මානසික ආතතිය මාරාන්තික විය හැකියි

මානසික ආතතිය මාරාන්තික විය හැකියි

අප සෑම කෙනෙකුටම ජීවත් වනවිට යම් ප්‍රමාණයකට මානසික ආතතිය පවතිනවා. මක්නිසාද, එය එදිනෙදා වැඩ කිරීම සඳහා අවශ්‍ය වන දෙයකි. කෙසේ වුවත්, දිගුකාලීන මානසික ආතතිය නිහඬ මාරයෙක් විය හැකියි. මානසික ආතතිය ඇතිවන අවස්ථා වලදී, අපේ ශරීරයේ ඇති අධිවෘක්ක ග්‍රන්ථි (Adrenal glands) වලින් කෝටිසෝල් (Cortisol) නැමැති ආතති හෝමෝනයක් (Stress hormone) වැඩිපුර ශ්‍රාවය වේ. මෙම ක්‍රියාවලිය රුධිරයේ ඇති කෝටිසෝල් මට්ටම වැඩිකරයි. මානසික ආතතිය මාරාන්තික වන්නේ ඇයි දැයි මදක් විමසා බලමු.

කෝටිසෝල් මට්ටම ඉහළ යාම කෙටිකාලීනව පහත සඳහන් වාසි ඇතිකරයි.

  • මොළයේ ඥානය හා සම්බන්ධ ක්‍රියාකාරීත්වය වැඩිවේ. විශේෂයෙන්, කෙටිකාලීන මතකය (Short-term memory) වැඩිදියුණු වේ.
  • කෝටිසෝල් හෝමෝනය ශරීරයේ ඇති බහිස්‍රාවී ද්‍රව්‍ය සහ විෂ රසායන ද්‍රව්‍ය ශරීරයෙන් ඉවත්කිරීම සඳහා අක්මාවට සහය වේ.
  • රුධිර පීඩනය පාලනයට උදවු වේ.
  • ශක්තිය වැඩිකරයි.
  • ශරීරයේ ප්‍රතිශක්තිය වැඩිකරයි.
  • ශරීරයේ ඇති ප්‍රදාහයන් (Inflammations) අඩුකරයි.
  • වේදනාවට ඇති සංවේදීතාවය අඩුකරයි.
  • ශරීරයේ අභ්‍යන්තර පරිසරය ස්ථායීව පවත්වා ගැනීමට උදවු කරයි (Homeostasis).

දිගුකාලීන මානසික ආතතිය මගින් රුධිරයේ කෝටිසෝල් මට්ටම දිගටම ඉහළ අගයක පවත්වා ගනී. එය විවිධ අතුරු ආබාධ සහ සංකූලතා ඇතිවීමට මග පාදයි. ඒවායින් සමහරක් මාරාන්තික විය හැකිය.

රුධිරයේ කෝටිසෝල් මට්ටම දිගටම ඉහළ අගයක පැවතීම තරබාරුකම ඇතිවීමට හේතුවකි. විශේෂයෙන්, කෝටිසෝල් මගින් උදරයේ තෙල් තැන්පත් වීම වැඩිකරයි. තරබාරුකම හදවත් රෝග, අධික රුධිර පීඩනය, අවරෝධක නිදි ඇප්නියාව/නෛරානය (Obstructive sleep apnoea), ඇතැම් පිළිකා, දියවැඩියාව, අංශභාගය, අක්මා රෝග, සහ පිත්තාශයේ රෝග ඇතිවීමට ඇති අවදානම සැලකිය යුතු ලෙස ඉහළ දමයි.

