙන් හෙවත් රුධිර සැපයුම අඩාල වී වැඩිකාලයක් ගතවීමෙන්, මොළයට සිදුවන හානිය ක්‍රමයෙන් වැඩිවේ. එමනිසා, අදාළ රෝගියා හැකි ඉක්මනින් රෝහලක් වෙත ගෙනයාම ඉතා වැදගත් වේ. නිසි ප්‍රතිකාර ඉක්මණින් ලබාදීමෙන්, අංශභාග රෝගීන් සුවපත් කිරීමට හැකියාව පවතී. ඔබ ගන්නා ක්ෂණික පියවර කිහිපයක් මගින්, අංශභාගය නිසා රෝගියාට සිදුවන හානිය අවම කරගත හැක. අංශභාග රෝගීන් නිසි පරිදි පුනරුත්ථාපනය (Rehabilitation) කිරීමෙන්, ඔවුන්ට සාමාන්‍ය ජීවිතයක් ගතකිරීමට හැකියාව ලැබේ.

යම් පුද්ගලයෙකුට අංශභාගය වැළඳී ඇතිදැයි ඉක්මනින් හඳුනාගැනීමට සරළ පරීක්ෂණයක් සිදුකල හැක. එය FAST ලෙස හැඳින්වේ.

  • Face (මුහුණ) – මුහුණ පරීක්ෂා කර, කට ඇදවී පැත්තකට ගොස් ඇතිදැයි බලන්න.
  • Arm (අත) – රෝගියාට ඉදිරියට අත් දිගුකරන්න යැයි පවසන්න. අත් එම ආකාරයටම තබාගැනීමට නොහැකි දැයි බලන්න.
  • Speech (කථාව) – රෝගියාට කථා කරන්න යැයි පවසන්න. කථාව අපැහැදිලි දැයි බලන්න.
  • Time (කාලය) – ඉහත ලක්ෂණ එකක් හෝ ඇත්නම්, ප්‍රමාද නොකර හැකි ඉක්මනින් රෝගියා රෝහල වෙත රැගෙන යන්න.

අංශභාගය වලක්වා ගන්නේ කෙසේද?

අංශභාගය හෙවත් ආඝාතය වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය සම්පන්න නොවන, අහිතකර චර්යා වලින් වැළකිය යුතුවේ.

  • දුම්කොළ භාවිතය සහ දුම්පානය නවත්වන්න.
  • වැඩිහිටියෙකුට දිනකට අවශ්‍ය ලුණු ප්‍රමාණය ග්‍රෑම් 5 කි. එනම්, ලුණු කපාපු තේ හැඳි එකකි. පමණට වඩා ලුණු භාවිතා කිරීමෙන් වළකින්න.
  • මේදය හෙවත් තෙල් භාවිතය අවම කරන්න.
  • මත්පැන් පානය කිරීමෙන් වළකින්න.

ඇතැම් හිතකර චර්යා මගින් ද, අංශභාගය වළකා ගතහැක.

  • අළුත් එළවළු සහ පළතුරු වැඩිපුර ආහාරයට ගන්න.
  • එදිනෙදා කරන කටයුතු සක්‍රීයව කරන්න.
  • දිනපතා ප්‍රමාණවත් පරිදි ව්‍යායාම සහ ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදෙන්න.

අංශභාගය වැළඳීමට ඇති අවදානම වැඩිකරන රෝග වලට නිසි ප්‍රතිකාර ගෙන ඒවා පාලනය කිරීම හෝ සුවකර ගැනීම කලයුතුය.

  • දියවැඩියාව
  • අධික රුධිර පීඩනය
  • හෘද රෝග
  • රුධිරයේ අධික කොලෙස්ටරෝල් මට්ටම

ඔබට අංශභාගය හෙවත් ආඝාතය ඉක්මනින් හඳුනාගැනීමට හැකිවීම මගින් සහ අප්‍රමාදව රෝගියා රෝහල වෙත ගෙනයාමට හැකිවීම මගින්, ඔබේ ලඟම ඥාතියාගේ හෝ ඔබගේ ජීවිතය බේරාගැනීමට අවස්ථාව සැලසෙන බව සිතට ගන්න.

 

(ඡායාරූප අනුග්‍රහය: Commander, U.S. 7th Fleet)

 

සබැඳි ලිපි:

අංශභාගය ඉක්මනින්ම හඳුනාගන්නේ කෙසේද?
අංශභාගය (Stroke) වැළදෙන්නට ඔබටත් අවදානමක් තිබේද?
යළි අංශභාගය වැළඳීම වළක්වා ගන්නේ කෙසේද?

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "අංශභාගය හෙවත් ආඝාතය යනු කුමක්ද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*