ගර්භණී සමයේදී ඉරියවු නිවැරදි කරගන්නේ කෙසේද?

ගර්භණී සමයේදී ඉරියවු නිවැරදි කරගන්නේ කෙසේද?

සුවැති දිවියක් සඳහා ශරීරයේ නිවැරදි ඉරියවු සහ චලනයන් පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය අංගයක් වේ. ගර්භණී සමයේදී ශරීරයේ සිදුවන විවිධ වෙනස්කම් වලට මුහුණදීමට කාන්තාවකට සිදුවන අතර, බොහොමයක් කාන්තාවන් එම අවදියේදී වැරදි ඉරියවු සහ චලනයන් පවත්වාගෙන යාම දක්නට ලැබේ. එය ඇයගේ සෞඛ්‍යයට ද හානිකර වියහැක. එසේනම්, ගර්භණී සමයේදී ඉරියවු නිවැරදි කරගන්නේ කෙසේද?

ගර්භණී කාන්තාවක් නිවැරදි ඉරියවු සහ චලන පවත්වා ගැනීම ඉතා වැදගත්ය. මක්නිසාද, එමගින් ශරීරයේ ඇතිවන වේදනාවන් සහ අපහසුතාවයන් අවම කරගැනීමට හැකියාව ලැබේ. එයට අමතරව, නිවැරදි ඉරියවු සහ චලන පවත්වා ගැනීම මගින් සෞඛ්‍ය සම්පන්නව දරුවා බිහිකිරීමට හැකියාව ලැබෙන අතර, දරුවා බිහිකිරීමෙන් අනතුරුව තම ශරීරයේ හැඩය පවත්වා ගැනීමටත් එය ඉවහල් වේ. කෙසේ වෙතත්, නිවැරදි ඉරියවු සහ චලන පවත්වා ගැනීම, ගර්භණී සමයට පෙර සහ ගර්භණී සමයට පසුවත් කිරීම වැදගත් ය.

නිවැරදිව සිටගන්නේ සහ ඇවිදින්නේ කෙසේද?

ගර්භණී සමයේදී, උදරය ක්‍රමයෙන් විශාල වන බැවින්, බොහෝ කාන්තාවන් තම කොන්ද පිටුපසට මදක් නවාගෙන සිටගන්නා ආකාරය දැකිය හැකිය. එමනිසා, විශාල වන උදරය ඉදිරියට තල්ලුවන අතර, කොන්දේ මාංශ පේශි විඩාවට පත්වීම සිදුවේ. සිටගන්නා විට, කොන්ද සහ උරහිස් සෘජුව පවත්වා ගැනීමෙන් කොන්දේ ඇතිවන වේදනාව අඩු කරගැනීමට හැකියාව ලැබේ. ඇවිදින විටද, ශරීරයේ මෙම ඉරියවුව පවත්වා ගතයුතු අතර, අත් හොඳින් පැද්දෙන සේ ගමන්කල යුතුවේ. ඇවිදින විට, බිම බලාගෙන ගමන් කිරීමෙන් වැළකී හොඳින් ඉදිරිය බලා ඇවිදීම මගින්, මෙම ඉරියවුව නිවැරදිව පවත්වා ගැනීමට හැකියාව ලැබේ.

නිවැරදිව ඉඳගන්නේ කෙසේද?

ගර්භණී මවක් ඉඳගන්නා විට ද, කොන්ද කෙලින් තබාගත යුතුවේ. ඉඳගෙන සිටින විට, උකුළ සහ දණහිස් එකම මට්ටමේ පැවතිය යුතු අතර, දණහිස් සහ පාදයේ වළලුකර සිරස් රේඛාවක පිහිටිය යුතුවේ. මෙම ඉරියවුව මගින්, කොන්ද මත අතිරේක බරක් ඇතිවීම අවම වේ. ගර්භණී ඔබ වාඩිවී මේසයක් ඉදිරිපිට වැඩකරන්නේ නම්, ඔබේ කොන්ද කෙලින් තබාගෙන සිටීමට හැකි, සුදුසු ප්‍රමාණයේ මේසයක් තෝරාගන්න. ඉදිරියට හෝ පිටුපසට නැවී සිටීමෙන් වැළකීමට වග බලාගන්න. ඔබේ අත් ඔබට වඩාත් පහසු ආකාරයට තබාගෙන වැඩකරන්න.

