ඔබේ දරුවාට පූර්ව-දියවැඩියාව වැළඳීමට අවදානමක් තිබේද?

ඔබේ දරුවාට පූර්ව-දියවැඩියාව වැළඳීමට අවදානමක් තිබේද?

පූර්ව-දියවැඩියාව (Pre-diabetes) යනු එක්තරා ආකාරයක අවදානම් සංඥාවකි. දරුවාගේ රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ ගොස්, දියවැඩියාව වැළඳී ඇතැයි රෝග නිශ්චය කිරීමට අවශ්‍ය අවම මට්ටමට වඩා අඩු අගයක පැවතීම පූර්ව-දියවැඩියාව ලෙස හැඳින්වේ. ඇතැම් වෛද්‍ය විශේෂඥයින් මෙය එක් රෝග තත්ත්වයක් ලෙස ද හඳුන්වයි. ඔබේ දරුවාටත් පූර්ව-දියවැඩියාව ඇත්නම්, අනාගතයේදී ඔහුට හෝ ඇයට දියවැඩියාව සහ හදවත් රෝග වැළඳීමට වැඩි අවදානමක් ඇත. පූර්ව-දියවැඩියාව ඇති වැඩිහිටියෙකුට නම්, වසර 10 කදී හෝ එයට අඩු කාලයකදී දියවැඩියාව වැළඳීමට ලොකු අවදානමක් පවතී. එනම්, පූර්ව-දියවැඩියාව ඇති වැඩිහිටියෙකුට දියවැඩියාව වැළඳීමට ඇති සම්භාවිතාවය 5-10% ක් වේ. නමුත්, නවයොවුන් දරුවන්ට සහ කුඩා දරුවන්ට පූර්ව-දියවැඩියාව ඇතිවිට, එය යථා තත්ත්වයට පත්කරගැනීමට ඇති හැකියාව වැඩිහිටියෙකුට සාපේක්ෂව වැඩිය. ඔබේ දරුවාට පූර්ව-දියවැඩියාව වැළඳීමට අවදානමක් තිබේද?

දරුවන්ට පූර්ව-දියවැඩියාව ඇතිවීමට ඇති අවදානම වැඩිකරන සාධක කිහිපයක් පවතී. ඇතැම් සාධක වෙනස් කල නොහැකි අතර, සමහර සාධක වෙනස් කල හැක.

  • වයස
  • ස්ත්‍රී පුරුෂ භාවය
  • ජන වර්ගය
  • වැඩිවිය පැමිණීම
  • ස්ථුලභාවය
  • පවුලේ සාමාජිකයෙකුට දියවැඩියාව වැළඳී තිබීම
  • හෘත්-පරිවෘත්තීය (Cardiometabolic) අවදානම් සාධක

වයස

වයස 16-19 ක් වන දරුවන්ට වඩා, වයස 12-15 ක් වන දරුවන්ට පූර්ව-දියවැඩියාව වැළඳීමට ඇති අවදානම වැඩිය. මෙයට හේතුව, දරුවා වැඩිවිය පැමිණීමෙන් පසු මුල් කාලයේදී, ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වයට ශරීරයේ ඇතිවන ප්‍රතිරෝධය වැඩි අගයක් ගැනීම වියහැක.

ස්ත්‍රී පුරුෂ භාවය

පිරිමි දරුවන්ට පූර්ව-දියවැඩියාව වැළඳීමේ ප්‍රවණතාවය, ගැහැණු දරුවන්ට සාපේක්ෂව 2.4 ගුණයක් වේ.

ජන වර්ගය

පූර්ව-දියවැඩියාව ඇතිවීම සෑම රටකම දැකිය හැකිමුත්, ඇතැම් රටවල පුද්ගලයන්ට පූර්ව-දියවැඩියාව සහ දියවැඩියාව වැළඳීමට ඇති අවදානම වැඩිය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව, වයස 25 ට වැඩි පුද්ගලයන්ට පූර්ව-දියවැඩියාව ඇතිවීමේ අවදානම මාර්ෂල් දූපත්, කිරිබටි, සැමෝවා, සවුදි අරාබිය, කුක් දූපත් සමූහය, ඩොමිනිකා, ටොන්ගා, පලාවු, ජෝර්දානය, සහ සොලමන් දූපත් ආදී රටවල වැසියන්ට වැඩිය.

වැඩිවිය පැමිණීම

කුඩා දරුවන් සහ නවයොවුන් දරුවන් උසට සාපේක්ෂව අධික බරකින් යුක්ත නම්, වැඩිවිය පැමිණි පසු පූර්ව-දියවැඩියාව වැළඳීමට ඇති අවදානම සැලකිය යුතු ලෙස වැඩිවේ. සාමාන්‍යයෙන්, වැඩිවිය පැමිණීමට පෙර, ඔවුන්ට පූර්ව-දියවැඩියාව වැළඳීමට ඇති අවදානම අඩුය.

