සුවැති දිවියකට අනුගමනය කලයුතු හොඳ පුරුදු 8 ක්

සුවැති දිවියකට අනුගමනය කලයුතු හොඳ පුරුදු 8 ක්

සුවැති දිවිය යනු මිළ කල නොහැකි දෙයකි. එසේ වුවද, සුවැති දිවියක් ලබාගැනීම සඳහා කිසිදු මුදලක් ගෙවිය යුතු නැත. ඒ සඳහා අවශ්‍ය වන්නේ හොඳ ආහාර ගැනීමේ රටාවක් අනුගමනය කිරීම සහ ජීවිතයේ කුඩා වෙනස්කම් කිහිපයක් ඇතිකර ගැනීම පමණි. සුවැති දිවියක් කරා යන ගමනේදී, ඔබට යම් මුදලක් ඉතිරි කරගැනීමටත් හැකියාව ලැබේ. ඒ ශරීරයට අහිතකර ආහාර බොහොමයක් මිළදී ගැනීමෙන් වැළකීමට හැකිවන නිසා සහ ලෙඩ රෝග වලට වැයකල යුතු මුදල් ප්‍රමාණය අවම වන නිසාය. නමුත්, සුවැති දිවියකින් ඔබට ලැබෙන ප්‍රතිලාභ බොහොමයක් වේ. සුවැති දිවියකට අනුගමනය කලයුතු හොඳ පුරුදු 8 ක් පිළිබඳව මෙම ලිපියෙන් පැහැදිලි කිරීමට බලාපොරොත්තු වේ.

(1) ශරීරයේ බර පාලනය කරන්න.

අධික බර හෝ ස්ථුලභාවය, හෘදයාබාධ, අංශභාගය, දියවැඩියාව, අධික රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල් මට්ටම, ඇතැම් පිළිකා, ඇදුම, ආත්‍රයිටිස් වැනි රෝග ගණනාවක්ම වැළඳීමේ අවදානම වැඩිකරන බැවින් ඔබේ ශරීරයේ නිසි බර පවත්වා ගන්න. ශරීර ස්කන්ධ දර්ශකය (Body mass index/BMI) 18.5 ත් 24.9 ත් අතර පවත්වා ගැනීම සෞඛ්‍ය සම්පන්න වේ. නිරෝගීව ජීවත්වීමට පවත්වාගත යුතු සුදුසුම අගය 23 වේ.

(2) අධික ලුණු භාවිතයෙන් වළකින්න.

ශ්‍රී ලංකාව තුළ පුද්ගලයෙක් දිනකට ආහාරයට ගන්නා ලුණු ප්‍රමාණයෙහි සාමාන්‍ය අගය, වැඩුනු පුද්ගලයෙකුට දිනකට අවශ්‍ය උපරිම ලුණු ප්‍රමාණය මෙන් දෙගුණයත්, තුන්ගුණයත් අතර ප්‍රමාණයක් බව ඔබ දන්නවාද? වැඩිහිටියෙකුට දිනකට අවශ්‍ය උපරිම ලුණු ප්‍රමාණය තේ හැන්දක් හෙවත් ග්‍රෑම් පහකි. එනම්, පවුලේ සාමාජිකයන් හතර දෙනෙකු සිටින නිවසක, ග්‍රෑම් 400 ලුණු පැකට්ටුවක් දින 20 ක් පමණ භාවිතා කලහැක. ඊට වඩා වැඩි ලුණු ප්‍රමාණයක් ඔබේ නිවසේ භාවිතා වේ නම්, විමසිලිමත් වන්න. වැඩිපුර ලුණු භාවිතය අගුණ වන්නේ ඇයි? අධික ලුණු භාවිතය අධික රුධිර පීඩනය, හෘද රෝග, සහ අංශභාගය වැළඳීමට ඇති අවදානම වැඩි කරයි.

(3) අධික සීනි භාවිතයෙන් වළකින්න.

ඔබ දියවැඩියාව රෝගය රහිත අයෙක් වුවත්, වැඩිහිටි අයෙක් නම්, දිනකට භාවිතා කලයුතු උපරිම සීනි ප්‍රමාණය තේ හැඳි 6 කි. එමනිසා, සීනි, පැණිරස, රසකැවිලි, සහ සරළ සීනි අඩංගු බීම වර්ග භාවිතා කිරීම අවම කරන්න. අධික සීනි භාවිතය ඔබට ස්ථුලභාවය, දියවැඩියාව, සහ දත් දිරායාම වැනි ගැටළු රාශියකට අත වනයි.

(4) ප්‍රමාණවත් ලෙස ව්‍යායාම කරන්න.

