තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩුවීම නිසා බර වැඩිවේ!

තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩුවීම නිසා බර වැඩිවිය හැකියි!

තයිරොයිඩ් ග්‍රන්ථිය යනු කුමක්ද? එය ශරීරයේ පවතින ප්‍රධාන අන්තරාසර්ග පද්ධතියට අයත් ග්‍රන්ථි විශේෂයකි. ඒවා හෝමෝන නිපදවන අතර, එම හෝමෝන කෙලින්ම රුධිරයට ශ්‍රාවය කරයි.’>අන්තරාසර්ග ග්‍රන්ථි (Endocrine glands) වලින් එකක් වන අතර, ගෙලෙහි ඉදිරි කොටසේ පිහිටා ඇත. මෙම ග්‍රන්ථිය ට්‍රයිඅයඩොතයිරොනින් (Triiodothyronine/T3) සහ තයිරොක්සින් (Thyroxine/T4) නැමැති හෝමෝන ශ්‍රාවය කරයි. තයිරොයිඩ් ග්‍රන්ථියේ හෝමෝන ශාවය වීම, මොළයේ පිහිටා ඇති පිටියුටරි ග්‍රන්ථියෙන් (Pituitary gland) ශ්‍රාවය කරන තයිරොයිඩ් උත්තේජක හෝමෝනය (Thyroid stimulating hormone/TSH) මගින් පාලනය කෙරේ. ආහාරයේ ඇති අයඩින් (Iodine), තයිරොයිඩ් හෝමෝන නිෂ්පාදනය සඳහා අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයකි.

 

තයිරොයිඩ් හෝමෝන වල ඇති වැදගත්කම

  • හෘද ස්පන්දනය සහ හෘදයේ රුධිරය පොම්ප කරන කාර්යක්ෂමතාවය වැඩිකරයි.
  • සාමාන්‍ය ශ්වසන චක්‍රය (Breathing cycle) පවත්වා ගැනීමට උපකාරී වේ.
  • බඩවැල් වල චලනයන් වැඩිකරයි.
  • රතු රුධිරාණු වලින් පටක වලට ඔක්සිජන් නිදහස් කිරීම වැඩිකරයි.
  • මාංශ පේශි ක්‍රියාකාරීත්වයේ වේගය වැඩිකරයි.
  • අක්මාවේ ග්ලූකෝස් නිෂ්පාදනය (Gluconeogenesis) සහ ආහාර ජීර්ණ පද්ධතියෙන් ශරීරයට ග්ලූකෝස් අවශෝෂණය කිරීම වැඩිකරයි. එමගින්, රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩිවේ.
  • මේද පටක වල ඇති මේදය බිඳවැටීම වැඩිකරයි.
  • මූලික වශයෙන්, තයිරොයිඩ් හෝමෝන මගින් ශරීරයේ වර්ධනය සහ පරිවෘත්තීය ප්‍රතික්‍රියා යාමනය කිරීම සිදුකරයි. එහිදී, ශරීරයේ ශක්ති පරිභෝජනය ද යාමනය වේ.

 

තයිරොයිඩ් ග්‍රන්ථියේ අඩු ක්‍රියාකාරීත්වය (Hypothyroidism)

තයිරොයිඩ් ග්‍රන්ථියේ අඩු ක්‍රියාකාරීත්වය යනු ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට තයිරොයිඩ් හෝමෝන නිපදවීමට තයිරොයිඩ් ග්‍රන්ථියට නොහැකි වීමයි. එවිට, හෘද ස්පන්දන වේගය සහ හෘදයේ රුධිරය පොම්ප කිරීමේ හැකියාව අඩුවේ. අක්මාවේ ග්ලූකෝස් නිෂ්පාදනය, බඩවැල් වල චලනයන් සහ ග්ලූකෝස් අවශෝෂණය ද අඩුවන අතර, එමගින් ශරීරය අඩු ශක්ති පරිභෝජන මට්ටමකට පත්වේ. තවද, තයිරොයිඩ් ග්‍රන්ථියේ අඩු ක්‍රියාකාරීත්වය නිසා මාංශ පේශි ක්‍රියාකාරීත්වයේ වේගය සහ රතු රුධිරාණු මගින් පටක වලට ඔක්සිජන් නිදහස් කිරීම අඩුවේ.

