සුවදිවි මධ්‍යස්ථාන වෙත ඔබ පියනැගිය යුත්තේ ඇයි?

සුවදිවි මධ්‍යස්ථාන යනු මොනවාද?

ශ්‍රී ලංකාවේ වසරකට සිදුවන මරණ සංඛ්‍යාවෙන් වැඩිම ප්‍රමාණයකට දායක වන්නේ බෝනොවන රෝගයි. ඒ වගේම, අපගේ ජීවිත වල ගුණාත්මකභාවය (Quality of life) සැලකිය යුතු ලෙස පහත දමන්නටත් මෙම බෝ නොවන රෝග වලට හැකියාව තිබෙනවා. බෝනොවන රෝග යනු මොනවාද? බෝනොවන රෝග යනු කෙනෙකුගෙන් තවත් කෙනෙකුට පැතිරීම හෙවත් බෝවීම සිදුනොවන රෝගයි. උදාහරණ කිහිපයක් ලෙස හෘදයාබාධය, දියවැඩියාව, අංශභාගය, අධික රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල් මට්ටම, පිළිකා, වකුගඩු රෝග, ඇදුම වැනි රෝග දැක්විය හැකියි. ශ්‍රී ලංකාව තුළ වසරකට සිදුවන මරණ සංඛ්‍යාවෙන් වැඩිම ප්‍රමාණයකට දායක වන්නේ හෘදයාබාධ බව ඔබ දන්නවාද? සුවදිවි මධ්‍යස්ථාන (Healthy Lifestyle Center/HLC) හරහා මෙවැනි බෝනොවන රෝග වැළඳීමට ඇති අවදානම අඩු කරගැනීම සඳහා ඔබට සහය වීම සිදුකරනවා.

සුවදිවි මධ්‍යස්ථාන (Healthy Lifestyle Center/HLC) යනු මොනවාද?

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය මගින්, රජයේ රෝහල් සහ මධ්‍යම බෙහෙත් ශාලා ආදියෙහි මෙම සුවදිවි මධ්‍යස්ථාන පිහිටුවා ඇත. සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයකම (Medical Officer of Health area/MOH area) අවම වශයෙන් සුවදිවි මධ්‍යස්ථාන 3 ක් වත් පිහිටුවීම සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉලක්කය වී ඇත. ඔබට සේවය සැලසීම සඳහා සුවදිවි මධ්‍යස්ථාන වල බෝනොවන රෝග වැළැක්වීම සහ සෞඛ්‍ය අධ්‍යාපනය ලබාදීම සඳහා පුහුණුව ලත් වෛද්‍ය නිලධාරීන් හෝ ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන්, හෙද කාර්ය මණ්ඩලය, සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය යොදවා ඇත. සුවදිවි මධ්‍යස්ථාන වලින් ඔබට සේවය සලසන්නේ සම්පූර්ණයෙන්ම නොමිළේ වීම ද විශේෂත්වයක්.

සුවදිවි මධ්‍යස්ථානය සේවය සලසන්නේ කා සඳහාද?

ඔබගේ වයස අවුරුදු 35 ත් 65 ත් අතර නම් සහ ඔබට දැනට හෘදයාබාධයක්, අංශභාගයක්, අධික රුධිර පීඩනය, හෝ දියවැඩියාව වැළඳී නැත්නම් හෝ එවැනි රෝගයක් ඇතැයි රෝග විනිශ්චය කර නැත්නම්, සුවදිවි මධ්‍යස්ථානයකින් සේවය ලබාගැනීමට ඔබ සුදුස්සෙක් වේ. එසේනම්, ඔබත් ඔබට ලඟම ඇති සුවදිවි මධ්‍යස්ථානයෙන් සේවය ලබාගැනීම සඳහා විමසන්න. සතියකට අවම වශයෙන් එක් දිනක්වත් සෑම සුවදිවි මධ්‍යස්ථානයක්ම විවෘතව පවතී. ඇතැම් සුවදිවි මධ්‍යස්ථාන දිනපතා විවෘතව පවතින අතර, ඇතැම් මධ්‍යස්ථාන සතියකට දින කිහිපයක් සේවාව සලසයි. දැනට දිවයින පුරා සුවදිවි මධ්‍යස්ථාන 800 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වේ. සෑම සුවදිවි මධ්‍යස්ථානයකම ඉලක්කය වී ඇත්තේ සතියකට අවම වශයෙන් ඔබ වැනි සේවාදායකයින් 20 කට වත් සේවය සැලසීමයි.

සුවදිවි මධ්‍යස්ථාන වලින් ඔබට ලැබෙන සේවාවන් මොනවාද?

