ගැබ්ගෙල පිළිකාව වළක්වා ගන්නේ කෙසේද?

ගැබ්ගෙල පිළිකාව වළක්වා ගන්නේ කෙසේද?

කාන්තාවන්ගේ ගර්භාෂය සහ යෝනි මාර්ගය එකිනෙක සම්බන්ධ වන කොටස ගැබ්ගෙල ලෙස හැඳින්වේ. මෙම කොටසෙහි හටගන්නා රෝගයක් ලෙස ගැබ්ගෙල පිළිකාව (Cervical cancer) හැඳින්විය හැක. ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වැළඳෙන පිළිකා අතරින් දෙවැනි ස්ථානයට බහුළ පිළිකා වර්ගය මෙය වේ. වාසනාවකට මෙන්, මෙම තත්ත්වය පූර්ව පිළිකා අවධියේදී හඳුනාගතහොත්, සම්පූර්ණයෙන්ම සුවකිරීමට පුලුවන.

බොහෝවිට, ගැබ්ගෙල ආශ්‍රිතව හටගන්නා මානව පැපිලෝමා වෛරස් (Human papillomavirus or HPV) ආසාදනය දිගුකලක් පැවතීම නිසා ගැබ්ගෙල පිළිකාව ඇතිවිය හැක. ගැබ්ගෙල පිළිකාව හටගැනීමට පෙර පූර්ව පිළිකා අවධියක් පවතී. මෙම පූර්ව පිළිකා අවධිය හඳුනාගැනීම සඳහා පැහැදිලි රෝග ලක්ෂණ නොමැත.

ගැබ්ගෙල පිළිකාවක මූලික රෝග ලක්ෂණ

  • ලිංගික සංසර්ගයට පසුව යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වීම.
  • යෝනි මාර්ගයෙන් අක්‍රමවත් ලෙස රුධිරය වහනය වීම.
  • මාස් ශුද්ධිය හෙවත් ඔසප් වීම නැවතී ඇති (ආර්ථවාභාවය සිදුවී ඇති) කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වීම.
  • යෝනි මාර්ගයෙන් අධික දුර්ගන්ධයකින් යුතු ශ්‍රාවයක් පිටවීම.

නමුත්, මෙම රෝග ලක්ෂණ පිළිකාවක් නොවන වෙනත් රෝග තත්ත්ව වලදීද ඇතිවේ.

 

ගැබ්ගෙල පිළිකාව වැළඳීමට වැඩි අවදානමක් ඇති අය කවුද?

පහත සඳහන් කාන්තාවන්ට ගැබ්ගෙල පිළිකා වැළඳීමට වැඩි අවදානමක් පවතී.

  • අඩු වයසින් ලිංගික ජීවිතය ආරම්භ කල කාන්තාවන්ට
  • මානව පැපිලෝමා වෛරස් (Human papillomavirus or HPV) ආසාදනය වැළඳුනු කාන්තාවන්ට
  • පුරුෂයන් කිහිප දෙනෙකු සමග ලිංගික සේවනයේ යෙදෙන (බහුපුරුෂ සේවනය) කාන්තාවන්ට
  • කාන්තාවන් කිහිප දෙනෙකු සමග ලිංගික සේවනයේ යෙදෙන හෙවත් බහුස්ත්‍රී සේවනයේ යෙදෙන පුරුෂයෙකු සමග ලිංගිකව සම්බන්ධවන කාන්තාවන්ට
  • සක්‍රීයව දුම්පානයේ යෙදෙන හෝ අක්‍රීය දුම්පානයට ලක්වන කාන්තාවන්ට
  • ලිංගිකව බෝවන රෝග (Sexually transmitted diseases or STD) වැළඳී ඇති කාන්තාවන්ට
  • ඇතැම් රෝග සඳහා ප්‍රතිශක්තිය හීනකරවන හෙවත් අඩුකරන ඖෂධ ගන්නා කාන්තාවන්ට

පැප් පරීක්ෂාව (PAP test) යනු කුමක්ද?

පැප් පරීක්ෂාවක් යනු කාන්තා ඔබගේ ගැබ්ගෙල ආශ්‍රිතව කරන සරළ පරීක්ෂණයක් වේ. එය සිදුකිරීමේදී කිසිඳු වේදනාවක් හෝ අපහසුතාවයක් ඇති නොවේ. එමගින්, ඔබ ගැබ්ගෙල පිළිකාවක් වැළඳීමේ අවදානමක සිටින බව කලින් දැනගත හැක. එනම්, පැප් පරීක්ෂාවක් සිදුකිරීමෙන්, ගැබ්ගෙල පිළිකාවක පූර්ව පිළිකා අවධිය හඳුනාගැනීමට හැකියාව ලැබේ. මෙම පූර්ව පිළිකා අවධිය හඳුනාගතහොත්, ගැබ්ගෙල පිළිකාව සම්පූර්ණයෙන්ම සුවකල හැකිවේ. පැප් පරීක්ෂාව සඳහා පැමිණිය යුත්තේ මාස් ශුද්ධිය හෙවත් ඔසප් වීම නොමැති දිනයක දීය. මෙම පරීක්ෂාව මගින්, ගැබ්ගෙලෙහි ඇති පූර්ව පිළිකා සෛල හඳුනාගැනීමට හැකියාව ලැබේ.

පැප් පරීක්ෂාව සඳහා යොමුවිය යුත්තේ කවුද?