එමනිසා, තයිරොයිඩ් ග්‍රන්ථියේ අඩු ක්‍රියාකාරීත්වය, ශරීරයේ අඩු මූලස්ථ පරිවෘත්තීය සීඝ්‍රතාවයක් (Basal metabolic rate) සහ අඩු ශක්ති පරිභෝජනයක් ඇතිවීමට හේතුවේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ආහාර වලින් වැඩි කැලරි අතිරික්තයක් හටගැනීම සිදුවේ. මෙම අතිරික්ත කැලරි ප්‍රමාණය මේද පටක වල මේදය ලෙස තැන්පත් වේ. තයිරොයිඩ් ග්‍රන්ථියේ අඩු ක්‍රියාකාරීත්වය මගින් මේද පටක වල මේදය බිඳවැටීමේ ක්‍රියාවලියද අඩුකරන බැවින්, ක්‍රමයෙන් ශරීරයේ බර වැඩිවීම සිදුවේ.

තයිරොයිඩ් ග්‍රන්ථියේ අඩු ක්‍රියාකාරීත්වය නිසා ඇතිවන රෝග ලක්ෂණ

  • ශරීරයේ බර වැඩිවීම.
  • අසාමාන්‍ය වෙහෙසකාරී බවක් දැනීම.
  • ආහාර රුචිය අඩුවීම.
  • පරිසරයේ ඇතිවන සීතලට ඔරොත්තු නොදීම (Cold intolerance).
  • මතකය අඩුවීම.
  • මානසික තත්ත්වයක් වන විෂාදය (Depression) ඇතිවීම.
  • ගලගණ්ඩය (Goitre) හෙවත් ගෙලෙහි ගෙඩියක් ලෙස නෙරා ඒම.
  • ලිංගික ආශාව අඩුවීම.
  • දිවාකාලයේ අධිකව නිදිමත ඇතිවීම සහ නිදාගැනීම.
  • ඇස් ඉදිමීම.
  • සන්ධි වල වේදනාව (Arthralgia).
  • මාංශ පේශිවල වේදනාව (Myalgia).
  • සම වියළි සහ රළු වීම.
  • කෙස් වියළි සහ කැඩෙනසුලු වීම.
  • ඇහිබැම වල රෝම අඩුවීම.
  • මළබද්ධය.
  • ඔසප් වීමේදී අධිකව රුධිරය වහනය වීම (Menorrhagia) හෝ කලාතුරකින් ඔසප් වීම (Oligomenorrhoea).
  • මාංශ පේශි දුර්වලවීම සහ තද ස්වභාවයක් ගැනීම.
  • ඇතැම් මානසික රෝග සහ තත්ත්වයන් හටගැනීම.
  • ඇසීම අඩුවීම.
  • සිහි නැති තත්ත්වයකට පත්වීම (Coma).

ඔබට තයිරොයිඩ් ග්‍රන්ථියේ අඩු ක්‍රියාකාරීත්වය නිසා ඇතිවන රෝග ලක්ෂණයක් හෝ කිහිපයක් ඇත්නම්, ඔබගේ වෛද්‍යවරයා මුණගැසීම කලයුතුවේ. එවිට, ඔබගේ වෛද්‍යවරයා රුධිර පරීක්ෂාවන් කිහිපයක් කිරීමට නිර්දේශ කරනු ඇත. ඒවා නම්,

  • තයිරොයිඩ් උත්තේජක හෝමෝන (Thyroid stimulating hormone/TSH) මට්ටම.
  • නිදහස් තයිරොක්සින් (Free thyroxine/T4) මට්ටම.
  • නිදහස් ට්‍රයිඅයඩොතයිරොනින් (Free triiodothyronine/T3) මට්ටම.
  • තයිරොයිඩ් ප්‍රතිදේහ.

මෙම පරීක්ෂණ මගින් තයිරොයිඩ් ග්‍රන්ථියේ අඩු ක්‍රියාකාරීත්වය හඳුනාගත හැක. ඉන්පසු, එම තත්ත්වය සඳහා පහසුවෙන් ප්‍රතිකාර කලහැක.

 

(ඡායාරූප අනුග්‍රහය: Tony Alter)

 

© 2016, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩුවීම නිසා බර වැඩිවේ!" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*