  • රුධිර සීනි සහ කොලෙස්ටරෝල් මට්ටම පරීක්ෂා කිරීම.
  • ඔබගේ උස, බර, ඉණෙහි වට ප්‍රමාණය, ශරීර ස්කන්ධ දර්ශකය (Body Mass Index/BMI) ආදිය ගණනය කර, ඔබගේ ශරීරයේ අඩු බර, නිසිබර, අධික බර, හෝ ස්ථුලතාවය ඇතිදැයි පරීක්ෂා කෙරේ. එනම්, ඔබගේ පෝෂණ තත්ත්වය තක්සේරු කරයි.
  • ඔබගේ රුධිර පීඩනය, හෘදය, නාඩි, පෙනහලු, තයිරොයිඩ් ග්‍රන්ථිය ආදිය පරීක්ෂා කෙරේ.
  • ඉදිරි වසර 10 ක කාලය තුළ, ඔබට හෘදයාබාධයක් වැළඳීමට ඇති අවදානම කොපමණදැයි දැනගත හැක. එම අවදානම අවම කරගන්නා ආකාරය පිළිබඳව ද නිසි උපදෙස් ලබාගත හැක.
  • ඔබ නොදැනුවත්වම, දියවැඩියාව, අධික රුධිර පීඩනය, සහ අධික කොලෙස්ටරෝල් මට්ටම වැනි තත්ත්ව ඇත්නම්, එවැනි රෝග මූලික අවස්ථාවේදීම සොයාගත හැක.
  • ඔබ කාන්තාවක් නම්, ඇතැම් සුවදිවි මධ්‍යස්ථාන වල පියයුරු පිළිකා සහ ගැබ්ගෙල පිළිකා ආදිය සඳහා මූලික පරීක්ෂාවන් ද සිදුකෙරේ.
  • සුවදිවි මධ්‍යස්ථානයකදී ඔබට යම් රෝගයක් හෝ සෞඛ්‍ය ගැටළුවක් ඇතිබවට හඳුනාගතහොත්, නිසි පරිදි නිවැරදිව වෙනත් සායන, විශේෂඥ වෛද්‍ය සායන, හෝ රෝහල් වෙත ඔබව යොමුකරනු ඇත.
  • දැනට ඔබට බෝනොවන රෝග වැළඳීමට හේතුවිය හැකි දුම්පානය, බුලත්විට සැපීම, මත්පැන් පානය, ස්ථුලභාවය, සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර රටා, සහ ශාරීරිකව අක්‍රීයව ජීවත්වීම වැනි අවදානම් සාධක ඇතිදැයි විමසා බලනු ඇත.
  • ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ මූලික වාර්තාවක්/තක්සේරුවක් ලබාගත හැක.
  • බෝනොවන රෝග වැළඳීමට ඇති අවදානම අඩු කරගැනීම සඳහා ශරීරයේ බර පාලනය, සෞඛ්‍ය සම්පන්නව ආහාර ගැනීම, සෞඛ්‍ය සම්පන්න නොවන පුරුදු වලින් ඈත්වීම, ක්‍රියාශීලී වීම, සහ ශාරීරික ක්‍රියාකාරකම් වලට යොමුවීම ආදිය සම්බන්ධව සුවදිවි මධ්‍යස්ථාන වලින් ඔබට උපදෙස් ලබාදේ.
  • ඔබගේ සෞඛ්‍ය තත්ත්වය තක්සේරු කිරීමෙන් අනතුරුව, නැවත සුවදිවි මධ්‍යස්ථානයේදී පරීක්ෂා කිරීමට දිනයක් ලබාදෙනු ඇත. එය ඔබගේ සෞඛ්‍ය තත්ත්වය මත මාස 6 කින්, අවුරුද්දකින්, හෝ අවුරුදු 2 කින් වියහැක.
  • සුවදිවි මධ්‍යස්ථාන වලින් සායන පොත් සහ සෞඛ්‍ය සම්පන්න දිවියකට උපදෙස් අඩංගු පත්‍රිකා නොමිළේ සැපයේ.
  • සුවදිවි මධ්‍යස්ථාන වල සුවැති දිවියක් ගතකිරීම සඳහා වටිනා උපදෙස් අඩංගු වීඩියෝ පට නැරඹීමට පහසුකම් සපයා ඇත.
  • ඇතැම් සුවදිවි මධ්‍යස්ථාන වල ව්‍යායාම වැඩසටහන් ද ක්‍රියාත්මක වේ.

ඔබගේ වයස අවුරුදු 35 ත් 65 ත් අතර නම් සහ දැනට ඔබට දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදයාබාධ, හෝ අංශභාගය ඇතැයි රෝග නිශ්චය කර නොමැති නම්, ලඟම ඇති සුවදිවි සායනයෙන් විමසා, ලියාපදිංචි වී නොමිළේ සේවාව ලබාගන්න. ඔබගේ පවුළේ සාමාජිකයන්, මිතුරන්, සහ අසල්වාසීන් ද ඒ පිළිබඳව දැනුවත් කරන්න. දිගුකාලයක් නිරෝගීව ජීවත්වීමට ඇති වටිනා අවස්ථාවක් පැහැර හරින්න එපා. ඔබත් සුවැති දිවියක් උදෙසා ලඟම ඇති සුවදිවි මධ්‍යස්ථානය වෙත අදම පියනගන්න.

 

(ඡායාරූප අනුග්‍රහය: WHO)

 

සබැඳි ලිපි:

බොහෝ කල් ජීවත්වෙන්න ඉඟි කිහිපයක්…
බෝනොවන රෝග වලින් වැළකීමට ක්‍රියාශීලී වෙමු!
සුවැති දිවියකට අනුගමනය කලයුතු හොඳ පුරුදු 8 ක්

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "සුවදිවි මධ්‍යස්ථාන වෙත ඔබ පියනැගිය යුත්තේ ඇයි?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*