ඔබගේ ගෙල හෝ දරුවාගේ ගෙල කලු පැහැ වෙලාද?

ඔබගේ ගෙල හෝ දරුවාගේ ගෙල කලු පැහැ වෙලාද?

ඔබේ ගෙල දෙපස, ගෙල පිටුපස, දණහිස්, වැලමිට, අතේ මිට, සන්ධි අවට වැනි සමේ රැලි හා නැමුම් ඇති ස්ථාන වල අඳුරු පැහැයක් ඇතිවී, සම ඝනකම් වී, ලප හෝ ඉරි ලෙස දිස්වෙනවාද? මෙය ඇකන්තෝසිස් නයිග්‍රිකන්ස් (Acanthosis nigricans) නම්වූ සමෙහි ඇතිවන තත්ත්වයකි. ඔබගේ ගෙල හෝ දරුවාගේ ගෙල කලු පැහැ වෙලාදැයි විමසිලිමත් වන්න.

මෙය ගෙලෙහි බහුලව දිස්වේ. ඇතැම් අයගේ අත්ල, යටි පතුල, ඉකිලි, කිහිලි, සහ තොල් වලද මෙය දක්නට ලැබේ. ඉතාමත් කලාතුරකින්, සමෙහි නැමුම් හෝ දාර නොමැති මුහුණ, පිට, අත්, සහ පාද වැනි ස්ථාන වලද මෙම තත්ත්වය ඇතිවිය හැක. ඇතැම් විට, සම ඝන නොවී, මෘදුව විල්ලුද ආකාරයට ද පැවතිය හැක. සමේ මෙම තත්ත්වය ඇති පෙදෙස් වල වර්ණය සෙමෙන් වෙනස් වේ. ඒ සඳහා මාස ගණනක් හෝ ඇතැම් විට අවුරුදු ගණනක් ගතවිය හැක. නමුත්, ඔබේ දරුවාගේ සමෙහි වර්ණය ඉක්මනින් වෙනස් වූයේ නම්, ඔබේ දරුවාව ඉක්මනින්ම වෛද්‍යවරයෙකුට පෙන්වීම අවශ්‍ය වේ. මක්නිසාද, එය බරපතළ රෝගයක පෙරනිමිත්තක් වියහැකි බැවිනි.

ඇකන්තෝසිස් නයිග්‍රිකන්ස් යනු ආසාදනයක් නොවේ. එහෙයින්, මෙම තත්ත්වය කෙනෙකුගෙන් තවත් අයෙකුට බෝවන්නේ නැත. ඇතැම් විට, මෙම තත්ත්වය දක්නට ලැබෙන ස්ථාන වල කැසිල්ලක් ඇතිවිය හැක. එය හැරුන විට, ඇකන්තෝසිස් නයිග්‍රිකන්ස් පැවතීම හානිකර නොවේ. නමුත්, මෙම තත්ත්වය ඇතිවන්නේ ශරීරයේ ඇති වෙනත් රෝගයක හෝ සෞඛ්‍ය ගැටළුවක රෝග ලක්ෂණයක් ලෙස විය හැක. එමනිසා, මෙම තත්ත්වය ඇතිවුවහොත්, ඔබේ වෛද්‍යවරයා හමුවීමට අවශ්‍ය වේ. එවිට, ඔහු හෝ ඇය ඇකන්තෝසිස් නයිග්‍රිකන්ස් තත්ත්වය ඇතිවීම සඳහා හේතුවන වෙනත් රෝග හඳුනාගැනීම සඳහා තවදුරටත් පරීක්ෂණ පවත්වනු ඇත.

ඇකන්තෝසිස් නයිග්‍රිකන්ස් තත්ත්වයට ප්‍රතිකාර කිරීම යනු, එම තත්ත්වය ඇතිවීමට හේතුවන රෝගයක් වේ නම්, එයට ප්‍රතිකාර කිරීම වේ.