ගර්භණී මව මේසයක් අසල සිටගෙන වැඩකරන්නේ නම්, එහිදී ද කොන්ද කෙලින් තබාගැනීම වැදගත්ය. එමනිසා, සිටගෙන වැඩකරන විට ඒ සඳහා සුදුසු උස ප්‍රමාණයක් ඇති මේසයක් තෝරාගත යුතුවේ. ඕනෑම වැඩක් කරන විට, මෙම ඉරියවුව පවත්වාගැනීම ගර්භණී ඔබ විසින් අමතක නොකල යුතුවේ. කෙසේවෙතත්, දෛනික කටයුතු කිරීමෙන් වැළකී සිටීම ද නොකල යුතු දෙයකි.

නිවැරදිව යමක් ඔසවන්නේ හෝ ඇහිඳින්නේ කෙසේද?

ගර්භණී ඔබට බිම තිබෙන යමක් ඇහිඳීමට හෝ එසවීමට අවශ්‍ය නම්, කොන්ද සහ උරහිස් කෙලින් තබාගෙන උකුළෙන් සහ දණහිස් වලින් පමණක් නැවී එය සිදුකරන්න. කොන්ද ඉදිරියට නවා එසේ කිරීමෙන්, කොන්දේ මාංශ පේශි අනවශ්‍ය පරිදි ඇදීම සහ විඩාවට පත්වීම සිදුවේ. දැනටමත් කොන්දේ වේදනාවක් පවතී නම්, බර එසවීමෙන් වැළකී සිටීම වඩා උචිත වේ. ඔබට අපහසුතාවයකින් තොරව යමක් එසවීමට නොහැකි නම්, එය තනිවම එසවීමට උත්සාහ කරන්න එපා. එවන් විටෙකදී, අන් අයගේ උපකාර පැතීම සුදුසුය.

ශරීරයේ නිවැරදි ඉරියවු පවත්වා ගැනීමෙන්, කොන්දේ මාංශ පේශි අනවශ්‍ය පරිදි විඩාවට පත්වීම සහ ඇදීම වළක්වාගත හැක. එමනිසා, නිවැරදි ඉරියවු ගර්භණී සමයේදී ඇතිවන කොන්දේ වේදනාව අඩු කරගැනීමට වැදගත් වේ. මෙම ඉරියවු ඔබට නුපුරුදු නම්, කණ්ණාඩියක් ඉදිරියේ සිටගෙන පුහුණුවීම කලහැක. කොන්ද කෙලින් තබාගැනීම සඳහා ඔබේ උරහිස් සහ උදරය නිවැරදි ඉරියවුවට ගෙනෙන විට, කොන්දේ සහ උදරයේ මාංශ පේශි ලිහිල් කරගැනීම (Relax) වැදගත් වේ. ඇතැම් කාන්තාවන් ඇවිදින විට, නිවැරදි ඉරියවු පවත්වා ගැනීම සඳහා බඳපටි වර්ගයක් (Maternity belts) පළඳිනු දැකිය හැක.

 

(ඡායාරූප අනුග්‍රහය: freestocks.org)

 

සබැඳි ලිපි:

සුවැති දරු උපතක් සඳහා ගර්භණී සමයේ ව්‍යායාම කරමු.
ගර්භණී මවක් නිවැරදිව නිදාගන්නේ කොහොමද?
ගර්භණී සමයේ කොන්දේ වේදනාව සමනය කරගන්නේ කෙසේද?
ගර්භණී සමයේ ව්‍යායාම කිරීම වැදගත්ද?

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

4 Comments on "ගර්භණී සමයේදී ඉරියවු නිවැරදි කරගන්නේ කෙසේද?"

  1. These articles are very useful. I gain a good knowledge about the correct sleeping postures during the pregnancy period.

    • වෛද්‍ය නාලක ප්‍රියන්ත | July 29, 2016 at 2:11 pm | Reply

      ඔබගේ ප්‍රතිචාරයට ස්තූතිවන්ත වන අතර, එය දිරිමත් කරවන සුලු බවද පැවසිය යුතුය.

  2. Aththatama godaaak hodai.mage palamu geb genima.me lipitika kiyeuwama mata loku awabodayak labaganna puluwan una.nalaka docter godaak pin..

    • වෛද්‍ය නාලක ප්‍රියන්ත | June 10, 2019 at 5:32 pm | Reply

      ඔබගේ ප්‍රතිචාරයට බොහෝම ස්තූතියි.

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*