ව්‍යායාම සහ නිතර වේදනා නාශක භාවිතය

ව්‍යායාම සහ නිතර වේදනා නාශක භාවිතය

නිතිපතා ව්‍යායාම කරන ඇතැම් අය වේදනා නාශක වන ඩයික්ලොෆෙනැක් සෝඩියම් (Diclofenac Sodium) සහ ඉබියුප්‍රොෆන් (Ibuprofen) වැනි ස්ටෙරොයිඩ නොවන ප්‍රති-ප්‍රදාහ ඖෂධ (Non-steroidal Anti-inflammatory Drugs/NSAID) නිතර භාවිතා කිරීමට පුරුදු වී සිටිනවා. ඒ දිගුකාලීන භාවිතය නිසා මාංශ පේශි සහ පේශි කණ්ඩරා වල ඇතිවන හානි (Chronic use injuries) සමනය කරගැනීමේ බලාපොරොත්තුවෙන්. නමුත්, නිතර ස්ටෙරොයිඩ නොවන ප්‍රති-ප්‍රදාහ ඖෂධ භාවිතා කිරීමෙන් ලැබෙන වාසි වලට වඩා එයින් සිදුවන හානි සැලකිය යුතු තරම් වැඩි බව නවතම පර්යේෂණ මගින් සොයාගෙන තිබෙනවා. ව්‍යායාම සහ නිතර වේදනා නාශක භාවිතය එකිනෙක එකතු වීමෙන් එවැන්නක් සිදුවන්නේ කෙසේදැයි මදක් විමසා බලමු.

ඇතැම් ක්‍රීඩකයන් සහ නිතර ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදෙන්නන්, ශරීරයේ මතුවන වේදනා අඩු කරගැනීම සඳහා ව්‍යායාම සහ ක්‍රීඩා කිරීමට පෙර NSAID වැනි වේදනා නාශක භාවිතා කරනවා.

නිතර ව්‍යායාම් කරන කෙනෙක් හෝ ක්‍රීඩකයෙක් වෛද්‍යවරයෙකුගේ ප්‍රලේඛණයක් (Prescription) නොමැතිව ගතහැකි NSAID වැනි වේදනා නාශක නිතර භාවිතා කරන්නේ නම්, කලින් පර්යේෂකයන් අනුමාන කරන ලද ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රමාණයක්, ආමාශයේ සහ බඩවැල් වල බිත්ති වල ඇතුළු පැත්තට ක්‍රමයෙන් හානි වන බව සොයාගෙන තිබෙනවා. එමෙන්ම, නිතර NSAID භාවිතය හදවත් රෝග ඇතිවීමට ඇති අවදානම ද වැඩි කරයි.

ඒ වගේම, නිතිපතා NSAID ගන්නා ක්‍රීඩකයන්ගේ නිතර භාවිතය නිසා මාංශ පේශි සහ පේශි කණ්ඩරා වලට සිදුවන හානි සුවවීමට ගතවන කාලය, එසේ NSAID නොගන්නා විට සුවවීමට ගතවන කාලයට වඩා වැඩි බවද නව පර්යේෂණ මගින් සොයාගෙන ඇත.

නිතර වේදනා නාශක භාවිතය නිසා, මාංශ පේශි සහ පේශි කණ්ඩරා වල ඇතිවන කුඩා හානි මගින් ඇතිවන වේදනාවන් ක්‍රීඩකයාට හෝ ශාරීරික ක්‍රියාකාරකම් වල නියැලෙන්නාට නොදැනෙන්න පුලුවනි. එවිට, එම හානි පවතිද්දීම ඔහු හෝ ඇය ශාරීරික ක්‍රියාකාරකම දිගටම කරගෙන යාමට වැඩි ඉඩක් පවතිනවා. එමගින්, එවැනි කුඩා හානි නොදැනුවත්වම දරුණු තත්ත්වයකට පත්විය හැකියි. ශරීරයේ යම් වේදනාවක් ඇතිවන්නේ ආරක්ෂක උපක්‍රමයක් ලෙසිනි. ඒ, වේදනාව ඇතිවන පුද්ගලයාට ශරීරයේ යම් හානියක් හෝ තුවාළයක් ඇතිබව හැඟවීමටය. එමගින් ඔහු හෝ ඇය එම අනතුරට සුදුසු ප්‍රතිකර්ම ගැනීමට සහ එම අනතුර තවදුරටත් වර්ධනය කල හැකි ශාරීරික ක්‍රියාකාරකම් සීමාකිරීමට පොළඹවයි. නිතර වේදනා නාශක භාවිතය මෙම ස්වභාවික ආරක්ෂක යාන්ත්‍රණයට හානි සිදුකරයි.

එමනිසා, මාංශ පේශි සහ පේශි කණ්ඩරා වල ඉදිරියේදී ඇතිවිය හැකි අනතුරු වැලැක්වීම සඳහා කිසිඳු NSAID වර්ගයේ ඖෂධයක් භාවිතා කිරීම වෛද්‍යවරු අනුමත කරන්නේ නැහැ. වෛද්‍ය නිර්දේශ මත, කෙටි කාලසීමාවක් සඳහා පමණක් NSAID වැනි වේදනා නාශක භාවිතා කිරීම වෛද්‍යවරු නිර්දේශ කරනවා.

නිතර වේදනා නාශක ගැනීමට විකල්පයක් ලෙස ශරීරයේ අදාළ ප්‍රදේශ සම්භාහනය කිරීම සහ ශරීරය ඇදීමේ ව්‍යායාම (Stretching exercises) කිරීම වෛද්‍යවරු නිර්දේශ කරනවා.

 

(ඡායාරූප අනුග්‍රහය: Okko Pyykkö)

 

සබැඳි ලිපි:

සෞඛ්‍ය සම්පන්නව ව්‍යායාම කරන්නේ කොහොමද?
ශාරීරික යෝග්‍යතාවය සඳහා ඉඟි කිහිපයක්
කන්තුශ්වසන යෝග්‍යතාවය සහ බර අඩුකරගැනීම
දිනපතා ව්‍යායාම කිරීම වැදගත් වන්නේ ඇයි?

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ව්‍යායාම සහ නිතර වේදනා නාශක භාවිතය" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*