 

ඇකන්තෝසිස් නයිග්‍රිකන්ස් ඇතිවීමට හේතු

මෙම තත්ත්වය ඇතිවීමට නිශ්චිත හේතුන් වෙනස්වන සුලු අතර, බොහෝ විට හේතුව සොයාගැනීමට අපහසුය. ඇතැම් විට, නිරෝගී අයට පරම්පරාවෙන් මෙම තත්ත්වය ඇතිවනු දක්නට ලැබේ. එවිට, මෙම තත්ත්වය හානිකර නොවන මුත්, අදාළ පුද්ගලයා සමාජය ඉදිරියේ මදක් අපහසුතාවයට පත්විය හැක.

දියවැඩියාව, ශරීරයේ බර අධික වීම, හෝ තරබාරු වීම වැනි, රුධිරයේ ඉන්සියුලින් හෝමෝන මට්ටම වැඩිවන තත්ත්ව වලදී ඇකන්තෝසිස් නයිග්‍රිකන්ස් තත්ත්වය ඇතිවීම බහුලව දක්නට ලැබේ. විශේෂයෙන්, ඇකන්තෝසිස් නයිග්‍රිකන්ස් තත්ත්වය ඇති දරුවන් ඉක්මනින් වෛද්‍යවරයෙකුට පෙන්වීම අත්‍යාවශ්‍ය බව වටහාගැනීම ඉතා වැදගත්ය.

සමහර විට, ඇකන්තෝසිස් නයිග්‍රිකන්ස් තත්ත්වය ඇතිවන්නේ, ඇතැම් පිළිකා සහ අන්තරාසර්ග පද්ධතිය නම්වේ.’>අන්තරාසර්ග පද්ධතියේ (Endocrine system) ගැටළු (තරබාරුකම සහ දෙවන වර්ගයේ දියවැඩියාව ආදී තත්ත්ව ආශ්‍රිත) වැනි බරපතල තත්ත්වයක් ඇතිබව හඟවන අවදානම් සංඥාවක් ලෙස විය හැක. ඉතාම කලාතුරකින්, උපත් පාලන පෙති සහ කොලෙස්ටරෝල් සඳහා දෙන ඖෂධ මගින් ද, ඇකන්තෝසිස් නයිග්‍රිකන්ස් තත්ත්වය ඇතිවිය හැක.

 

රෝග නිර්ණය කිරීම

ඇකන්තෝසිස් නයිග්‍රිකන්ස් තත්ත්වය පවතී නම්, ඔබේ වෛද්‍යවරයා හමුවන්න. එවිට, ඔහු හෝ ඇය ඔබගේ සමේ තත්ත්වය පරීක්ෂා කරනු ඇත. මෙම තත්ත්වය සඳහා හේතුවන වෙනත් රෝග හඳුනාගැනීමට වෙනත් රුධිර පරික්ෂාවන් හෝ X-කිරණ පරික්ෂණ ද ඇතැම් විට නිර්දේශ කරනු ඇත.

 

ඇකන්තෝසිස් නයිග්‍රිකන්ස් තත්ත්වය සඳහා ප්‍රතිකාර කිරීම.

ඇකන්තෝසිස් නයිග්‍රිකන්ස් තත්ත්වය ඇතිවීමට හේතුවන වෙනත් රෝගයක් හඳුනාගැනීමට නොහැකි නම්, ඒ සඳහා නිශ්චිත ප්‍රතිකර්මයක් නොමැත. ඇතැම් අයගේ, අඳුරු පැහැවූ සම කාලය ගතවීමත් සමග යලි ස්වභාවික වර්ණයට පත්වෙනු දැකිය හැක.

මෙම තත්ත්වය ඇතිවීමට හේතුවන අභ්‍යන්තර රෝගයක් හෝ තත්ත්වයක් හඳුනාගත හැකිනම්, එයට නිසි ප්‍රතිකාර කිරීම මගින්, ඇකන්තෝසිස් නයිග්‍රිකන්ස් තත්ත්වය අඩුවීම හෝ මුලුමනින්ම ඉවත්වීම සිදුවේ. ඇකන්තෝසිස් නයිග්‍රිකන්ස් තත්ත්වයට හේතුවන ඖෂධ ලබාගනිමින් සිටීනම්, ඒවා වෛද්‍ය උපදෙස් මත නැවැත්වීමෙන් මෙම තත්ත්වය පහව යයි.

