ඔබේ දරුවා නිතර පැණිරස කනවාද?

ඔබේ දරුවා නිතර පැණිරස කනවාද?

සාමාන්‍යයෙන්, බොහෝ දරුවන් දිනකට සැලකියයුතු ප්‍රමාණයක් පැණිරස කෑමට හුරුවී සිටිනවා. ඇතැම් දෙමව්පියනුත් තම දරුවා කොතරම් පැණිරස කන්නේදැයි සැලකිලිමත් වන්නේ නැහැ. රසකැවිලි වල සරළ සීනි විශාල ප්‍රමාණයක් අන්තර්ගත වන අතර, ඔබේ දරුවා නිතර පැණිරස කනවා නම්, ඔහුට හෝ ඇයට තරබාරුවීම, දත් දිරායාම, සහ හැසිරීමේ වෙනස්කම් ඇතිවීම ආදී සෞඛ්‍ය ගැටළු ඇතිවන්නට පුලුවන්. වාසනාවකට මෙන්, මෙම ගැටළු වළක්වාගැනීමට හැකියාව තිබේ. ආහාර ගැනීමේ සහ ජීවන රටාවේ වෙනස්කම් කිහිපයක් ඇතිකර ගැනීමෙන් එවැනි සංකූලතා මගහරවා ගැනීමට හැකියාව ඇත.

තරබාරුකම

දරුවන් අතර තරබාරුකම ඇතිවීමේ ප්‍රවණතාවය ඉහළ යමින් පවතී. දරුවන් කුඩා කලම තරබාරු වීමට හේතුවන එක් ප්‍රධාන සාධකයක් ලෙස සරළ සීනි අඩංගු ආහාර හැඳින්විය හැකියි. ඔබේ දරුවා දිනකට පැණිරස විශාල ප්‍රමාණයක් අනුභව කරනවා නම්, එයින් ලැබෙන කැලරි වලින් කොටසක් එදිනෙදා වැඩකිරීමට අවශ්‍ය ශක්තිය සපයන අතර, ඉතිරිය මේදය ලෙස ශරීරයේ තැන්පත් වේ. එමනිසා, ඔබේ දරුවා ක්‍රමයෙන් බර අධික වීම හෝ තරබාරු වීම සිදුවිය හැක. කුඩා අවධියේම බර වැඩිවීම හෝ තරබාරු වීම, හෘදයාබාධ, අධික කොලෙස්ටරෝල්, අධික රුධිර පීඩනය, අංශභාගය, පර්යන්ත වාහිනික රෝගය (Peripheral vascular disease/PVD), ඇදුම, දියවැඩියාව, ආත්‍රයිටිස්, සහ අවරෝධක නිදි ඇප්නියාව/නෛරානය (Obstructive sleep apnoea) වැනි රෝග ඇතිවීමට ඇති අවදානම වැඩිකරයි. මෙම සංකූලතා කෙටිකාලයක් තුළ හෝ කල්ගතවී වර්ධනය වීමට පුලුවන. කුඩාකල තරබාරු වීම මගින් දරුවා සමාජය ඉදිරියේ අපහසුතාවයට පත්විය හැකි අතර, දරුවාට තමා කෙරෙහි ඇති විශ්වාසය සහ ආත්ම අභිමානය සැලකියයුතු ලෙස අඩුවේ. එයට අමතරව, බඩවැලේ, ගලනාලයේ, පියයුරු වල, ගැබ් ගෙලේ, ගර්භාෂයේ, ඩිම්බ කෝෂ වල, අග්න්‍යාශය හෙවත් ඇලදිවේ, වකුගඩු වල, පුරස්ථි ග්‍රන්ථියේ, තයිරොයිඩ් ග්‍රන්ථියේ, සහ පිත්තාශයේ පිළිකා ඇතිවීමේ අවදානම ද, කුඩාකල තරබාරු වීමෙන් ඉහළ යයි.