ස්ථුලභාවය

ස්ථුලභාවය හෙවත් තරබාරුකම, නවයොවුන් දරුවන්ට සහ කුඩා දරුවන්ට පූර්ව-දියවැඩියාව වැළඳීමට ඇති ප්‍රවණතාවය ඉහළ දමයි. සාමාන්‍යයෙන්, රුධිරයේ ග්ලූකෝස් හෙවත් සීනි මට්ටම පාලනය කිරීමට ඇති හැකියාව මැනීම සඳහා රුධිර පරීක්ෂණ කරණු ලැබේ. එහිදී, සීනි මට්ටම පාලනය කිරීමට ඇති හැකියාව අඩුවීම Impaired glucose tolerance හෙවත් IGT ලෙස හැඳින්වේ. වයස අවුරුදු 4-10 ක් වන තරබාරු දරුවන්ගේ මෙම තත්ත්වය ඇතිවීමේ ප්‍රවණතාවය 21% කි. වයස අවුරුදු 11-18 ක් වන තරබාරු නවයොවුන් දරුවන්ගේ එම තත්ත්වය ඇතිවීමේ ප්‍රවණතාවය 21% ක් විය. ශරීරයේ සාමාන්‍ය බරක් සහිත නවයොවුන් දරුවන්ට සාපේක්ෂව, තරබාරු නවයොවුන් දරුවන්ට පූර්ව-දියවැඩියාව වැළඳීමට ඇති හැකියාව 2.6 ගුණයක් වේ.

පවුලේ සාමාජිකයෙකුට දියවැඩියාව වැළඳී තිබීම

පවුලේ සාමාජිකයෙකුට දියවැඩියාව වැළඳී තිබීම, දියවැඩියාව මෙන්ම පූර්ව-දියවැඩියාව වැළඳීමට ඇති අවදානම සැලකිය යුතු ලෙස වැඩි කිරීමට හේතුවේ. දරුවාට ස්ථුලභාවය නොමැති වුවද, පවුලේ සමීපතම ඥාතියෙකුට දියවැඩියාව ඇත්නම්, පූර්ව-දියවැඩියාව වැළඳීමට ඇති අවදානම වැඩිය.

හෘත්-පරිවෘත්තීය (Cardiometabolic) අවදානම් සාධක

නවයොවුන් වියේ දරුවකුට අධික ලෙස කොලෙස්ටරෝල් පැවතීම (Hypercholesterolaemia), අධික ලෙස ට්‍රයිග්ලිසරයිඩ් නැමැති ශරීරයට හානිකර කොලෙස්ටරෝල් පැවතීම (Hypertriglyceridaemia), සහ අධික රුධිර පීඩනය වැනි හෘත්-පරිවෘත්තීය අවදානම් සාධක දෙකක් හෝ එයට වඩා වැඩි සංඛ්‍යාවක් පවතී නම්, එවැනි අවදානම් සාධක නොමැති නවයොවුන් දරුවකුට වඩා, පූර්ව-දියවැඩියාව ඇතිවීමේ අවදානම 2.7 ගුණයකින් වැඩිවේ. ඒ වගේම, රුධිරයේ ඉන්සියුලින් හෝමෝන මට්ටම අධිකව පවතින (Hyperinsulinaemia) නවයොවුන් දරුවකුට පූර්ව-දියවැඩියාව වැළඳීමට ඇති අවදානම, කිසිඳු හෘත්-පරිවෘත්තීය අවදානම් සාධක නොමැති නවයොවුන් දරුවකුට වඩා හතර ගුණයක් වේ. රුධිරයේ ඉන්සියුලින් හෝමෝන මට්ටම අධිකව පැවතීම යනු රුධිරයේ ඇති ග්ලූකෝස් මට්ටමට සාපේක්ෂව, ඉන්සියුලින් හෝමෝනයේ මට්ටම ඉහළ අගයක් ගැනීම වේ. මෙම තත්ත්වය ඇතිවීමට ශරීරයේ පරිවෘත්තීය ප්‍රතික්‍රියා වල ඇතිවන විවිධ තත්ත්ව සහ රෝග හේතුවිය හැක.

එමනිසා, ඔබේ කුඩා දරුවා හෝ නවයොවුන් දරුවා තරබාරු නම්, මවට හෝ පියාට දියවැඩියාව පවතී නම්, සහ වැඩිවිය පැමිණ ඇත්නම්, පූර්ව-දියවැඩියාව ඇතිදැයි පරීක්ෂා කරවා ගැනීම වැදගත් වියහැක. එය අනාගතයේදී, ඔබේ දරුවාට දියවැඩියාව හෝ හෘද රෝග වැළඳීමට ඇති අවදානම අඩු කරගැනීමට තබන පළමු පියවර ලෙස හැඳින්විය හැක.

 

(ඡායාරූප අනුග්‍රහය: Kowit Phothisan)

 

සබැඳි ලිපි:

ඔබේ දරුවා පූර්ව-දියවැඩියා තත්ත්වයෙන් මුදාගන්නේ කෙසේද?

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ඔබේ දරුවාට පූර්ව-දියවැඩියාව වැළඳීමට අවදානමක් තිබේද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*