ඇකන්තෝසිස් නයිග්‍රිකන්ස් ඇති දරුවන් බොහොමයකගේ එම තත්ත්වය, ශරීරයේ බර පාලනය කිරීමෙන් සහ නිතර ව්‍යායාම කිරීමෙන් සුව කරගත හැක. ඔබේ දරුවාට සෞඛ්‍ය සම්පන්න, සමබර ආහාර වේලක් ලබාදෙන්න. ඔහුට හෝ ඇයට සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් හුරුකරන්න. සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම සහ ව්‍යායාම මගින්, ඇකන්තෝසිස් නයිග්‍රිකන්ස් තත්ත්වය සමනය වන බව සහ ඇතිවීම වැළකෙන බව, පර්යේෂණ ගණනාවකින්ම තහවුරු වී ඇත.

 

ඇකන්තෝසිස් නයිග්‍රිකන්ස් තත්ත්වය සමග ජීවත්වීම

ඇකන්තෝසිස් නයිග්‍රිකන්ස් සමෙහි හොඳින් දර්ශනය වන බැවින්, සමාජය ඉදිරියේ අපහසුතාවයට පත්වීම නිතර සිදුවේ. මක්නිසාද, ගෙලෙහි හෝ අත්වල මෙම තත්ත්වය ඇතිවූ විට, ඒවා ආවරණය කරගැනීම අපහසුය.

ඇතැම් විට, ඔබේ වෛද්‍යවරයා සමෙහි අඳුරු පැහැය අඩුකිරීම සඳහා ක්‍රීම් හෝ වෙනත් ආලේපන නිර්දේශ කරනු ඇත.

සම සුදු කිරීමට ගල්වන ආලේපන (Bleaches), සමෙහි කුණු ඉවත් කිරීමට තදින් උලන ආලේපන (Skin scrubs), සහ වෛද්‍යවරයෙකුගේ නිර්දේශයකින් තොරව ගතහැකි ආලේපන කිසිවක් ඵලදායී නොවන බව සිතට ගන්න. එය නිකරුණේ මුදල් නාස්ති කිරීමක් පමණි. ඇතැම් විට, එමගින් සම අනිසි ලෙස උද්දීපනය වී, රතු පැහැ වියහැක.

ශරීරයේ සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වාගැනීම සහ සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම, ඇකන්තෝසිස් නයිග්‍රිකන්ස් තත්ත්වය සුවවීමට හෝ ඇතිවීම වැළකීමට ඉවහල් වේ.

ඔබට ඇකන්තෝසිස් නයිග්‍රිකන්ස් තත්ත්වය ඇත්නම්, අනිසි ලෙස බිය නොවන්න. ඒ පිළිබඳව ලජ්ජාවට පත්වන්න එපා. ඔබේ දරුවාට මෙම තත්ත්වය ඇත්නම්, ඔහුගේ හෝ ඇයගේ බිය සහ ලජ්ජාව සමනය කිරීමට දෙමව්පියන් වශයෙන් ඔබට සැලකිය යුතු දෙයක් කලහැකි බව සිතට ගන්න. දරුවාට වටහාගත හැකි අයුරින් තත්ත්වය පහදන්න. ඔහු හෝ ඇය තනිවී නැති බව වැටහෙන සේ කටයුතු කරන්න. එවිට, ඔබේ දරුවාගේ ආත්ම විශ්වාසය වැඩිවනු ඇත.

 

සබැඳි ලිපි:

සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සඳහා ඉඟි කිහිපයක්
තරබාරු අයට ආහාර ගැනීම සඳහා ඉඟි කිහිපයක්
ශරීරයේ බර අඩු කරගැනීමට සරල සැලසුමක්
ශරීරයේ බර අඩු කරගැනීම සඳහා ඉඟි කිහිපයක්…

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ඔබගේ ගෙල හෝ දරුවාගේ ගෙල කලු පැහැ වෙලාද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*