එයට අමතරව, දිගටම කෝටිසෝල් මට්ටම වැඩිවී පැවතීම නිසා අධික රුධිර පීඩනය මෙන්ම, කොලෙස්ටරෝල් තැන්පත් වී රුධිර නාල සිහින්වීමේ රෝගය ද (Atherosclerosis) ඇතිවේ. ඒවා හදවත් රෝග, හදවත අසාමාන්‍ය ලෙස විශාලවීම (Cardiomegaly), හෘදය අකර්මණ්‍ය වීම (Heart failure), උපුලුව (Aneurysm), වකුගඩු රෝග, සහ අංශභාගය ඇතිකරන අවදානම් සාධක (Risk factors) ලෙස ක්‍රියාකරයි.

ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද, වසරකට සිදුවන මරණ සංඛ්‍යාවෙන් වැඩිම ප්‍රමාණයකට දායක වන්නේ හෘදයාබාධයන්ය. මානසික ආතතිය හෘදයාබාධ ඇතිවීම සඳහා එක් හේතුවක් බව දැන් ඔබට වැටහෙනු ඇත.

කෝටිසෝල් මගින් ප්‍රදාහයන් ඇතිකරන රසායනික ප්‍රතික්‍රියා සිදුවීම අඩුකරයි. මෙම ප්‍රතික්‍රියාවන් ශරීරයේ ප්‍රතිශක්තිය සඳහා වැදගත් වන බැවින්, කෝටිසෝල් හෝමෝනයට ඔබේ ප්‍රතිශක්තිය අඩුකිරීමට හැකියාව ඇත. එමනිසා, දිගුකාලීන ආතතිය, ආසාදන වැළඳීමට ඇති අවදානම වැඩිකිරීමට සමත් වේ.

කෙටිකාලයකට රුධිරයේ කෝටිසෝල් මට්ටම ඉහළ යාම, කෙටිකාලීන මතකය වැඩිකරන මුත්, දිගුකාලීනව කෝටිසෝල් හෝමෝනය වැඩිවීමෙන් බුද්ධිය සම්බන්ධ මොළයේ ක්‍රියාකාරීත්වය අකර්මණ්‍ය වීම සහ විෂාදය (Depression) ඇතිවිය හැක. සියදිවි නසාගැනීම සඳහා එක් හේතුවක් ලෙස දිගුකාලීන මානසික ආතතිය හැඳින්විය හැක.

දිගුකාලීනව රුධිරයේ කෝටිසෝල් හෝමෝන මට්ටම ඉහළ යාම නිසා ඔබේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අවුල් සහගත තත්ත්වයකට පත්වන අතර, රුධිරයේ සීනි හෙවත් ග්ලූකෝස් මට්ටම ඉහළ යෑම ද සිදුවේ. මෙම ක්‍රියාවලිය නිසා දියවැඩියාව වැළඳීම සිදුවිය හැක. දියවැඩියාව මගින් හෘද රෝග, අංශභාගය, පර්යන්ත වාහිනික රෝගය, වකුගඩු රෝග (Nephropathy), ස්නායු රෝග (Neuropathy), පෙනීම දුර්වල වීම (Retinopathy and cataract), ආහාර ජීර්ණ පද්ධතියේ රෝග, සහ සමේ රෝග ඇතිවීමට ඇති අවදානම වැඩිවේ.

දිගුකාලීන මානසික ආතතිය මාරාන්තික විය හැක. එමනිසා, මානසික ආතතිය පාලනය කරගන්නේ කෙසේද යන්න අධ්‍යයනය කිරීම සහ එය පාලනය කිරීම සඳහා නිසි ප්‍රතිකර්ම අනුගමනය කිරීම මගින් නිරෝගී දිවියක් ගතකිරීම අපහසු දෙයක් නොවනු ඇත. ජීවිතය සංකීර්ණ කරගැනීමෙන් වැළකී, සරළ ලෙස ජීවත්වීම මේ සඳහා හොඳම ප්‍රතිකර්මයක් ලෙස දැක්විය හැක.

 

(ඡායාරූප අනුග්‍රහය: vidrio)

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "මානසික ආතතිය මාරාන්තික විය හැකියි" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*