දත් දිරායාම

දත් දිරායාම ද, දරුවන් අතර බහුලව දක්නට ලැබෙන ගැටළුවකි. දිගුකාලීනව වැඩිපුර සීනි සහිත ආහාර පරිභෝජනය කිරීමෙන් දත් දිරායාම වැඩිවී ඇත. ඝන ආහාර, බීම වර්ග, කිරි, සහ මව්කිරි වල ඇති සීනි දත් දිරායාමට මුලපුරයි. කුඩා දරුවා නළවා ගැනීම සඳහා ඇතැම් මව්වරුන් දරුවාගේ සූප්පුවට සීනි හෝ පැණි ආලේප කරයි. ඇතැමුන්, බෝතලයෙන් කිරි හෝ බීම වර්ග ලබා දෙයි. සමහර මව්වරුන් දරුවා නින්දට යනතුරු මව්කිරි ලබාදීම සිදුකරයි. නමුත්, මේ සියල්ලම දරුවාගේ දත් දිරායාමට සැලකියයුතු ලෙස දායක වන බව නොසිතීම අවාසනාවන්ත තත්ත්වයකි. මුඛය තුළ සීනි විනාඩි 20 කට වඩා පැවතුනහොත්, මුඛයේ සිටින බැක්ටීරියා එම සීනි භාවිතාකර අම්ල නිපදවයි. එම අම්ල මගින් දත්වල එනැමලය (Enamel) ක්‍රමයෙන් දිරාපත් වේ. ඔබේ දරුවාගේ දත් ආරක්ෂා කරගන්නේ කෙසේද? ඒ සඳහා, හිතකර ආහාර රටාවකට දරුවා හුරු කිරීම සහ නිවැරදිව දත් මැදීම යන සාධක දෙක ඉතාම වැදගත් වේ.

හැසිරීමේ ඇතිවන ගැටළු

සීනි පරිභෝජනය ඔබේ දරුවාගේ ක්‍රියාකාරීත්වය සහ හැසිරීම වෙනස් වීමට බලපාන බව ඔබ නොදැන සිටින්නට ඇත. දරුවා සීනි අඩංගු ආහාරයක් ගත් විට, දරුවාගේ රුධිරයේ සීනි මට්ටම ක්ෂණිකව ඉහළ යයි. එවිට, රුධිරයේ සීනි මට්ටම පහත දැමීම සඳහා දරුවාගේ අග්න්‍යාශය හෙවත් ඇලදිව ඉන්සියුලින් (Insulin) නැමැති හෝමෝනය වැඩිපුර ශ්‍රාවය කරයි. එමගින්, රුධිරයේ ඇති සීනි මට්ටම පහත වැටෙන අතර, මෙම ක්‍රියාවලිය දරුවාගේ අධිවෘක්ක ග්‍රන්ථි වලින් ඇඩ්‍රිනලින් (Adrenaline) නම් වූ හෝමෝනයක් ශ්‍රාවය වීමට හේතුවේ. ඇඩ්‍රිනලින් මගින් රුධිරයේ සීනි මට්ටම වැඩිපුර පහත වැටීම වළකනු ලැබේ. කෙසේ වෙතත්, ඇඩ්‍රිනලින් හෝමෝනය දරුවාගේ අධික්‍රියාකාරීත්වයක් ඇතිකිරීමට හේතුවේ. සාමාන්‍යයෙන්, වැඩිහිටියන්ගේ සිදුවනවාට වඩා, සාපේක්ෂව වැඩි සීනි මට්ටමකදී කුඩා දරුවන් තුළ ඇඩ්‍රිනලින් ශ්‍රාවය වේ. යම් හෙයකින්, දරුවාගේ රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය අගයට වඩා පහත වැටුනහොත් (Hypoglycaemia), අධිකව දහඩිය දැමීම, වෙව්ලීම, හැසිරීම වෙනස්වීම, සහ සිතීමේ හැකියාව අඩුවීම සිදුවනු ඇත.

සරළ සීනි භාවිතය අඩුකරන්නේ කෙසේද?