දිනකට අවම වශයෙන් විනාඩි 30 ක් වත් බැගින්, අවම වශයෙන් සතියකට දින 5 ක් වත්, වේගයෙන් ඇවිදීම, සෙමෙන් දිවීම, බයිසිකල් පැදීම, පිහිනීම, හෝ කය වෙහෙසෙන පරිදි ක්‍රීඩාවක නියැලීම කරන්න. දිනපතා ව්‍යායාම කිරීම වැදගත් වන්නේ ඇයි? එමගින්, ස්ථුලභාවය, දියවැඩියාව, හෘද රෝග, අංශභාගය, අධික රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල් මට්ටම, සහ ආත්‍රයිටිස් වැනි රෝග හටගැනීමට ඇති අවදානම සැලකිය යුතු ලෙස අඩුවේ.

(5) වැඩිපුර එළවලු සහ පළතුරු කන්න.

දිනකට එළවලු සහ පළතුරු වර්ග 5 ක් වත් අනුභව කරන්න. වැඩිහිටි අයෙකු දිනකට ගතයුතු එළවලු සහ පළතුරු ප්‍රමාණය ග්‍රෑම් 400 ක් පමණ වේ. වැඩිපුර එළවලු සහ පළතුරු අනුභව කිරීමෙන්, ස්ථුලභාවය, හෘද රෝග, අංශභාගය, දියවැඩියාව, අධික රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල් මට්ටම, ඇතැම් පිළිකා, මළ බද්ධය, අර්ශස් අමාරුව, අස්ථි දුර්වල වීම, සහ වකුගඩු වල ගල් ඇතිවීම වැනි රෝග ගණනාවක් ඇතිවීමේ අවදානම පහත වැටේ. එපමණක් නොව, ශරීරයේ ලෙඩ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව හෙවත් ප්‍රතිශක්තිය ද වැඩිවේ.

(6) තෙල් අධික ආහාර භාවිතය අවම කරන්න.

තෙල් අධික බැදුම් වර්ග සහ තෙම්පරාදු කරන ලද ආහාර අඩුවෙන් භාවිතා කරන්න. ආහාර පිසින විට යොදාගන්නා මිටිකිරි ප්‍රමාණය ද ක්‍රමයෙන් අඩුකරන්න. ආහාර ගන්නා විට ඔබගේ ආහාර පිඟානට එකතු කරගන්නා හොදි ප්‍රමාණය ද අඩුකරන්න. ශරීරයට අහිතකර ට්‍රාන්ස් මේදය (Trans fat) අඩංගු කෙටි කෑම (Short eats), කේක්, පේස්ට්‍රි වැනි බේකරි කෑම, සහ නැවත නැවත භාවිතා කරන ලද තෙලෙන් පිළියෙල කරන ලද ආහාර භාවිතයෙන් වලකින්න. අධික ලෙස තෙල් අඩංගු ආහාර ගැනීමෙන්, ස්ථුලභාවය, හෘද රෝග, අංශභාගය, සහ ඇතැම් පිළිකා වැළඳීමට ඇති අවදානම වැඩිවේ.

(7) මත්පැන් සහ දුම්පානයෙන් වළකින්න.

මත්පැන් සහ දුම්පානය මගින් ද ඇතැම් පිළිකා, හෘද රෝග, අංශභාගය, සහ දිගුකාලීන පෙනහළු රෝග ඇතිවීමේ අවදානම වැඩි වන බැවින්, ඒවායෙන් වැළකී සිටීම සුවැති දිවියකට හේතුවේ.

(8) රුධිර පීඩනය පරික්ෂා කරගන්න.

අධික රුධිර පීඩනය වැළඳුනු රෝගීන්ගෙන් වැඩි ප්‍රමාණයකට කිසිඳු රෝග ලක්ෂණයක් ඇති නොවේ. එමනිසා, වසරකට වරක් වත් වෛද්‍යවරයෙකු ලවා රුධිර පීඩනය පරීක්ෂා කරගත යුතුවේ. ඔබේ රුධිර පීඩනය රසදිය මිලිමීටර් 140/90 ට අඩුවෙන් පැවතිය යුතුවේ.

සුවැති දිවියක පදනම සෞඛ්‍ය සම්පන්න ආහාර සහ යහපත් ජීවන රටාවක් පවත්වා ගැනීම බව සිතට ගන්න.

 

(ඡායාරූප අනුග්‍රහය: Army Medicine)

 

සබැඳි ලිපි:

එළවලු සමග සුවැති දිවියක්…
සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සඳහා ඉඟි කිහිපයක්
ශරීරයේ බර අඩු කරගැනීම සඳහා ඉඟි කිහිපයක්…
ශරීරයේ බර අඩු කරගැනීමට සරල සැලසුමක්
බොහෝ කල් ජීවත්වෙන්න ඉඟි කිහිපයක්…

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "සුවැති දිවියකට අනුගමනය කලයුතු හොඳ පුරුදු 8 ක්" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*