පැප් පරීක්ෂණය පවත්වන්නේ නිරෝගී කාන්තාවක් වන ඔබ වෙනුවෙන්මය. ඔබ වයස අවුරුදු 35 ක් හෝ එයට වැඩි විවාහක කාන්තාවක් නම්, ලඟම ඇති සුවනාරී සායනයෙන් පැප් පරීක්ෂණය සිදුකරවා ගතයුතුවේ. මෙයට අමතරව, ලිංගික සම්බන්ධතා පවත්වන විවාහක හෝ අවිවාහක සියලු කාන්තාවන් පළමු ලිංගික එක්වීමෙන් වසර 5 කට පසු පැප් පරීක්ෂණය සිදුකල යුතුය. සෑම පැප් පරීක්ෂණයකටම වසර 5 කට පසු ඊලඟ පැප් පරීක්ෂණය සිදුකල යුතුබව මතක තබාගන්න.

පැප් පරීක්ෂණය සඳහා යොමුවන්නේ කෙසේද?

රජයේ රෝහල් වල ඇති සුවනාරී හෝ නාරිවේදීය සායන මගින් සහ ඔබ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය (Medical Officer of Health Office or MOH Office) මගින් පවත්වන සුවනාරී සායන මගින් නොමිළේ පැප් පරීක්ෂණය සිදුකරගත හැක. එය ඔබට ලැබෙන වටිනා ප්‍රජා සේවයකි. ඔබට ආසන්නතම සුවනාරී සායනය පිළිබඳ වැඩි විස්තර (සායනය පවත්වන ස්ථානය, දිනය, සහ වේලාව ආදිය) ඔබේ වෛද්‍යවරයාගෙන්, ලඟම ඇති රෝහලෙන්, ඔබේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන්, හෝ ඔබේ ප්‍රදේශය බාර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගෙන් ලබාගත හැක. පිළිකා කලින් හඳුනා ගැනීමේ ජාතික සායනය මගින් ද පැප් පරීක්ෂණය සිදුකරවා ගතහැක. එම සායනය කොළඹ 5, නාරාහේන්පිට, ඇල්විටිගල මාවතේ, අංක 516 දරණ ස්ථානයේදී පැවැත්වේ. දුරකථන අංක 011-3159227 අමතා වැඩි විස්තර දැනගත හැක. පෞද්ගලික අංශයේ සායන මගින් ද පැප් පරීක්ෂණය සිදු කෙරේ.

පැප් පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව කුමක් කලයුතුද?

පැප් පරීක්ෂණයේ ප්‍රතිඵල සාමාන්‍ය නම්, එය සතුටුදායක පුවතකි. එවිට, ඔබගේ ඊලඟ පැප් පරීක්ෂණය වසර 5 කින් කල යුතුවේ. ඔබගේ පැප් පරීක්ෂණයේ ප්‍රතිඵල අසතුටුදායක නම්, ගැබ්ගෙල පිළිකාවක් ස්ථිරවම ඇතිදැයි හඳුනාගැනීමට සිදුකරණ පරීක්ෂණ සඳහා යොමුකිරීම සහ වැඩිදුර වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා යොමුකිරීම සිදුකරනු ඇත.

ගැබ්ගෙල පිළිකාවෙන් වැළකීමට ඔබට කලහැකි දේවල්

  • විවාහය තෙක් ලිංගික සම්බන්ධතා වලින් වැළකී සිටින්න.
  • ඔබගේ ලිංගික ඇසුර විශ්වාසවන්ත එක් සහකරුවෙකුට සීමා කරන්න.
  • සෑම විවාහක කාන්තාවක්ම සහ අවිවාහක නමුත් ලිංගිකව සම්බන්ධ වන සෑම කාන්තාවක්ම වයස අවුරුදු 35 දී ලඟම ඇති සුවනාරී සායනයෙන් පළමු පැප් පරීක්ෂණය සිදුකරවා ගත යුතුවේ.
  • සෑම පැප් පරීක්ෂණයකටම වසර 5 කට පසු ඊලඟ පැප් පරීක්ෂණය සිදුකර ගන්න.
  • සෑම අනාරක්ෂිත ලිංගික ඇසුරකදීම උපත් පාලන කොපු (Condoms) භාවිතා කරන්න.
  • ඔබ ගැබ්ගෙල පිළිකාවක් වැළඳීමට වැඩි අවදානමක් ඇති කාණ්ඩයට අයත් වේ නම්, වයස අවුරුදු 35 ට පෙර ද පැප් පරීක්ෂණය සිදුකරවා ගත යුතුවේ.
  • ගැබ්ගෙල පිළිකාව වලක්වා ගැනීම සඳහා මානව පැපිලෝමා වෛරස එන්නත (Human papillomavirus vaccine or HPV vaccine) ලබාගැනීම ද කලහැක. එය දැනට ලබාගත හැක්කේ පෞද්ගලික වෛද්‍ය සේවා මගින් පමණි. ලිංගික ජීවිතය ඇරඹීමට පෙර මෙම එන්නත ලබාගැනීමෙන් ද ගැබ්ගෙළ පිළිකාවෙන් වැළකීමට හැකියාව ලැබේ.

මූලාශ්‍රය: ජාතික පිළිකා මර්ධන වැඩසටහන

 

(ඡායාරූප අනුග්‍රහය: Hernán Piñera)

 

සබැඳි ලිපි:

පිළිකා ඇතිවීම වළක්වා ගනිමු!
මත්පැන් භාවිතය පිළිකා වලට අත වනයි!
ස්වයං පියයුරු පරික්ෂාව සිදුකරන්නේ කොහොමද?

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ගැබ්ගෙල පිළිකාව වළක්වා ගන්නේ කෙසේද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*