සරළ සීනි අඩංගු ආහාර හැකිතරම් සීමාකරන්න. සංකීර්ණ කාබෝහයිඩ්‍රේට්, තෙල් අඩු ප්‍රෝටීන්, සහ සෞඛ්‍ය සම්පන්න මේදය අඩංගු ආහාර ගැනීමට ඔබේ දරුවා හුරුකරන්න. කුරුට්ට සහිත ධාන්‍ය හා එවායින් සාදන ආහාර, පළතුරු, සහ එළවලු වල සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් බහුලව ඇත. රතු කැකුලු සහල් වලද සංකීර්ණ කාබෝහයිඩ්‍රෙට් අඩංගු වේ. සංකීර්ණ කාබෝහයිඩ්‍රේට්, සරළ සීනි වලට වඩා සෙමින් ජීර්ණය වේ. එමනිසා, ඒවා රුධිරයේ සීනි මට්ටම ක්ෂණිකව ඉහළ දමන්නේ නැත. සාමාන්‍යයෙන්, මුඛයේ වෙසෙන බැක්ටීරියා වලට සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් භාවිතා කරමින් අම්ල නිපදවීම අපහසු වේ. එමනිසා, දරුවාගේ දත් දිරායාමට ඇති ප්‍රවණතාවයද අඩුවේ. තෙල් අඩු ප්‍රෝටීන් වන බිත්තර, සම රහිත කුකුලු මස්, සහ මේදය-අඩු හෝ මේදය රහිත කිරි නිෂ්පාදන දරුවාගේ මාංශ පේශි වර්ධනයට උපකාරී වේ. එමගින්, දරුවාගේ ශරීරය තුළ සීනි භාවිතයෙන් ශක්තිය නිපදවන ප්‍රමාණය වැඩිවන නිසා, ශරීරයේ මේදය තැන්පත්වීම අඩුවේ. ප්‍රෝටීන් ආහාරයට ගැනීම මගින්, ඉක්මනින් කුස පිරී ඇතිබව දරුවාට හැඟෙන නිසා, වැඩිපුර ආහාර ගැනීම ද වැළකේ. ඔබේ දරුවාට කජු, රටකජු, අලිගැටපේර, මාළු, ඔලිව් තෙල්, සහ කැනෝලා තෙල් වැනි සෞඛ්‍ය සම්පන්න මේදය සහිත ආහාර ලබාදෙන්න. පළතුරු, එළවලු, සහ කුරුට්ට සහිත ධාන්‍ය වල තන්තු බහුල බැවින් සෙමින් ජීර්ණය වේ. එවිට, රුධිරයේ සීනි මට්ටම ක්ෂණිකව ඉහළ යාම වැළකේ. වෙළඳපලෙහි ඇති පැණිබීම සහ පළතුරු බීම වර්ග වල සරළ සීනි බහුල බැවින්, ඒවා දරුවාට ලබාදීමෙන් වළකින්න. ඒ වෙනුවට සීනි එකතු නොකරන ලද නැවුම් පළතුරු යුෂ, ජලය, හෝ නැවුම් කිරි පානය කිරීමට දරුවා යොමුකරන්න.

ඔබේ දරුවා නිතර ශාරීරික ක්‍රියාකාරකම් සහ ක්‍රීඩා වලට සහභාගී වීමට උනන්දු කරවන්න. ඒ සඳහා දෙමව්පියන් සහ පවුලේ අනෙක් සාමාජිකයන් ද එක්වේ නම්, ඔබේ දරුවා ක්‍රීඩා කිරීම හෝ ව්‍යායාම කිරීම විනෝදයෙන් කරනු ඇත. එවිට, දරුවා එය දිගටම කරගෙන යාමට ඇති උනන්දුවද වැඩිවේ. නිතර ශාරීරික ක්‍රියාකාරකම් වල නිරතවීම, කුඩාකලදී තරබාරුවීම සහ දරුවාගේ රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම වැළැක්වීමට සමත් වේ.

 

(ඡායාරූප අනුග්‍රහය: Thomas Kohler)

 

සබැඳි ලිපි:

දරුවන් තරබාරුවීම වැඩිවන ලකුණු!
සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සඳහා ඉඟි කිහිපයක්
එළවලු සමග සුවැති දිවියක්…

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ඔබේ දරුවා නිතර පැණිරස කනවාද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*